UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙවියන්ට වදාළ සම්බුදු බණ 06 සැප පිණිස උපකාර වන සද්පුරුෂයාගේ ඇසුර

දෙවියන්ට වදාළ සම්බුදු බණ 06

සැප පිණිස උපකාර වන සද්පුරුෂයාගේ ඇසුර

යම් කෙනෙකුගේ ජීවිතයේ පිරිහීමට හෝ දියුණුවීමට සෘජුවම බලපාන දෙයක් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් පෙන්වා දී වදාළා. ඒ කෙනෙකුගේ ඇසුරට ලැබෙන පුද්ගලයා ඇසුරු කරන කෙනා අනුව අපේ ජීවිතය වෙනස්වෙන ආකාරය ශාස්තෘන් වහන්සේ මේ ආකාරයට දේශනා කොට වදාළේ.

තමන්ට වඩා ගුණයෙන් හීන අය ඇසුරු කරන පුද්ගලයා ගුණ ධර්මවලින් පිරිහී යනවා. තමා සමාන වූ ගුණයෙන් යුතු පුද්ගලයන් ඇසුරු කරන කෙනා කිසිකලෙක පිරිහී යන්නේ නැහැ. තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්ගේ ඇසුරට නැඹුරු වන කෙනා වහා දියුණු වෙනවා. ඒ නිසා තමාට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්වයි ඇසුරු කළ යුත්තේ.

තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ එක් පුරුෂයෙක් ඇසුරට ලැබුණොත් ඔහු වාසනාවන්තයෙක් නේද? මොකද ඒ හේතුවෙන් ම ඔහුගේ ජීවිතය දියුණුව කරා යනවා. දිනක් දිව්‍ය පිරිසක් පැමිණ මේ සද්පුරුෂ ඇසුරේ වටිනාකම ගැන භාග්‍යවතුන් වහන්සේ සමඟ කතාබහ කළා. ඒ කතාව පසුබිම් වූ සිදුවීම හරිම අසිරිමත්.

අතීතයේ බඩු බාහිරාදිය නැව්වල පටවාගෙන මුහුදෙන් එතෙර රටවලට ගොස් වෙළඳාමෙන් ජීවත්වන මුහුදු වෙළෙන්දන් බොහෝ දෙනෙක් එක් ගමක වාසය කළා. අනෙක් අවුරුදුවල පරිදිම ඒ මුහුදු වෙළෙන්දෝ මුහුදු නැවට සුදුසු කල් බලා අඹුදරුවන් ද සමඟ නැව් නැඟුණා. මුහුදු හුළං හොඳින්ම පැවති එදින ඔවුන්ගේ නැව අධික වේගයෙන් ධාවනය වුණා. කිසිවෙකුත් නොසිතූ පරිදි මහ සයුර මැදදී වේගවත් ජල පහරින් ඔවුන්ගේ නැව් බඳෙහි විශාල විවරයක් සෑදුණා. ඒ වනවිට ගමන් අරඹා සත්දිනක්. ඉක්මනින් ළඟා වීමට හැකි සමීප ගොඩබිමක් නැති මහසයුරේ මැද දැන් ඔවුන්ගේ නෞකාවට වේගයෙන් ජලය පිරෙන්නට පටන් ගත්තා. බේරීමට කිසිදු උපක්‍රමයක් නැතිබව වැටහුණු ඒ අසරණ මුහුදු වෙළෙන්දෝ මරණ බිමෙන් තැතිගෙන විලාප තබන්නට වුණා. ඇතැමුන් තම තමන් දන්නා දෙවිවරුන්ගේ නම්ගොත් කියමින් පිහිට ඉල්ලා වැළපෙනවා. ඇතැමෙක් දරුවන් තුරුළු කරගෙන වැළපුණා. ඇතැමෙක් සිහි විකල්ලෙන් මෙන් ඒ මේ අත පෙරළෙමින් හඬනවා. ඒත් ඒ සියලු දෙනා අතර එක් පුරුෂයෙක් එක තැනක වාඩි වී දෙනෙත් පියාගෙන කිසි තැති ගැනීමක් නැතිව සිටියා. මේ නිර්භීත පුරුෂයා දෙසට නැවෙහි සිටි සියලු දෙනාගේම අවධානය යොමුවුණා. හැඬිම වැළපීම් නවතා සියලු දෙනා ඒ පුරුෂයා සමීපයට පැමිණිය.

