UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි ලකට බුදු දහම ගෙන එන ලද්දේ මිහිඳු මා හිමියන් ද?

ඉන්දියාවේ පැවැත්වූ ථෙරවාදී ධර්ම සංගායනා තුන අතුරෙන් ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ තෙවන ධර්ම සංගායනාව සුවිශේෂ ස්ථානයක් ගනී. මහාවංස කතුවරයාද පළමුවන හා දෙවන ධර්ම සංගායනා විස්තර දැක්වීමට ගාථා 108 ක් ගෙන ඇති අතර ගාථා 283 ක් ඇති පස්වන පරිච්ඡේදයම තෙවන සංගායනාව සඳහා යොදා ගැනීමෙන් පැහැදිලි වන්නේ ද එම සංගායනාව වැදගත් තැනක් ගත් බවයි.

බුදුරදුන් පන්සාළිස් වසරක් දෙසූ දහම පළමුවන සංගායනාවේ දී මනාව සකස් කොට ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වැදගත් ය. දෙවන ධර්ම සංගායනාවේ දී ධර්ම විරෝධිව ක්‍රියාකළ භික්‍ෂූන්ගෙන් ධර්මය නිර්මලව ආරක්‍ෂා කර ගැනීමට පියවර ගත් නමුත් භික්‍ෂූන් අතර විවිධ නිකායන් ඇති වීමට මං සැලසීම නිසා දීර්ඝකාලීන අර්බුදයන් ඇති වූ බවක් පෙනේ. මේ අනුව සළකන විට තෙවන ධර්ම සංගායනාව විශේෂ වැදගත්කමකින් යුක්ත වීමට එක් හේතුවක් නම් ශාසනයට ඇතුළත්ව සිටී ධර්ම විරෝධින්ගේ මත ඛණ්ඩනය කොට ඔවුන් සසුනෙන් නෙරපා හැරීමට පියවර ගැනීමයි. ඒ සමඟ ඉන්දියාවෙන් බැහැර නව රාජ්‍යයන්ට ධර්මදූතයන් වහන්සේ යවා බුදුදහම ව්‍යාප්ත කිරීමට පියවර ගැනීම තවත් වැදගත් කරුණකි.

අශෝක අධිරාජයාගේ සහායෙන් මොග්ගලිපුත්තතිස්ස මාහිමියන් විසින් ලංකාව ඇතුළු නව රටකට ධර්ම දූතයන් පිටත් කොට යවන ලදී. බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නෙහි හෙවත් අශෝක අධිරාජයාගේ 18 වන රාජ වර්ෂයේ දී මිහිඳු මාහිමියන් ප්‍රධාන සත් දෙනෙකුගෙන් සමන්විත ධර්මදූත පිරිස පොසොන් පුර පසළොස්වක පොහොය දා මිහින්තලයට වැඩම වූ බවත්, දඩ කෙළියෙහි යෙදෙමින් සිටි දෙවන පෑතිස් රජතුමා ප්‍රධාන පිරිස එහිදී මුණ ගැසී ධර්ම ශ්‍රවණය කොට තෙරුවන් සරණ ගිය බවත්, දීපවංශ, මහාවංශ සහ සමන්තපාසාදිකා ආදි ග්‍රන්ථ සවින්තරව සඳහන් කරයි.

තත්කාලීන ග්‍රන්ථයන් හි දැක්වෙන මහින්දාගමනය පිළිබඳ පුවත්වල ඓතිහාසික සත්‍යතාව ශිලා ලේඛන ආදී වෙනත් මූලාශ්‍ර වලින් සම්පූර්ණයෙන් තහවුරු කොට ඇති හෙයින් මේ පිළිබඳ කිසිවෙකුටත් සැක සිතිය නොහැකිය.

