UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලබන වටගෙදර විමලබුද්ධි අනු නාහිමි අක්තපත්‍ර ප්‍රදානය ජුනි 14 දා

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලබන වටගෙදර විමලබුද්ධි අනු නාහිමි අක්තපත්‍ර ප්‍රදානය ජුනි 14 දා

මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙනෙහි පරිවෙණාධ්‍යක්‍ෂ ,අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායෙහි අනුනායක ධුරන්දර, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වටගෙදර විමලබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමකාලීන සසුන’ඹර ඒකාලෝක කරන චන්ද්‍ර බිම්බයක් වැනියහ.

පරම පූජණීය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ සහ කිතලගම පඤ්ඤාසභ නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1962 වසරේදී සසුන් කෙතට වන් වටගෙදර විමලබුද්ධි අනුනාහිමියෝ එච්.ආර්. පොඩිසිඤ්ඤෝ උපාසක මහතාට දාව පී. කේ. හින්නිහාමි උපාසිකා මාතාවගේ කුසින් 1953 වසරෙහි මාතර වටගෙදර දී ජන්ම ලාභය ලදහ.

කිතලගම පඤ්ඤානන්ද හිමියන් විසින් 1920 වසරේදී ප්‍රතිෂ්ඨාපිත මහරගම පඤ්ඤාතිලකාරාමය කේන්ද්‍ර කොටගෙන වසර 1962 දී තත්කාලීන විද්‍යෝදය විශ්ව විද්‍යාලයාධිපති වැලිවිටියේ සෝරත නාහිමියන් විසින් පැවිදි ශිෂ්‍යයන් දාහත් නමකගෙන් ඇරඹි ප්‍රඥානන්ද මහ පිරිවෙන වටගෙදර විමලබුද්ධි අනුනාහිමියන්ගේ මූලික ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණස්ථානය විය. එහිදී පිරිවෙන අධ්‍යාපන කටයුතු හමාර කොට අ.පො.ස. සා.පෙළ විභාගයත්, ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයත් ඉහළින් සමත් වූ උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්ව කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළුව එයින් සංස්කෘත භාෂාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත්හ.

1974 දී අධිශීල සංඛ්‍යාත ශික්‍ෂාවට පත් උන්වහන්සේ විශ්ව විද්‍යාලයෙන් පිට වී 1978 වසරේදී ස්වකීය විහාරස්ථානය වෙත පුනරාගමනය කළහ. ඒ වන විට උන් වහන්සේ සුූවිසි වැනි වියෙහි වූහ. එවකට එහි විහාරාධිපතිව වැඩ විසූ කිතලගම පඤ්ඤාසභ නාහිමියෝ උන්වහන්සේගේ සද්ගුණ අවබෝධ කොටගෙන දෝ පඤ්ඤාතිලකාරාමය උන්වහන්සේට පවරා උඩහමුල්ල පඤ්ඤෝදයාරාමයට වැඩම කළහ. එවක් පටන් වටගෙදර විමලබුද්ධි හිමියෝ විහාරස්ථානයෙහිත්, පිරිවෙනෙහි උන්නතිය උදෙසා ජීවිතය කැප කළහ. ශාසන කටයුතු නිසාවෙන් සිය දිවිය කාර්ය බහුල වුවද උන්වහන්සේ අධ්‍යයන කටයුතු අවිච්ඡින්නව පවත්වා ගනිමින් ප්‍රාචීන මධ්‍යම විභාගයට ඉදිරිපත් වී මුළු දිවයිනෙන්ම සංස්කෘත භාෂාව පිළිබඳ ඉහළම ලකුණු මට්ටමට පැමිණ, මාපා ගුණරත්න ‘ සම්මානයට ද හිමිකම් කීහ.

ඒ වන විට ප්‍රඥානන්ද මහ පිරිවෙනෙහි පරිවේණාධිපති ධුරය ඉසිලූ උන්වහන්සේගේ ශාස්ත්‍රලෝභීත්ත්වය පිළිබඳව අවබෝධ කරගත් නියෝජ්‍ය පරිවෙණාධිපති දර්ශනපති වටගෙදර විමලසාර හිමියෝ උන්වහන්සේට ඒ සඳහා අවකාශ ලැබෙන පරිදි පිරිවෙනෙහි සියලු වගකීම් භාරගත්හ.

