UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

52 වන වරට පැවැත්වෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය
සැදැහැති දායකත්වය අබාන්ස් ආයතනය

සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් තෙවරක්ම පිවිතුරු වූ සිරිලක සිසිල් කළ සදහම් අමා ගංඟාව සතර දිගන්තය පුරා ගලා යාමට උල්පත සැදුණේ ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී උදාවූ පොසොන්පුර පසළොස්වක පොහොය දිනකදීය

මෙම උතුම් මෙහෙවර උදෙසා ලංකාගමනය සිදු කළ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා කළ සද්කාර්ය සුවිශේෂිය.

මහින්දාගමනය, බෞද්ධ දර්ශනයේ අගය මෙන්ම ශිෂ්ඨාචාරවත් ගමන් මඟක පදනම බෞද්ධ සංස්කෘතිය මත පිහිටුවා ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් ගොඩනැංවීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. ගොරහැඩි ගල් කුළු මත කුළුණුබර බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළමින් හෙළ කලාකරුවා ජීවය ලැබුවේත්, සාර ධර්ම පද්ධතියක්,දේශපාලන දර්ශනයක් මෙන්ම ආර්ථික පෙරළියක් ඇති වූයේ මහින්දාගමනය නිසාය.

මහින්දාගමනයෙන් සියවස් විසි දෙකකට පසුවද ලක්දිව පැවැති අභිමානය දුටු රොබට් නොක්ස් පවා මවිතයට පත් වූයේය.

මිහිඳු මා හිමියන්ගේ අසිරිමත් ලංකාගමනයත් සමඟ ලෝක බෞද්ධ ජනතාවගේ පරම පූජනීය පුදසුන බවට පත්වු මිහින්තලාව නම් වූ ඒ අපූර්ව සෙල් තලාව ලක්දිව බෞද්ධ ශිෂ්ඨාචාරයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.

මෙම අසිරිමත් ගිරි ශිඛරය පිහිටියේ අනුරාධපුර නගරයට සමීප නිසසල සුවදායක පරිසරයකය.

නෙත් සිත් පිනවන සිත්තම් පටක් වැනි වූ මිහිඳුම් වලාවෙන් වැසුණු රූස්ස ගහකොළ උස් වූ ගිරි ශිඛර මෙන්ම වනයට වසන් වූ අඳුරු ලෙන් කුටි එදා සතා සිවුපාවුන්ට කදිම වාසභූමියක තෝතැන්නක් වී තිබෙන්නට ඇත.

සුන්දරත්වයෙන් අනූන වුවද වන කතරක බියකරු පරිසරය නිසා අඳුරු රාත්‍රියේම කැකුණ පන්දම් එළිවාරුවෙන් වන්දනා නඩයන්ගේ සාධු නාදයත්, තුන් සරණේ කවියේ සවියෙන් එදා මිහින්තලාව තරණය කරන්නට මඟට බැස්සේ බැතියෙන් නැහැවෙනා හදවතට සුවයක් ගෙනා බැවිනි.

තම දිවි මඟ ආලෝකවත් කර ගැනීමේ අදිටනින් ගිරි දුර්ග සහිත වූ දුර කතර ගෙවා යන මේ ගමනේ දුක් ගැහැට හඳුනාගත් දානපතීන්, දායකකාරකාදීන්ගේ කාරුණික හදවත සංවේදී විය.

මිස්සක පව්ව දක්වාම පාවඩයක් සේ සුසැදි පිය ගැට පෙළත් ඒ අවට පුද බිමත් එළි පෙහෙළි වන්නට විය.

මලින් පිරී ගිය විසල් වනේ අරලිය මල් ගොමුවෙන් නිබඳව ගිලිහෙන මල් පෙති පුදබිම නැමඳීමට ඉහළ මළුවට ඇදෙනා බැතිමතුන්ට කෘත ගුණ දක්වන්නා සේය.

මහින්දාගමනයත් සමඟ ඇති වූ පරිවර්තනයන් සැබෑ කරමින් සදහම් කිරණින් බැබළ වූ මිහින්තලාව විදුලි පහන් ආලෝකයෙන් ඒකාලෝක වූයේ තාක්‍ෂණයේ නව පෙරළිය නිසාය.

ඓතිහාසික සදානුස්මරණීය වූ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ මූලාරම්භය උදාවන්නේ 1963 වසරේ අපේ රටේ පත්තර මහ ගෙදර මඟිනි.