මඩකලපුවේ රජගල හෙවත් රාස්සගල සෙල් ලිපියේ මිහිඳු දූත පිරිස පිළිබඳව පැහැදිලිව සඳහන්වේ. එසේම මිහින්තලේ තිබී සොයා ගත් සෙල් ලිපියක ‘මහිද තෙරහව භද්‍රසාල තෙරහව ඉටික තෙරහව උති තෙරභව‘ යනුවෙන් චක්වේ. ලංකා ධර්ම දූත සේවයට අයත් මහින්ද, භද්දසාල, ඉට්ඨිය, උත්තිය යන හිමිවරුන්ගේ නම් එහි සඳහන් වේ. මෙම සෙල්ලිපියේ කැඩී ගිය කොටසෙහි සම්බල හිමියන්ගේ නම තිබෙන්නට ඇතැයි විශ්වාස කරති. එමෙන්ම සාංචි ස්තූපයෙහි තිබී හමුවූ ධාතු භාජනවල හිමාලයේ බුදුදහම ව්‍යාප්ත කිරීමට වැඩම වූ මජ්ජම සහ කස්සපගොත්ත යන හිමිවරුන් පිළිබඳවත්, එම දූත පිරිස් මෙහෙයවූ මොග්ගලිපුත්තතිස්ස හිමියන් පිළිබඳවත්, සඳහන් වී තිබීමෙන් ලංකාව ඇතුළු රටවල ධර්ම දූත සේවාව පිළිබඳ වාර්තා වඩාත් සනාථ වේ.

ලංකාවට වැඩම වූ සත් දෙනෙකුගෙන් සැදුම් ලත් ධර්මදූත පිරිස අන් රටවලට වඩා සුවිශේෂත්වයක් ගනී. ප්‍රධානත්වය ගත් මිහිඳු මාහිමියන් අශෝක රජතුමාගේ විදිසා දේවියගේ පුතණුවන් ය. අශෝක රජුගේ සංඝමිත්තා නම් දියණියගේ පුතණුවන් වූයේ මෙරටට පැමිණි සුමන සාමණේරයන්ය. භණ්ඩුක උපාසකතුමා වනාහි මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සහෝදරියකගේ දියණියගේ පුත්‍රයාය. රාජකීය මේ සබඳතාව දූත පිරිසේ ගෞරවාන්විත පිළිගැනීමට හේතුවක් විය.

ලංකාවේ ‘බුදු සමයෙහි ඉතිහාසය’ නමැති ග්‍රන්ථය තුළින් කරුණු දක්වා ඇති ආචාර්ය වල්පොල රාහුල හිමියෝ මිහිදු මාහිමියන් ලංකාවට ආගමක් පමණක් නොව එවකට කීර්තියෙන් අගතැන්පත් මුළු සභ්‍යත්වයක්ම මෙරටට ගෙන ආ බව සඳහන් කර ඇත. තවත් බොහෝ ග්‍රන්ථ කර්තෘවරුන් මිහිඳු මාහිමියන් මේ රටට බුදුදහම ගෙන ආ බව පැහැදිලිව සඳහන් කර ඇත. වංශ සාහිත්‍යය ද ඒ මතයම දරමින් කිසිදු දියුණු ආගමක් හෝ දියුණු සභ්‍යත්වයක් කලින් නොතිබුන බවත් මහින්දාගමනයෙන් අනතුරුව බුදු දහම ඇතුළු උසස් සභ්‍යත්වයක් මේ රටේ ගොඩනැගුණු බවත්, තහවුරු කෙරෙන අන්දමේ කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන ඇති බවක් පෙනේ.

බුදුදහම අප රටේ ආරම්භ වූයේ මහින්දාගමනයත් සමඟ යැයි පැවසීමෙන් අතීත ලේඛකයන් බලාපොරොත්තු වන්නට ඇත්තේ උසස් ගෞරවයක් උන්වහන්සේට දීමට විය හැකිය. ඓතිහාසික කරුණු විමසන විට පෙනී යන්නේ එම අදහස් එතරම් සාධාරණ නොවන බවයි. එයට හේතුවන ප්‍රධාන කරුණු කීපයකි.

