UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙරහර

පෙරහර

ශ්‍රී දළදා මාලිගාව

ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් මහා පෙරහර පොසොන් පුර පසළොස්වක පෝයදින සිරිත් ප්‍රකාර මාලිගාචතුරශ්‍රය ප්‍රධාන වීදි සංචාරය කෙරේ. පෙරහර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අබියසයෙන් පිටත්වේ. ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන් ඇතුළු සංස්කෘතික කණ්ඩායම් සහභාගිවනු ඇත.

මෙදිනම මල්වතු අස්ගිරි උභයමහාවිහාරයන්හි උපසම්පදා මංගල්‍යයත් පොසොන් පෝය දිනයෙන් අවසන් කෙරේ. පොසොන් පෝයදින උපසම්පදා පෙරහර මල්වතු අස්ගිරි මහා විහාර කරා ගමන් කිරීමෙන් පසු පෙරහරේ වැඩමවාගෙන යනු ලබන සාමණේර දෙනම වාහලනාගනාමයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවීම, උපෝෂථාගාරයන්හි සිදු කෙරේ. උපසම්පදා පෙරහර උභයමහා විහාරයන් කරා ගෙවදීමෙන් පසු, ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් මහා පෙරහර ආරම්භ කෙරේ.


රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ජූනි මස 28 දින සිට ජූලි මස 13 දින දක්වා පැවැත්වීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ  ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

ජූනි 28 වැනිදා ආරම්භක පෙරහර ද, 29 වැනි දා දෙවැනි පෙරහර ද 30 වැනිදා තුන්වැනි පෙරහර ද, ජූලි 01 වැනිදා හතරවැනි පෙරහද, 02 වැනි දා පස්වැනි පෙරහර ද, 03 වැනි දා හය වැනි පෙරහර ද එදිනම බස්නායක නිලමේ තුමාගේ නිල නිවාසයේ පැවැත්වෙන සංඝගත දක්‍ෂිණාව ද අතුපන්දල දැමීමද, බස්නායක නිලමේ තුමාගේ සහභාගීත්වයෙන් දෙවියන් වහන්සේ වැඩමවීම කිරීමද සිදුකෙරෙන අතර එතුමා චාරිත්‍රානුකූලව මෙදින පෙරහරේද ගමන් කරනු ඇත. 04 වැනි දා හත්වැනි පෙරහරද, 05 වැනිදා අටවැනි පෙරහර ද, 06 වැනිදා නවවැනි පෙරහර ද, 07 වැනි දා දහවැනි පෙරහරද, 08 වැනිදා එකොළොස්වැනි පෙරහරද, 09 වැනිදා දොළොස්වැනි පෙරහරද එදිනම ගිනි පෑගීමේ උත්සවයද පැවැත්වේ. 10 වැනිදා දහතුන්වැනි පෙරහරද, 11 වැනිදා දහහතරවැනි පෙරහරද, 12 වැනිදා පහළොස්වැනි පෙරහරද එදිනම අවසන් මහා පෙරහරද පැවැත්වෙන අතර 13 වැනි දා දියකැපීමේ මංගල්‍යයෙන් පෙරහරේ කටයුතු අවසන් කෙරේ.


පොළොන්නරුව ගල්විහාරය

ඓතිහාසික පොළොන්නරුව ගල් විහාරයේ දළදා පොසොන් මහා පෙරහර ජූනි 13 වෙනිදා 42 වෙනි වතාවටත් සොළොස්මස්ථානාධිපති, අස්ගිරිය මහා විහාරයීය ගෙඩිගේ රාජමහ විහාරාධිවාසි අස්ගිරිය මහා විහාර, කාරක සභික ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි නාහිමිගේ සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.


 

උඩමුදුන ශ්‍රී පූර්වාරාමය

පූජාපිටිය, උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ පොසොන් මහා පෙරහර 89 වෙනි වතාවටත් ජූනි 12 වෙනි දින විහාරාධිපති හාරිස්පත්තුව අධිකරණ සංඝනායක මිනිවන්ගමුවේ රතනසාර නාහිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට විහාර කාර්ය සාධක සමිතිය විධි විධාන යොදා ඇත.මෙදින සවස 2.00 ට විහාරස්ථ මළුවෙන් පිටත්වන පෙරහර සිරිත් පරිදි පූජාපිටිය නගර ප්‍රදර්ශනය කර සවස 6.00 පමණ ගෙවදී පූජාපිටිය රජයේ සහ පුද්ගලික ආයතන සහ වෙළඳ ප්‍රජාවගේ ද සහය ආධාර ඇතිව සිදුකරන බව දන්වා සිටී


දෙවොල් කොන පුරාණ විහාරය

පේරාදෙණිය උඩඊරියගම දෙවොල් කොන පුරාණ විහාරයේ මිහිඳු පෙරහර දහම් පාසලේ සම්බන්ධතාවයෙන් මෙවරද පැවැත්වීමට විහාරාධිපති ශාස්ත්‍රපති දුම්බර සෝරත හිමි විධිවිධාන යොදා ඇත. අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාර මිහිඳු පෙරහර මෙවරද විහාරාධිපති, සංඝනායක ශාස්ත්‍රවේදී බටුගොඩ සංකිච්චායන හිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.