නා හිමියන්ට ලැබුණු මේ අවකාශයේ දී උන්වහන්සේ සංස්කෘත භාෂාව සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් හා භාරතයේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධි දෙකක්ම දිනා ගත්හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍රපති උපාධිය සඳහා උන්වහන්සේ ප්‍රණීත “සංස්කෘත චම්පු කාව්‍ය සාහිත්‍යය’ නම් නිබන්ධනය ග්‍රන්ථයක් ලෙස පළ වී සංස්කෘත භාෂාර්ථයන්ට අධ්‍යයන කටයුතු සඳහා දැනුදු අත්‍යවශ්‍ය ග්‍රන්ථයක් බවට පත් වී ඇත.

උන්වහන්සේ් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් පශ්චාත් උපාධී අධ්‍යාපන ඩිප්ලෝමාවක් ද ,කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් සම්මාන සාමාර්ථ සහිත පුරාවිද්‍යා ඩිප්ලෝමාවක් ද ලබා දැනටත් එහිම පුරාවිද්‍යාපති උපාධිය සඳහා පර්යේෂණ කටයුතු සිදු කරමින් සිටිති.

සංස්කෘත චම්පු කාව්‍ය සාහිත්‍යය, බුද්ධ වන්දනාව සෙත් පිරිත් හා සූත්‍ර ධර්ම දේශනා, කඨින චීවර පූජාව අනෝතත්තවිල හා කඨිනානිංශස වර්ණනාව, ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ උපත දුර්ලභය යන ග්‍රන්ථ උන්වහන්සේ විසින් භාෂාව ,ආගම හා සාහිත්‍ය ලෝකයට දායාද කරන ලද අතර, වටගෙදර විමලබුද්ධි නාහිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා සංග්‍රහ කොට සම්පාදිත,’උපත හා මරණය අතරතුර ‘ග්‍රන්ථයද ඒ අතර වේ.

පිරිවෙන් සඳහා සංස්කෘත ගුරු අතපොත් රැසක් ද සම්පාදනය කොට මේ වන විට ත්‍රිපිටක අට්ඨකථා පරිවර්තක මණ්ඩලයෙහි කටයුතු කරමින් මහත් ශාසනික මෙහෙයක් සිදුකරන උන්වහන්සේ විසින් චතුභාණවාරට්ඨකථාව ද සිංහලයට පෙරැළිණ.

වටරැක සාමණේර භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානය, කිරිවත්තකුඩුව ශ්‍රී මහා බෝධි විහාරය, මහරගම ශ්‍රී පඤ්ඤාතිලකාරාමය යන විහාරත්‍රයාධිපත්‍යයද මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි තනතුර ද හොබවන උන්වහන්සේ කිසිදු විටෙක ස්වකීය ස්ථානාන්තර නිසා හෝ අධ්‍යාපනික සුදුසුකම් නිසා හෝ දක්‍ෂතාවන් නිස හෝ ඔසවා ගත් මාන නළ ඇත්තාහු නොවෙත්. එය උන්වහන්සේගේ චරිතයෙහි කැපී පෙනෙන ලක්‍ෂණයෙකි.

උන්වහන්සේගේ ශාසනික හා සාහිත්‍යය සේවාව අගයනු පිණිස අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායෙහි මහා නා හිමි වරප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් ඒකච්ඡන්දයෙන් අභිනව අනුනායක ධූරයෙන්ද උන්වහන්සේ පිදුම් ලැබූහ. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර සහිත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය අමරපුර මහා නිකායෙහි උත්තරීතර මහානායක දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියන් හා අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායෙහි මහානායක තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමියන් ප්‍රමුඛ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය පෙරටු කොට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රභූන් රැසකගේ සහභාගිත්වයෙන් 2014 පොසොන් මස 14 වැනි ශනි දින සවස 2.00 ට මහරගම ජාතික තරුණ සේවා සභා ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]