යෝධ පහන් ටැඹක් බඳු වූ පත්තර මහ ගෙදර ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ උදාර වූ සංකල්පය පළ දරමින් එවකට ලේක්හවුස් සභාපතිව සිටි ආර්. එස්. විජයවර්ධන මහතාගේ සුරතින් මිහින්තලා පව්ව ආලෝකමත් විය. මේ අසිරිමත් මොහොතේ නිසල වා තලය සැදැහැතියන්ගේ සාධු නාදයෙන් සසල වූයේ ඔවුන්ගේ සිත් සතන්ද ආලෝකවත් වූ නිසාය.

අද මෙන් විදුලි රැහැන් නොතිබුණු එදා යුගයේ සුළං මෝල් (Genarator) භාවිතයෙන් පව්ව ආලෝකවත් කරමින් පත්තර මහගෙදරින් ඇරැඹුණු ආලෝක පූජාවේ අසිරිය ලක්දෙරණ පුරා පතල වන්නට විය. මේ නිසාම දිනෙන් දිනම පුද බිම වෙත ඇදෙනා ලක්‍ෂ ගණන් වන්දනා කරුවන්ට පත්තර මහගෙදරින් ඇරැඹුණු සුවිශේෂී කර්තව්‍ය තවත් පුළුල් විය.

දැයේ සදහම් පිපාසය සන්සිදවීමේ අභිලාෂයෙන් ආලෝක පූජාවේ ආලෝකයත් සමඟම 1965 දී ‘බුදුසරණ’ සදහම් පුවත්පත එළිදකින ලදී. එහි ප්‍රථම පිටපත මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ රතනපාල රතනජෝති නා හිමියන්ට පිළිගැන්වීමේ ධර්ම දානය සදානුස්මරණීය සිදුවීමකි. මිහින්තලා ආලෝක භාරය බිහි වූයේද විහාරාධිපති නා හිමියන්ගේ ඇප කැප වීම නිසාය.

ලේක්හවුස්, මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව 1978 වසරේදී විදුලි බල මණ්ඩලයේ සහායද ලැබිණි. 1989 වසරේදී ප්‍රදේශයේ දහම් පාසල් හා පාසල් දරු දැරියන් 125 දෙනකුගේ සහභාගිත්වයෙන් මිහින්තලා පුදබිමේදි ශීල සමාදාන වැඩසටහන් ඇරැඹිණි. දරුවන්ට අවශ්‍ය සිල් රෙදි ප්‍රදානය මෙන්ම දහවල් දාන මාන සැපයීම මෙහිදී සිදුවන තවත් කාර්යන්ය. වසරින් වසර අඛණ්ඩව දහම් පාසල් දරු දැරියන් දහසකට සිල් රෙදි ප්‍රදානය තවත් සුවිශේෂී කාර්යකි. උතුරු මැද පළාතේ දහම් පාසල් දරුවන්ගේ ධර්ම ඥානය වර්ධනයට පිටිවහලක් වූ කථික තරග පැවැත්වීම මෙහි ඇරැඹූ තවත් පියවරකි. දිනමිණ, බුදුසරණ පුවත්පත්වල දායකත්වයෙන් සහතික පිරිනැමීමේ වැඩපිළිවෙළට දිගුකලක සිටම ජාතික ඉතිරිකිරීමේ බැංකුව දැක්වූ නොමද සහාය පැසසිය යුතුය. මිහින්තලේ, කම්මලක්කුලම විද්‍යාලයට විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමත් එම ගම්මානය විදුලි පහන් ආලෝකයෙන් ඒකාලෝක කරවීමත් තවත් සුවිශේෂී කාර්යන්ය. මිහින්තලා මහා විද්‍යාලයට දිනමිණ, බුදුසරණ අංග සම්පූර්ණ පුස්තකාල ගොඩනැගිල්ල, මිහින්තලා කනිටු විදුහලට දන්ත චිකිත්සාගාරයක්ද ,කුරුන්දන්කුලම විදුහලට වඩු කාර්මික පුහුණු වැඩපොළක්ද ඉදි කිරීම සිදුවිය. කටුපොත ගම්මානයේ පෙර පාසලක් අරඹා එහි පාලනයට අවශ්‍ය විධි විධාන සැලැසූ අතර පොසොන් දම් දෙසුම මෙන්ම විහාරස්ථානයට අයත් වූ මිහිඳු පිළිරුව ප්‍රතිසංස්කරණය සිදුවිය. මිහින්තලා මහා විද්‍යාලයේ දරු දැරියන්ගේ තාක්‍ෂණ දැනුම දියුණුවට පරිගණක මධ්‍යස්ථානයක් ඉදිකර අවශ්‍ය පරිගණක පරිත්‍යාග කිරීමට මිහින්තලා ආලෝක භාරයට හැකි විය. තාවකාලික විදුලිබල පද්ධතිය නවීකරණයෙන් පසුව ලංකා විදුලි බල මණ්ඩලයේ නව භූගත විදුලි බල පද්ධතියකින් පුදබිම ඒකාලෝක කරවීමට කටයුතු සලසන ලදී. 2012 වසරේදි මිහින්තලා පතිරාජ තෙන්නකෝන් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමා උද්‍යානය නවීකරණය කිරීමෙන් එම වසරේදීම මිහින්තලා රජ මහා විහාරයේ ඓතිහාසික පොහොය ගෙය මැලිබන් ආයතනයේ අනුග්‍රහයෙන් සංරක්‍ෂණය කිරීමද සිදුවිය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙසින් රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් මිහින්තලා පුදබිමේ නව සංවර්ධනය උදා වී ඇත. 2012 වසරේ දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව පුදබිමේ මංමාවත් නවීකරණය කරමින් සොඳුරු පරිසරය සුරැකෙනා ලෙසින් කඳු වටා මාවත් කාපට් යොදා සංවර්ධනය කර ඇත. බැතිමතුන්ගේ පා යුග ගැටෙනා පින් බිමෙහි මැද මළුවට පිවිසෙන මීටර් 750 ක මාවත වර්ණ කොන්ක්‍රීට් අතුරා ඇති අතර පැරැණි රෝහල් මාර්ගය හා කටුසෑය මාර්ගය ඉදි කිරීම තවත් සුවිශේෂී කාර්යන්ය.