පින්වත මෙබඳු බියජනක මොහොතක නිර්භීතව සිටින අයුරු නම් පුදුමයකි. මේ බිය රහිත බවට කාරණය කුමක් දැයි ඒ පිරිස විමසා සිටියා.

පින්වත්නි මේ නැව නැඟීීමට පෙරදින මා භික්ෂු සංඝයාට දානයක් පූජා කළා. දන් වැළඳු ඒ භික්ෂූන් වහන්සේලා මා හට තෙරුවන් ගුණ කියා දී තිසරණය සමාදන් කළා. පංචසීලයේ වටිනාකම කියාදී පංචසීලයේ ද පිහිටවනු ලැබුවා. ඒ තිසරණ පංචසීලයත් සිහිකරන මා හට මරණ ගැන බියක් හට ගන්නේ නැහැ.

අහෝ, අසිරියෙකි. සැබැවින්ම අසිරියෙකි. පින්වත, අපටත් ඒ ක්ෂේම භුමිය වූ තිසරණ සරණත් පන්සිල් සමාදානයත් ලබාදුන මැනවි. ඔබට යහපතක් වේවා.

ඉතින් ඒ සිල්වත් උපාසකතුමා ඒ පිරිසට තිසරණ සහිත පන්සිල් සමාදන් කරවීමට කැමැති වුණා. එහෙත් එම පිරිස හත්සිය දෙනෙක්. ඒ හත්සියයට එකවර ඇසෙන පරිදි කථා කළ නොහැකි නිසා ඒ නැවේ පිරිස සිය දෙනා බැගින් කණ්ඩායම් හතකට බෙදුනා. සිය දෙනා බැඟින් තිසරණ සහිත පංච සීලයේ පිහිටන්නට සූදානම් වුණා.

දැන් ටිකෙන් ටික නැව මුහුදු ජලයේ ගිලෙමින් පවතින්නේ. පළමු සියදෙනා තිසරණය පිහිටන විට දෙපාවල ගොප් ඇට දක්වා ජලය පිරුණා. දෙවැනි සිය දෙනා දණහිස තෙක් ජලය පිරෙද්දීද, තෙවැනි සියදෙනා ඉඟටිය තෙක්ද, සතරවැනි සිය දෙනා නාභිය තෙක්ද, පස්වැනි සියදෙනා පපුව තෙක්ද, සයවැනි පිරිස ගෙළ දක්වාද, ජලය පිරෙද්දී තෙරුවන් සරණ හා සීලය සමාදන් වුණා. සත්වැනි කණ්ඩායමේ සියලුදෙනා තෙරුවන් සරණ යනවිට මුවින් ලුණු වතුර පෙවෙන තෙක් ජලය පිරුණා. තරමක් උසක සිටි පින්වන්ත උපාසකයා සියලු දෙනාටම ඇසෙන පරිදා කෑ ගසා මෙසේ පැවසුවා.

පින්වත්නි. බිය වෙන්න එපා. බුද්ධ රත්නය සිහි කරන්න. ධර්ම රත්නය සිහි කරන්න. සංඝරත්නය සිහිකරන්න තමන්ගේ සිල්වත් බව සිහ ිකරන්න. අපට වෙන පිහිටක් ඇත්තේ නැහැ.ඒ නෞකාව මුහුදුබත් වුණා. සියලු දෙනාම මරණයට පත්වුණා. හැබැයි ඒ කිසිකෙනෙකු සතර අපායට නො ගිහින් තව්තිසා දෙව්ලොව ඉපදුණා. ඒ හත්සියයත් පිරිසට සිල් සමාදන් කළ පුරුෂයා සියයක් යොදුන් විශාල ස්වර්ණමය දිව්‍ය විමානයක දිව්‍ය ආනුභාවයෙන් බබළමින් උපත ලැබුවා. අන් සියලු දෙනාම ඒ විමානයට පහතින් වැටුණු දොළොස් යොදුනක් විශාල ස්වර්ණමය විමාන හත්සියයක උපත ලැබුවා. ජීවිතයේ අවසාන මොහොතේ මුණගැසුණු සද්්පුරුෂයකු නිසා සිදු වූ යහපත සිහිකළ ඒ දිව්‍ය පිරිස අතිශයින්ම පී‍්‍රතියට පත්වුණා. ඒ සද්්පුරුෂ ඇසුරේ සැප ලැබූ සියලු දෙනා සම්බුදුරජාණන් වහන්සේට එය පවසමු යි කතිකා කරගෙන ඒ දිව්‍ය පිරිස ඒ දෙව් ලොවින් චුත වුණා.

