UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුසලයට පමාවීම පරිහානියට හේතුවක්

කුසලයට පමාවීම පරිහානියට හේතුවක්

සමාජයේ සමහර පුද්ගලයන් පිරිහීමට පත්වන්නේ තමා විසින් සිතා මතාම සිදුකරනු ලබන පාපී කරුණු නිසා බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. ඉන් පිරිහෙන කරණු රැසක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කර තිබෙනවා.

අද සාකච්ඡාවට බඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කළ වදාළ ගිහි පැවිදි සම්බන්ධය හා සම්බන්ධව පැවිදි පාර්ශ්වය වෙත ගිහි පාර්ශ්වයෙන් ඉටුවිය යුතු යුතුකම් නොකිරීම නිසා සිදුවන පිරිහීමේ කරුණු සම්බන්ධවයි. පරාභව සූත්‍රයේ ඒ බව දක්වා ඇත්තේ

“යො බ්‍රාහ්මණං වා සමණංවා
අඤ්ඤං වාපි විණිබ්බකං
මුසාවාදෙන වඤ්චේති
තං පරාභවතො මුඛං”

යම් පුද්ගලයෙක් බමුණකු හෝ ශ්‍රමණයකු හෝ යාචකයකු හෝ බොරුවෙන් රවටයිද ? ඒ පුද්ගලයා පිරිහීමට පත්වෙයි.

පළමුව අප සලකා බැලිය යුත්තේ ගිහියාගේ යුතුකම කුමක්ද? යන්නයි. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ පැහැදිලිව දක්වා ඇත්තේ උඩ දිසාවට පැවිදි ශ්‍රමණ බ්‍රාහ්මණයන් අයත් වන බවයි. ගිහියන් විසින් ශ්‍රමණ බ්‍රාහ්මණදීන්ට සැලකිය යුත්තේ කෙසේද ?

1. මෛත්‍රි සහගත කාය කර්මයෙන්
2. මෛත්‍රී සහගත වාග් කර්මයෙන්
3. මෛත්‍රී සහගත මනෝ කර්මයෙන්
4. නොවසන ලද දොරටු ඇති බැවින්
5. ආහාර පානාදිය සපයා දීමෙන්

මේ අයුරින් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට සැලකිය යුතු ගිහියා ශ්‍රමණ බ්‍රාහ්මණාදින් බොරුවෙන් රවටයි නම් තම යුතුකම නොකර තමාට හිමිවන යුතුකම්ද මග හරවාගෙන පිරිහීමට ලක්වනවා.

මෙත් සිත මුල් කරගෙන කය හික්මවා කටයුතු කිරීමෙන්, මෙත් සිත මුල් කරගෙන වචනය හික්මවා කටයුතු කිරිමෙන්, මෙත් සිත මනසට යොදාගෙන කටයුතු කිරීමෙන් ගිහියා කටයුතු කළ යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ දක්වා තිබෙන්නා සේම පරාභව සූත්‍රයේ එසේ නොකර බොරුවෙන් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් රවටයි නම් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ගේ පැවැත්ම සිදුවන්නේ කෙසේද? යන ප්‍රශ්නය අපට මතුවනවා.

සාමාන්‍යයෙන් සමාජයෙන් වෙන් වී සාමාන්‍ය ජනතාව වෙනුවෙන් දිවිගෙවන පූජ්‍ය පූජක පක්ෂය දිවිරැක ගන්නේ සාමාන්‍ය ජනතාවගේ හෙවත් ගිහි සමාජයේ ඇප උපස්ථානයෙනි. එසේ තම වගකීම දැරිය යුතු ගිහියා තම වගකීම් පැහැර හැර ඒ පිරිස් බොරුවෙන් මුළා කිරීම සමාජයට අවැඩදායකය. එසේ සිදුකරන්නා පිරිහීමට පත්වීමද වැළැක්විය නොහැකිය.

අපේ රට දෙස බලන්නේ නම් අතීතයේ සිට වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි, සංකල්පය බිහිවූයේද ගිහියා විසින් ශ්‍රමණාදීන්ට තම යුතුකම් ඉටු කළ නිසාය.

භික්ෂූන් වහන්සේගේ කාරුණික මාර්ගෝපදේශකත්වයෙන් ගිහියා ගුණදහම් උගත්තේය. පැවිදි උතුමන් නොමැතිවූ විට ගුණ දහම් යුතුකම් වගකීම් කිසිවක් සමාජයේ නොපවතින බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ.