ස්මාරක සංරක්‍ෂණය, නව මල් කුටි ,වෙළෙඳ සැල් ඉදි කිරීම, ක්‍රමවත් කාණු පද්ධති, දර්ශනීය රථගාල, නවනගර උද්‍යාන ඉදි කරමින් ඒවා පොකුණු මඟින් අසිරිමත් කර නගරයේ සොඳුරු බවද පිවිතුරු බවද සුරැකීමට පියවරගෙන ඇත.

වත්මන් මිහින්තලා රජ මහා විහාරධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මිහින්තලා අඹ වනය මූලිකව අභය භූමියේ සඳුන් පැළ 500 ක් රෝපණය කර ඇත.

2013 වසරේදී සේල චෛත්‍යයේ නව චූඩා මාණික්‍ය විවෘත කිරීම සුපින්බර වූ පින්කම්ය. සේල චෛත්‍ය මළුවේ පැරැණි භූ දර්ශන, පැති බැමි, මිහිඳු ගුහාවේ අත්වැල හා ආවරණ කුඩා ස්තූප සංරක්‍ෂණය, ප්‍රාකාර බැම්ම රක්‍ෂණය, මහමළුවේ පිළිමගෙයි පියස වෙනුවෙන්ද ඉඳීකටුසෑය පොකුණ මිලියන 15 ක වියදමින් සංරක්‍ෂණයටද රජය බර පැන දරා ඇත. එමෙන්ම මෙවර මිහින්තලා රජ මහා විහාරයේ ඉදිකරන නව දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ තවත් මහඟු කාර්යන්ය.

‘කළගුණ සලකමු - මිහිඳු හිමි සමරමු’ පොසොන් උළෙලේ තේමා පාඨය සැබැ කරමින් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ 52 වන වසරටත් පත්තර මහගෙදරින් සිදු කරන මෙහෙවර සුවිශේෂීය.

මේ සඳහා දායකත්වය ලබාදෙන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි බන්දුල පද්මකුමාර මහතා ප්‍රධාන ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහත්වරු ඇතුළු පාලන අධිකාරියේ සහායත් ආලෝක පූජාවට සම අනුග්‍රහය ලබාදෙන ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතා ඇතුළු එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහායත් අබාන්ස් ආයතනයේ සැදැහැති දායකත්වයත් හෘදයාංගමව පැසසිය යුතුය.

එදා මහින්දාගමනයත් සමඟ ආලෝකවත් වූ දේශයේ දූ පුතුන්ගේ අභිමානවත් උරුමය පෝෂණය වූයේ ආගමානුකූල සුවදායක පරිසරයක් තුළය.

මිහින්තලාවෙන් නැ‍ෙඟන සදහම් ආලෝකයෙන් අප මව්බිම ආලෝකවත්ව තිබෙන තුරා පොසොන් අසිරිය සමඟින් ආලෝක පූජාවෙන් මිහින්තලා පින්බිම ඒකාලෝක කිරීමේ ශක්තිය ධෛර්යය, වාසනාව ලේක්හවුස් ආයතනයට නිබඳව ලැබේවා!

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]