මුළුමහත් ජේතවනයම ඒකාලෝක කරගෙන ඒ දිව්‍ය පිරිස භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට පැමිණුනා. භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් ඒ දිව්‍ය පිරිසේ එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ගාථාවකින් මෙසේ පැවසුවා.

සද්පුරුෂයන් සමඟයි ඉන්න ඕන. සද්පුරුෂයන් සමඟමයි යාලුවෙන්න ඕන. සද්පුරුෂයන් ගේ ධර්මය දැනගත් කෙනාට දියුණුවක්ම යි සිදු වෙන්නේ. පිරිහීමක් නම් සිදුවෙන්නේ නැහැ.

දුක හමුවේ අඥානයන් සේ අප වැළපෙමින් සිටිද්දී ප්‍රඥාව උපදවා දුන් සද්පුරුෂයා ගැන සිහිකළ තව දෙවියෙක් මෙසේ වදාළා.

”සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයන් සමඟයි යාලු වෙන්න ඕන. සද්පුරුෂයන්ගේ ධර්මය දැන ගත්ත කෙනාට ප්‍රඥාව ලැබෙනවා. වෙන දෙයකින් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ.”

“එවිට තව දෙවියෙකු මේ අදහස පැවසුවා. සද්පුරුෂයන් සමඟම ඉන්න ඕන. සද්පුරුෂයන් සමඟමයි යාලුවෙන්නත් ඕන. සද්පුරුෂ ධර්මය දැනගත්තු කෙනාට ශෝක වෙන ජනයා මැද ශෝක නොවි ඉන්න පුළුවනි”.

එවිට වෙන දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවුවා.

”සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයින් සමඟම යි යාලුවෙන්නත් ඕන. සද්පුරුෂයන්ගේ ධර්මය දැනගත්තු කෙනා ඥාතීන් මැද බබළනවා.”

මනුෂ්‍ය ජීවිතෙන් පසු සුගතියට සැප පිණිස උපකාර වූ සද්පුරුෂයාගේ ඇසුර සිහිකොට තව දෙවි කෙනෙක් මෙහෙම පැවසුවා.

”සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයන් සමඟමයි යාළුවෙන්න ඕන. සද්පුරුෂයන්ගේ ධර්මය දැනගත් උදවිය සුගතියේ උපදිනවා.”තවත් දෙවියෙක් මෙසේ පැවසුවා.”සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයන් සමඟමයි යාලුවෙන්න ඕන. ඔවුන් ධර්මය දැනගත් උදවිය. බොහෝ කල් සැපසේ ජීවත් වෙනවා.”ඉතින් මේ උතුම් ගාථාවන් පැවසීමෙන් පසු ඒ දිව්‍ය පිරිසෙන් එක දෙවියෙක් මෙහෙම ඇසුවා.

භාග්‍යවතුන් වහන්ස, කවුරු විසින්ද ඉතාම හොඳට සද්පුරුෂයා ගැන කිව්වේ?

සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මේ සියලු ගාථාවන් දේශනා කළා. ඒ සියලු දෙනාටත් වඩා ඉහළින් සද්පුරුෂ ඇසුර වර්ණනා කරමින් මේ ආකාරයට පැවසුවා.ඔය හැම දෙනෙක්ම බොහෝම හොඳට කරුණු කිව්වා. එහෙනම් මගේ අදහසත් දැන් අහන්න.

සබ්භිරේව සමාසේථ
සබ්භි කුබ්බේථ සත්ථමං
සතං සද්ධම්මචඤ්ඤාය
සබ්බදුක්ඛා පචුචිචසී ති

”සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයන් සමඟමයි යාලුවෙන්නත් ඕන. සද්පුරුෂ ධර්මය දැන ගැනීම නිසා සියලු දුුකින් නිදහස් වෙනවා.”

භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව ගැන ඒ දෙවිවරු ගොඩාක් සතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේව පැදකුණු කළා. එතැනින්ම නො පෙනී ගියා.ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

නයනා නිල්මිණි


දෙවියන්ට වදාළ සම්බුදු බණ 05 මහපොළවට දැනුන සම්බුදු ගුණ

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]