බෞද්ධයා තමාගේ සැනසීමේ මාර්ගය උදාකරගන්නේ භික්ෂූන් වහන්සේගේ අවවාද උපදෙස් මගිනි. ගිහියා පස් පවින් වළක්වාගෙන ධාර්මික මාර්ගයන්ට යොමු කළේ භික්ෂූන් වහන්සේ විසිනි.

එසේ තම සියලු කටයුතු ඉටු කරනු ලබන පූජ්‍ය පක්ෂයට යහපත් සිතින් කතා කිරීමෙන්, ගෞරව පූර්වකව උපස්ථාන කිරීමෙන් ගිහියා ආදර්ශ සමීපන්නව කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම පූජ්‍ය පක්ෂය තම නිවසට වැඩම කළ විට මනාව උපස්ථාන කළ යුතු තැනැත්තා බොරුවෙන් රවටයි නම් ඒ තැනැත්තාගේ පිරිහීම මෙලොවදීම සිදු වෙයි.

දානය, පි‍්‍රයවචනය ආදී සතර සංග්‍රහ වස්තුන්හි මුල් ගුණධර්ම දෙකෙහිම පිහිටා ගිහියා කටයුතු කළ යුතුවෙනවා. රථයක කඩ ඇණයක් මෙන් මේ ගුණධර්මයන් අවශ්‍ය වන බව පැහැදිලිව පෙන්වා දිය යුතුවනවා.

සාමාජික යුතුකම් නිසි පරිදි ඉටු වී නොමැති තැන පරිහානිය සිදුවීම වැළැක්විය නොහැකිය. බුදුරජාණන් වහන්සේ චතුර්විධ කර්ම ක්ලේශයන් හිඳ බොරුකීම දක්වා තිබෙනවා. බොරුව යනු සමාජයේම අයහපතට හේතුවන බව බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ බොරුව සමස්ත සමාජයක්ම වුවත් වනසා දැමීමට හේතු වන හෙයිනි.

පංචානන්තරීය කර්මයන් අතරේ බරපතළම අකුසලය වන්නේ සංඝභේදයයි. සංඝභේදය වාග් කර්මයකි. සංඝයා භේද කිරීමටද බොහෝ කේලම් ඉවහල් වන බව අපට පැහැදිලියි. ඒ අයුරින්ම ශ්‍රමණ බ්‍රාහ්මණාදින් බොරුවෙන් රවටන්නා සේ පිරිහීම සිදුවන්නා සේම තමන්ගේ සරණ පතා පැමිණෙන හිඟන පුලන යාචකාදීන්ද බොරුවෙන් රවටන්නා පිරිහෙන බව බුදු දහමේ දැක්වෙනවා. පූර්ව ගාථාවෙන් දැක්වෙන පරිදි ශ්‍රමණ , බ්‍රාහ්මණයන් බොරුවෙන් රවටන්නා තමන්ම රැවටෙන බව නොදනී. ඒ මොහොතේ තමන් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් මෙන්ම යාචකාදීන් බොරුවෙන් රැවටුවද අකුසල් සිදු කර ගැනීමෙන් තමාම රැවටෙන බව ඔහු නොදනී. ඒ බව තේරුම් ගන්නා විට පමාවී වැඩිය. කුසලයට පමාවීමම පරිහානියට පත්වීමට හේතුවන්නකි.

බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙන්ම යාචකයන් බොරුවෙන් රවටන්නා පිරිහෙන බවට වෙනමම දේශනා කර ඇත්තේ එහෙයිනි. තමන් විසින් ඉටු කළ යුතු වගකීම් යුතුකම් පැහැර හැරීමක් මෙහිදී සිදුවන බව පිරිහෙන්නාට නොදැනේ. ඔහුට ඒ බව තේරුම් යන්නේ තමන් ක්‍රමයෙන් පිරිහී ඉන් ඈත්වීමට මඟක් නොහැකි වූ තැනය.

එම නිසා ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට තමන් විසින් කළ යුතු වත්පිළිවෙත් සිඟාලෝවාද සූත්‍රය අනුව හඳුනාගෙන එම වත්පිළිවෙත් ඉටු කළහොත් පිරිහීම වළක්වා ගත හැකිය.

සමාජයේම පිරිහීයාම එමඟින් වළක්වා ගැනීමට හැකිවනු ඇත.

සාකච්ඡා කෙළේ - තාරක වික්‍රමසේකර

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]