UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිසි වත් පිළිවෙතින් කළ යුතුය පින්කම්

බුදු පිළිම නෙළීමේ ආරම්භය හා සම්බන්ධ කතා පුවත් අප පසුගිය කලාපයෙන් කතා කළා. ඒ හා සම්බන්ධ තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීම මේ ලිපියේ අරමුණ වෙනවා.

බුදු පිළිමයක් නිර්මාණය කර ඊට වැඳුම් පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ කොතැනක හෝ සඳහන් කර නැහැ. නික්ලේශී බුදු, පසේ බුදු, මහ රහත් උත්තමයන් කිසි විටක තමන් වෙනුවෙන් වන්දනා කර ගැනීමක් කරන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කොතැනකවත් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කර නැහැ. එසේ වුවත් ජනතා සිත් සතන් සනසා ගැනීමට විශාල පිටිවහලක් මේ බුදු පිළිම , වන්දනාව හරහා සිදු වන බැවින් ඒ සඳහා අතීතයේ සිටම අනුග්‍රහ ලැබී තිබෙනවා.

මේ පිළිම වන්දනාව සිදු කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනා මාන කරනු අයුරින්ම යි. එකත්පසට වී වන්දනාමාන කිරීම, පසඟ පිහිටුවා වන්දනා මාන කිරීම මෙන්ම ජීවමාන බුදු හිමියන්ට කරනු ලබන සැලකිලි ඒ අයුරින් ම සිදු කිරීම මෙහිදී ප්‍රධාන වෙනවා.

බුද්ධ වන්දනාව සිදු කළ යුතු ආකාරයක් තිබෙනවා. පළමුවෙන් තුනුරුවන් වන්දනා කළ යුතු වෙනවා, විශේෂයෙන් පාරිභෝගික වස්තූන් වන්දනා මාන කර අවසානයේදී තුන් සූත්‍රය සජ්ඣායනා කළ පසුව ආශිර්වාද සෙත් පිරිත් ආශිර්වාද කර ගන්නවා නම් තමයි එය නියම බුද්ධ වන්දනාවක් බවට පත් වෙන්නේ. විහාරස්ථානයේදී මෙන්ම මේ ආකාරයෙන් නිසි වත් පිළිවෙත් නිවසේදී ද කළ යුතු වෙනවා. දානමය පින්කමකදී සධාතුක ධාතූන් වහන්සේ නිවසට වැඩමවා ගන්නේ ජිවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු කර ගෙනයි. ශබ්ද පූජා පවත්වා විශාල ගෞරවයක් ලබා දී මුතු කුඩ යටින් ධාතූන් වහන්සේ වැඩමවීමෙන් ඒ සඳහා අප විශාල ගෞරවයක් ලබා දෙනවා. සධාතුක කරඬුව තුළ අනිවාර්යයෙන් ම ධාතූන් වහන්සේ වැඩ සිටිය යුතුමයි. ධාතූන් වහන්සේට පළමුව බුද්ධ පූජාව පිළියෙළ කර පූජා කරනවා. ඒ බුද්ධ පූජාව ඉවත් කළ යුත්තේ ස්වාමීන් වහන්සේ දානය වළදා අවසන් වූ පසුවයි.

බෝධි පූජාවකදී පවා අප කටයුතු කළ යුත්තේ මේ අනුවයි. අප විසින් පූජා කරනු ලබන ආහාර පාන බෝධි පූජාව අවසන් වූ පසුව ඉවත් කළ යුතු වෙනවා. දානයක් ගිලන් පස වැළදීමට ගත වන යම් කාල සීමාවක් තිබෙනවා. එම කාල සීමාවෙන් පසු එසේ ඉවත් කළ යුතු වෙනවා. නමුත් ඇතැම් අය එසේ ඉවත් කිරීම පවා නුසුදුසු යි යන ආකල්පයකින් තමන් විසින් පූජා කරන ලද ආහාර, ගිලන්පස එසේම තබා පිටත්ව යනවා.

පිළිම වහන්සේ බුද්ධ පූජාව නොවැළදුවත් අප විසින් පූජාවන් සිදු කරන්නේ ජීවමාන බුදු හිමියන් සිහි කර ගනිමින් එම නිසා ඒ සඳහා අවශ්‍ය වන වේලාවෙන් පසුව එය ඉවත් කර සුද්ධ පවිත්‍ර කර තබා ගත යුතු වෙනවා. එයයි නිවැරැදි පිළිවෙත වෙන්නේ.

නමුත් අද ඇතැම් විහාරස්ථානවල සිදු වන්නේ දායකයන්ගේ සිත රිදෙන ලෙස ඇතැම් ආවතේව පිරිස් විසින් කටයුතු කිරීමයි. වන්දනාමාන පිණිස පැමිණෙන පිරිස් නිවසේ දී ඉතා පිරිසුදුව සකස් කරගෙන එන බුද්ධ පූජාවට පුදනු ලබන දේ ඔවුන් බුද්ධ පූජාව තබා වන්දනා මාන කරන අතරේ ඉවත් කර කුණු බක්කියට දමනවා. ඉතා අපහසුවෙන් නිවසේ සිට රැගෙන එන මල්, එසේ නැත්නම් විශාල වියදමක් දරා මිලදී ගන්නා මල් පූජා කර වන්දනා මාන කරන්නටත්? පෙර මල් එකතු කරන පුද්ගලයා පැමිණ පූජා කළ අය ඉදිරියේදීම එය කුණු බක්කියට දමනවා. මේවා දකින දායකයා තුළ ඇති වන්නේ අසතුටක්. එවන් තත්ත්වයන් නිර්මාණය වීම කිසිසේත්ම සුදුසු නැහැ. මෙහිදී ස්වාමීන් වහන්සේගේ වගකීමක් වන්නේ ආවතේව කරනු ලබන පුද්ගලයන් නිසි පරිදි දැනුවත් කර දායක සිත් නොරිදවා කටයුතු කරන ලෙස දැනුම් දීමයි.