බුදුරදුන් තෙවරක් ලංකාවට වැඩම වූ බව දීපවංශ, මහා වංශ සහ සමන්තපාසාදිකා ග්‍රන්ථයන් හි ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. මේ වන විට යක්‍ෂ, නාග, දේව ආදී විවිධ ගෝත්‍රවලට අයත් ජනයා ශ්‍රී ලංකාවේ විසූහ. බුද්ධත්වයෙන් නව වන මාසයේ දී යකුන් ඇදහූ දරදඬු ගති ඇති යක්‍ෂ ගෝත්‍රිකයන් විසූ මහියංගනයට වැඩම කළ බුදුහු එම පිරිසට ධර්මය දේශනා කළහ. මහාවංශයෙහි පළමුවන පරිච්ඡේදයෙහි 32 වැනි ගාථාවෙහි,

නෙකෙසං පාණකොටිනං - ධම්මාහි සමයො අහු
සරණෙසුච සීලෙසු - ඨිතා ආසුං අසංඛියෝ

යනුවෙන් සඳහන් වන අන්දමට බොහෝ අය ධර්මය අවබෝධ කොට ගෙන තුණුරුවන් සරණ ගොස් ශීලයෙහි ද පිහිටි බව පෙනේ. බුද්ධත්වයෙන් පස්වන වර්ෂයෙහි දෙවන වරට නාගදීපයට වැඩමවා එහි විසූ නාග ගෝත්‍රිකයන්ට ධර්මය දේශනා කිරීම පමණක් නොව අසීමිත පිරිසක් සරණ ශීලයෙහි පිහිටිය බව ‘සරණෙසු ච සීලෙසු පතිට්ඨාපෙසි නායකො’ යන්නෙන් පැහැදිලිවේ.

තුන්වන වරට බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී කැලණියට වැඩමවා එයින් අනතුරුව සුමන කූටයට වැඩමවූ බුදුහු තම සිරිපතුල එහි පිහිටවූහ. අනතුරුව බොහෝ දෙනා දන්නා පරිදි දිවාගුහාව, දීඝවාපිය, මුතියංගන ආදි ස්ථානයන්ට වැඩමවා සමහර තැන්වලදී සමවත් සුවයෙන් වැඩ සිටීමෙන් ද, ධර්මය දේශනා කිරීමෙන් ද ලක් වැසියන්ට මහත් කරුණාවෙන් අනුග්‍රහ දැක් වූ බව සඳහන් වෙයි. මේ අනුව බුදුරදුන් මෙරටට වැඩමවූ තුන් වාරයේ දී ධර්ම ශ්‍රවණය කළ අයගේ පරම්පරාවන්ගෙන් පැවත එන අය මහින්දාගමන අවධිය වන විට බුදු දහම ගැන දැන නොසිටියා යයි සිතීම සාධාරණ අදහසක් නොවේ.

සත්‍යය පදනම් කර ගත් විචාරාත්මක බුද්ධියක් නැති සමහර උගතුන්ය කියන අය බුදුරදුන්ගේ ලංකා ගමන ප්‍රලාප සේ ගෙන හාස්‍යයට ලක් කිරීමට උත්සාහ ගත් අවස්ථා නැතුවා නොවේ. මේ සඳහා ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය නම් බුදුරදුන් ලංකාවට වැඩමවා ධර්මය දේශනා කරන ලද්දේ නම් එය ත්‍රිපිටකයෙහි සඳහන්ව තිබිය යුතුය යන්නයි. මෙහි දී මතක් කළ යුතු කරුණු කිහිපයකි. හතළිස් පස් වසරක් මුළුල්ලේහි දේශනා කළ මුළු ධර්මය ත්‍රිපිටකයේ අන්තර් ගත නොවේ. සමහර ස්ථානවල පැවැත් වූ භුක්තානුමෝදනා දේශනා දීඝ නිකාය නැතිනම් මජ්ම නිකාය පමණ දික් වෙතියි අටුවාචාර්යයන් සඳහන් කොට ඇත. එසේම එක් තැනක දේශනා කොට වදාළ දේශනයක් තවත් ස්ථාන රාශියක එලෙසම දේශනා කළොත් ත්‍රිපිටකයෙහි දැක්වෙන්නේ මුල් දේශනාව පමණක් බව පැහැදිලිය.