මහනුවර පුෂ්පදාන සමිතිය

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ පොසොන් මහා පෙරහර ජූනි 15 වෙනිදා පැවැත්වේ. මෙදින සවස දෙකට පුෂ්පදාන සමිති මූලස්ථානයෙන් පිටත්වන පෙරහර මහනුවර ප්‍රධාන සතර වීදියේ (මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රාත්‍රී මහ පෙරහර ගමන් කරන මාර්ගය) ගමන් කර සවස හයට ගෙවදීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන් සහ සංස්කෘතික කණ්ඩායම් රැසක් සහභාගි වන පොසොන් මහා පෙරහරට භක්තිගීත කණ්ඩායම් ද සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා ඇත.


රාගම වල්පොල

රාගම, වල්පොල ශ්‍රී බාලාභිවෘධිවර්ධන සමිතිය මඟින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන ඓතිහාසික පොසොන් මහ පෙරහර 86 වන වරටත් සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් 11 වෙනි දින පැවැත්විණි.

පුරාණ හෙළ සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් චාරිත්‍රානුකූලව පැවැත්වෙන මෙම ඓතිහාසික පොසොන් මහ පෙරහර ඉතාමත් දර්ශනීය සංස්කෘතික සංදර්ශනයකි.


මැදවෙල රජමහා විහාරයේ මිහිඳු පෙරහර

මෙරට ඉපැරණි විහාරස්ථාන අතුරින් වසර 2104 ක් පැරැණි ඓතිහාසික මැදවෙල රජමහා විහාරය කේන්ද්‍ර කැරගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහි කරමින් පවත්වන අසිරිමත් පොසෙන් පෙරහර පොසොන් පොහෝ දිනය (12) සවස 2.00 ට ගමන් කිරීම ආරම්භ කෙරේ.

මැදවෙල රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිරුව සහිත අලංකාර පෙරහර කිලෝමීටර් හතරක් පමණ ගමන් කර පල්කුඹුර රජමහා විහාරස්ථානය කරා ගමන් කර අනතුරුව යළි ඓතිහාසික මැදවෙල රජමහා විහාරය වෙත කිලෝමීටර් හතරක් ගමන් කර ගෙවදීමට නියමිතය.

සියම් මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ හාරිස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික මැදවෙල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දෙහිගම චන්දරතන නාහිමියන්ගේ උපදෙස් මත මැදවෙල රජමහා විහාරස්ථදායක සභාව, මැදවෙල සිවිල් ආරක්ෂක කමිටුව හා ගලගෙදර පොලිසිය මෙම අසිරිමත් පොසොන් පෙරහර සංවිධානය කරනුලබන අතර ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශය ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙයි.

මහා සංඝරත්නය තිස් නමක් අටවිසි බුද්ධ ප්‍රතිමා පෙරටු කරගෙන මෙම පෙරහරේ වැඩම කිරීමට නියමිතය.මෙයට අමතර උඩරට, පහතරට, නර්තන අංග මෙන්ම ප්‍රදේශයේ පාසල් හා දහම්පාසල් දරුවන්ද සහභාගි වෙති.

මෙයට අමතරව පොසොන් පොහෝදින පෙරවරු 6.00 සිට මැදවෙල රජමහා විහාරස්ථානය තුළ සීල භාවනා වැඩසටහන් පැවැත්වේ. එමෙන්ම 12,13,14 තෙදින පස්වරු 5.30 සිට සවස 7.00 දක්වා අටවිසි බුද්ධ පූජා වන්දනා විහාරස්ථානය තුළ පැවැත්වේ.

ක්‍රි.පූ. 88 දී වළගම්බා රජු දවස ඉදිකළ බව පැවසෙන මැදවෙල රජමහා විහාරය අතිශය වැදගත් වන්නේ දුර්ලභ ගණයේ ටැම්පිට විහාරය හා දුර්ලභ ගණයේ මහනුවර යුගයේ එහි චිත්‍ර නිසාවෙනි.වෙස්සන්තර හා උරග ජාතක කතා චිත්‍ර එහි ඇතුළත් අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ඉදිකළ මකර තොරණ හා ගජසිංහ රූප දෙක සඳකඩ පහණ හා ගම්පොල යුගයේ පියගැට පෙළද මෙහි තවත් වැදගත් අංග වේ.මෙයට අමතර කුරුණෑගල යුගයේ වටිනා සෙල්ලිපියක් මැදවෙල රජමහා විහාරස්ථානය තුළ පවතී.