විහාරස්ථානායකට යම් අයකු පැමිණෙන්නේ අසතුටු සිතිවිලි දමනය කර මෛත්‍රී ,කරුණා සිත් උපදවා ගැනීමටයි. එවන් සිත් තවත් දූෂ්‍ය වන්නේ නම් එම පුද පූජා පැවැත්වීම පලක් වන්නේ නැහැ.

එමෙන්ම බුද්ධ පූජාව තැබීම සම්බන්ධව විවිධ මත තවමත් අප තුළ පවතිනවා. කාම තණ්හා,භව තණ්හා,විභව තණ්හා තියෙන අය යමක් දීමේදී අඩුවෙන් දීමේ පුරුද්දක් තිබෙනවා. එවන් පිරිස් තමයි බුද්ධ පූජාවත් අඩුවෙන් තබන්නේ.ඒ ආහාර පාන අහක දමන්නේ කුමටද? යන සිතිවිල්ල සිතේ දරාගෙනයි. එය නිවැරැදි පූජා ක්‍රමයක් නොවන බව හොඳීන් අවධාරණය කරගත යුතු වෙනවා. බුදු හිමියන්ට පූජා කළ යුත්තේ අංග සම්පූර්ණ දානමය පින්කමක් බව සිහි තබා ගත යුතුයි. පැන් පූජා කිරීමේදී ඉතා කුඩා භාජනයක පූජා කරනවා. අප මුලින් සඳහන් කළාක් මෙන් මේ පුද පූජාවන් කරන්නේ ජිවමාන බුදු හිමියන් සිහි කරගෙන වන බැවින් පැන් පූජා කිරීමේදී අත් දෝවනය කර ගැනීම මුව දෝවනය කර ගැනීම මෙන්ම වැළදීම පිණිස ප්‍රමාණවත් අයුරින් එය පූජා කළ යුතු වෙනවා. එසේ නොමැතිව පැන් ටිකටත් තණ්හාවෙන් පූජා කරනවා නම්, එය ඇත්තෙන්ම පූජාවක් නෙවෙයි , ප්‍රදර්ශනයක් පමණයි.

මල් පූජා කරන විට මල් දෙක තුනක් නොව මල් වට්ටියක් පිරෙන ලෙස පූජා කළ යුතු වෙනවා. දැහැත් වට්ටියක් පූජා කරනවා යනුවෙන් අදහස් කරන්නේ දැහැත් කොළ දෙක තුනක් පිදීම නොවෙයි. දැහැත් වට්ටියක් ම පූජා කළ යුතු වෙනවා. කිසිදු දෙයක් අඩුවෙන් තැබීම සුදුසු නැහැ.

ඇතැම් අය ඉතා කුඩා ප්‍රමාණයේ බුද්ධ පූජා කට්ටලයක් භාවිතා කරනු ලබනවා. බුද්ධ පූජාව ආවරණය පිණිස පිරිසුදු වැස්මක් යොදා ගත යුතු වෙනවා.

ඇතැම් බුද්ධ පූජා කට්ටලවල පාත්‍රය කුඩා කෝපි කෝප්පයක් තරම්. නොදන්නාකමින් මේවා මිලදී ගන්නා නිසා ඒවා තවමත් අලෙවි කරනවා. දැනගෙන බුද්ධ වන්දනාව වැදගත් බව පවසන්නේ මේ නිසයි. මෙයින් අප පෙන්වන්නේ දන් දුන්නත් තෘෂ්ණාව අඩුවී නොමැති බවයි. අපේ පැරැන්නන් පවසන්නේ ‘දෙන දේ හරියට දෙන්න ඕන’ කියලයි. නමුත් අපි ඒ තත්ත්වයට තවමත් ළඟා වී නැහැ. බුද්ධ පූජාව තැබීමේ නිවැරැදි අර්ථය නොදන්නාකමයි. මේ සඳහා මූලික වී ඇත්තේ. ජීවමාන බුදුරජාණන් වහන්සේට කරනු ලබන පූජාවක් ලෙසින් සිත්හි තබා ගන්නවා නම් ඒ කිසිදු ගැටලුවක් නැහැ. එවිට කුසලයේ අංග සම්පූර්ණ වෙනවා.

බුද්ධ පූජාව සිසි පරිදි පුද නොකිරීම අකුසල සිදු කර ගැනීමක් බව බොහෝ දෙනෙකු නොදන්නා දෙයක්. බුද්ධ පූජාව නිසි පරිදි තැබීමට බැරි නම් එය නොතබා සිටීම වෙනම කරුණක්. එසේ නොමැතිව තණ්හාවට මුල් තැන් දී බුද්ධ පූජාව අවතක්සේරු කිරිම මහත් වූ අකුසලයක් බව සිහි තබා ගත යුතු වෙනවා.

සාකච්ඡා කෙළේ - තාරක වික්‍රමසේකර

 

 නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 17 වැනිදා ඉරිදා පූර්ණ භාග 05.58 ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 06.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]