UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චීනයේදී පැවැති 27 වන ලෝක බෞද්ධ මහා සමුළුව

චීනයේදී පැවැති 27 වන ලෝක බෞද්ධ මහා සමුළුව


සමුළුවට ස්වාමීන්වහන්සේලා වැඩම කරමින්...


සමුළුවට සහභාගි වෙමින්...

තථාගත ශාන්තිනායක අමාමෑණි ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සුවාසු දහසක් ශ්‍රී සද්ධර්මස්කන්ධය අනුව යමින් බොදු ඉගැන්වීම් මනාව පිළිපැදීමත්, ප්‍රචාරණය කිරීමත් මෙන්ම ලෝක බෞද්ධයන් අතර සහෝදරත්වයත්, සහජීවනයත්, වඩා වර්ධනය කරගැනීම අරමුණූ කරගනිමින් ලෝක බෞද්ධ මහා සම්මේලනයේ අති සාර්ථක 27 වෙනි මහා සමුළුව පසුගියදා චීනයේ බඕජි නගරයේ පිහිටි ලෝක ප්‍රකට ඓතිහාසික ෆාමන් විහාරස්ථානයේ දී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් එක් කරමින් මීට හැට හතර වසරකට පෙරාතුව, එනම්, 1950 දී කොළඹ දී ආචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ දායකත්වයෙන් ආරම්භ කරන ලද මෙම ලෝක බෞද්ධ මහා සම්මේලනය තුළින් යහපත් බොදු සමාජයක් ඇති කිරීම සඳහා මනා දායකත්වයක් ලබා දෙන්නා සේම, සමාජ ,අධ්‍යාපන හා සංස්කෘතික ක්‍රියාකාරකම් කෙරෙහිද ප්‍රමුඛත්වයක් ලබා දේ.

ලෝක සාමය හා සහජිවනය වෙනුවෙන් වඩාත් ඵලදායි අයුරින් ක්‍රියා කිරීම අරමුණූ කරගනිමින් තෙදිනක් තිස්සේ ලොව පුරා රටවල් 30 ක ,බෞද්ධ නායක ස්වාමින්වහන්සේලා මෙන්ම ගිිහි ප්‍රභූ 600 ක පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම 27 වෙනි මහා සමුළු වාරය, චීනයේ පැවැති ප්‍රථම අවස්ථාව වීමද විශේෂත්වයකි.

මෙවර සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක , කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර මහා පරිවෙණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ දූත පිරිසක්ද සහභාගි වූ අතර, එහිදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ ශුභාශිංශන පණිවිඩයක් ද ඉදිරිපත් කෙරිණි.

අර්බුද වලින් පිරි අද ලෝකයේ පවතින ගැටලුකාරි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මීට සියවස් විසි පහකට පෙරාතුව ලොව්තුරු බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මය එදා මෙන්ම අදටත් වඩ වඩාත් උචිත බවත්, සාමය, කරුණාව, මෛත්‍රිය හා එකිනෙකාට ගරු කිරීම මත පදනම්ව ලෝකයාට දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධය තුළින් ලෝක සාමයට මනා පිටිවහලක් සපයන බවත් අතිගරු ජනාධිපතිතුමන් සිය පණිවිඩය ඔස්සේ පෙන්වා දී තිබිණි.

ධම්ම පද පාලියේ ලෝක වග්ගයේ ඇතුළත් “උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය ධම්මං සුචරිතං චරෙ, ධම්මචාරි සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හිච” ගාථාව උපුටා දක්වමින් ලෝකවාසින් සුචරිතයේ යෙදීමේ ඇති වැදගත්කම, සිය පණිවිඩය ඔස්සේ අතිගරු ජනාධිපතිතුමන් අවධාරණය කර සිටියේය. සමුළුවට එක් කළ අතිගරු ජනාධිපතිතුමන්ගේ මෙම හරවත් පණිවිඩය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර, කාලීන වැදගත්කමක් ඉසිලූ එතුමන්ගේ වටිනා කරුණු ප්‍රශංසාවටත්, අගය කිරීමටත් ලක්විණි.