එමෙන්ම උපාලි හිමියන් මෙරටට වැඩම කිරීමෙන් අනතුරුව මෙරට ඉදිකළ මල්වතු මහා විහාරයේ පොහොය ගෙය පසුව දෙවනුව ඉදිකළ ඉපැරැණි මැදවෙල රජමහා විහාරස්ථ පොහොය ගෙයද මෙහි පවතින නිසාවෙන් එම ස්ථානද නැරඹීමට පැමිණෙන ලෙසට විහාරාධිපති දෙහිගම චන්දරතන හිමියෝ ඉල්ලා සිටී.

- ඉන්දික පොල්කොටුව


ඊරියගම පුරාණ විහාරය

පේරාදෙණිය උඩඊරියගම දෙවොල්කොන පුරාණ විහාරයේ දහම් පාසලේ මිහිඳු මහ පෙරහර ජූනි 15 වෙනිදා තුන්වෙනි වතාවටත් පැවැත්වෙන බව ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති දුම්බර සෝරත හිමි සඳහන් කරයි. කේ. බණ්ඩාරනාය


තිස්සමහාරාම රජමහා විහාරය

ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ වාර්ෂික පොසොන් මහා පෙරහර ජූනි මස 10, 11, 12 යන දිනයන්හි පැවැත්වීමට තිස්සමහාරාම රාජමහා විහාරය සඳගිරිය රාජමහා විහාරය යන උභය විහාරාධිපති මාතර කැන්දබඩපත්තුවේ හා හම්බන්තොට දෙදිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අනුශාසනාව පරිදි කටයුතු සංවිධානය කර ඇත.තිස්සමහාරාම පොසොන් මහ පෙරහරේ මලුවේ පෙරහර ජූනි මස 10 දින රාත්‍රී පැවැත්වේ. ජූනි මස 11 දින රාත්‍රී උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේනික නැටුම් වලින් හා අලි ඇතුන්ගෙන් යුත් පෙරහර තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී වීදි සංචාරය කරනු ලැබේ.ජූනි මස 12 දින රාත්‍රී රුහුණු පොසොන් මහා පෙරහරේ අවසාන මහා පෙරහර නර්තන අංගයන් , අලි ඇතුන් සහභාගිත්වයෙන්  අලංකාර අන්දමින් තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී වීදි සංචාරය කෙරේ.


තිස්සමහරාම රජමහ විහාරය

දකුණු සිරිලක ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථානය බුදුරජාණන් වහනසේගේ පාද ස්පර්ශය ලත් පුදබිමකි.

බුදුරජාණන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවට වැඩම වූ අවස්ථාවේ සමවත් සුවයෙන් වැඩ වදාළ ස්ථානයක් ලෙසත්, දොළොස් දහසක් මහරහතන් වහන්සේලා වැඩ සිටි පූජා භූමියක් ලෙසත් මහා සංඝරත්නය අභිධර්මය ප්‍රගුණ කරමින් වැඩිසිටියා වූ ශිලාපස්ස පිරිවෙන තිස්සමහාරාම රාජමහා විහාරස්ථාන අසල පිහිටුවා තිබීම ඓතිහාසික වැදගත්කමකි.

තිස්සමහාරාම රාජමහා විහාරය, සඳගිරිය රාජමහා විහාරය යන උභය විහාරාධිපති මාතර කන්දබඩ පත්තුවේ හා හම්බන්තොට දෙදිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අනුශාසනාව පරිදි මේ වර්ෂයේ පින්කම් කටයුතු මැයි මස 17 දින බෝධිපූජා පින්කම්වලින් ආරම්භ වී ධර්ම දේශනා අටවිසි බුද්ධපූජා හා සත් පිරිත් පින්කම්ද පවත්වන ලදී. තිස්සමහාරාම පොසොන් මහා පෙරහර ජූනි 12 වැනි දා වීථි සංචාරය කෙරේ.


හික්කඩුව තෙල්වත්ත පුරාණ විහාරය

තොටගමුවේ ශ්‍රී රාහුල මහ හිමියන් වැඩ විසූ ඓතිහාසික තෙල්වත්ත පුරාණ රත්පත් රජමහා විහාරස්ථ ශ්‍රී රාහුල තරුණ බෙද්ධ සමිතිය මඟින් 42 වන වරටත් පවත්වනු ලබන මිහිඳු පෙරහර මෙවරත් ජුනි 28 වන දින වීථි සංචාරය කෙරේ. වත්මන් විහාරාධිපති පිටුවල සුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වනු ලබන පෙරහර විහාරයේ සිට හික්කඩුව නගරය දක්වා ගමන් කෙරේ.


අලුත්වල පුරාණ නන්දාරාම විහාරස්ථානය

අලුත්වල තරුණ බෞද්ධ සංගමය 42 වන වරටත් ඉදිරිපත් කරන පුරාණ නන්දාරාම විහාරස්ථ මිහිඳු පූජා පෙරහර පොසොන් පොහොය දින සවස 01 සිට අලුත්වල නගරයේ වීථි සංචාරය කැරේ.

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පැරණිතම පෙරහර ලෙස අලුත්වල පුරාණ නන්දාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් මෙම මිහිඳු පූජා පෙරහර පවත්වනු ලබයි.

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]