20,000 කට අධික වෙහෙර විහාරස්ථානයන් පිහිටි චීනයේ, මිලියන 300 කට අධික බොදු බැතිමතුන් ජීවත්වන අතර, භික්ෂූන්වහන්සේලා ලක්ෂ 02 කටත් වඩා වැඩි සංඛ්‍යාවක් වැඩ වාසය කරති. මහත් ගරුබුහුමන් පෙරදැරිව චීන සම්ප්‍රදායානුකූල ආගමික වත්පිළිවෙත් වලින් ඇරැඹි මෙම සමුළුව තුළින් බෞද්ධ පුනරුදයක් වෙනුවෙන් මනා දායකත්වයක් දැක්වූවා සේම, සමුළුවේ සාර්ථකත්වය වෙනුවෙන් සෑම දෙනෙකුගේම දායකත්වය කැපී පෙනුණි.

චීන බෞද්ධ සංගමයේ සභාපති අතිපුජ්‍ය චූවාන් යින් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මෙවන් සමුළුවක් ප්‍රථම වරට චීනයේ පැවැත්වීම තුළින් චීන බෞද්ධයන් හා ලෝක බෞද්ධයන් අතර සහෝදරත්වයේ දෑත් දිගු කිරීම සඳහා කදිම අවස්ථාවක් උදාවු බවයි.

එමෙන්ම ලෝක බෞද්ධ මහා සම්මේලනයේ මහලේකම්, පල්ලොජ් තායිරි මහතා සිය අදහස් දැක්වීම තුළින් කියා සිටියේ, රට රටවල් අතර මෙන්ම බොදු සමාජ අතර අදහස් හුවමාරු කරගනිමින් එකිනෙකා අතර අත්දැකීම් බෙදා හදා ගැනීම සඳහා මෙය කදිම තෝතැන්නක් වන බවය. එමෙන්ම, සමඟිය හා සහෝදරත්වය වර්ධනය කරගැනීම වෙනුවෙන් ලෝක බෞද්ධ මහා සම්මේලනය නිරන්තරයෙන් කැපවී සිටින බවත් එතුමන් ප්‍රකාශ කළේය.

තෙදිනක් පුරා පැවැති සමුළුවේ සමාප්ති උත්සව අවස්ථාව සනිටුහන් කරමින්, ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විශේෂ අනුශාසනාවක් සිදු කළ ශී‍්‍ර ලංකා දූත පිරිසේ ප්‍රධානී. ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පෙන්වා වදාළේ. ථෙරවාද, මහායාන, වජ්‍රයාන, හා තන්ත්‍රයාන අදහන සැදැහැවතුන් එකට ඒකරාශි කරගනිමින් මනා ගිහි පැවිදි සම්බන්ධයක් ඇති කරළීමට මෙම සම්මේලනයට හැකි වූවා සේම, එතුළින් එකම ශාස්තෘවරයාණන් වහන්සේ නමකගේ ධර්මය ලොව පුරා ව්‍යාප්ත කරලීමට හැකියාව ලැබූ බවයි.

මෙවන් අභිමානවත් සමුළුවක ඇති වැදගත්කම වෙනුවෙන් තෛ‍්‍රනිකායික ගෞරවණීය මහා සඟරුවනේ මෙන්ම, ලක්වැසියන්ගේ පුර්ණ ආශිර්වාදය පිරිනමන බවත් වදාළ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, චීනයත් ශී‍්‍ර ලංකාවත් අතර පවතින දීර්ඝකාලීන මිතුදම ද මෙහිදී සිහිපත් කර සිටියහ.

මෙවර සමුළුවට සහභාගි වූ ගිහි පැවිදි පිරිසට පුරාණ සේද මාවතේ සමාරම්භය සනිටුහන් වූ චීනයේ ෂියෑංෂි පළාතේ ඓතිහාසිකත්වය මනාව දැක බලා ගන්නට හැකි විය. එමෙන්ම, ශී‍්‍ර ලංකා දූත පිරිසට තවත් භාග්‍යවන්ත උතුම් අවස්ථාවක් උදාකරළමින්, බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින චීනයේ බීජිං නුවරට මඳක් ඈතින් පිහිටි ලිංගුවාන්ග් විහාරස්ථානය වෙත ගොස් දන්ත ධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටිනා ආකාරය ඒ අභියසටම ගොස් සියැසින් දැකබලා වැඳ පුදා ගැනීමටත් අවස්ථාව ලැබිණි.

ලොව පහළ වන සියලු බුදුවරුන්ගේ ඒකායන ඉගැන්වීම වන “සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු සාසනං” යන උතුම් වදන් පෙළ මනාව පසක් වූ සමුළුවක සාඩම්බර සමාප්තිය එළෙස සනිටුහන් විය.

 

 ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.37 ට ලබයි. 07 වැනිදා සිකුරාදා පූර්වභාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]