මෙහිදී සැළකිය යුතු විශේෂ කරුණක් වේ. ත්‍රිපිටකයට ඇතුළත් වී තිබෙන්නේ ප්‍රථම ධර්ම සංගායනාවේ දී ආනන්ද හිමියන් විසින් ඉදිරිපත් කරන ලද බුද්ධ දේශනාවන්ය. බුද්ධත්වයෙන් විසි වසරක් වනතුරු උන්වහන්සේට ස්ථිර උපස්ථායකයෙක් නොවීය. විසි එක් වන වසරෙහිදී ආනන්ද හිමියන් ස්ථිර උපස්ථායක ධුරයට පත්වන අවස්ථාවේ දී බුදුරදුන්ගෙන් ලබා ගත් පොරොන්දු අටෙන් අවසාන කරුණ නම් තමා නොමැති කවර තැනක හෝ දේශනා කළ ධර්මය එයින් අනතුරුව තමා හමුවේ නැවත දේශනා කළ යුතු බවයි. මේ අනුව ධර්ම භාණ්ඩාගාරික ධුරයට පත් වූ තැන්පටන් ධාරණ ස්මෘත්තියෙන් අගතැන්පත් ආනන්ද හිමියන්ට දේශනා සියල්ල දැන මතක තබා ගැනීමට හැකිවීම නිසා පළමුවන සංගායනාවේ දී බුද්ධ දේශනා ඉදිරිපත් කිරීමට හැකිවිය. ලංකාවට බුදුරදුන් වැඩම වන ලද්දේ උපස්ථායක ධුරයට පත්වීමට කලින් හෙයින් ලංකාවේ දී දෙසූ දහම අනඳ හිමියන්ට සංගායනාවට ඉදිරිපත් කිරීමට හැකියාවක් නැත. එහෙයින් ත්‍රිපිටකයේ ද සඳහන් නොවන බව විචාරාත්මක බුද්ධියක් ඇති සෑම දෙනාටම අවබෝධ වනු නොඅනුමානය.

වංශ කතාවන්ට අනුව ලංකා රාජාවලියෙහි ආරම්භක ආර්ය පාලකයා වූ විජය කුමාරයා පිරිවර සමඟ මෙරටට පැමිණියේ බුද්ධ පරිනිර්වාණ දිනයේ ය. තමා උපන් ඉන්දියාවේ සිංහපුරයේ දී වැසියාට හිංසා කරමින් දරුණු ක්‍රියාවන්හි යෙදුන හෙයින් පියරජතුමා වූ සිංහබාහු විසින් විජය කුමාරයා ඇතුළු පිරිස නැව් නංවා රටින් පිටුවහල් කළ බව දැක්වේ. වංශ කතාවේ දැක්වෙන මේ පුවත සත්‍යයයි එසේම පිළිගැනීම බුද්ධි ගෝචර නොවේ.

විචාරාත්මකව බලන විට නිගමනයකට බැසිය හැකි කරුණු කීපයක්ම විජය කුමරුගේ ලංකා ගමන හා සම්බන්ධව පවතී. බුදුරදුන් ජීවමාන අවධියේ දී ඉන්දියාවේ සිංහපුරයට ආසන්නයේ වයඹ දිග කොටසේ පිහිටි කාම්බෝජ, ගන්ධාර ආදී ප්‍රදේශවල ශීඝ්‍රයෙන් බුදුදහම පැතිරී ගිය බවට සාධක ඇත. තපස්සු, භල්ලුක දෙදෙනා බුදුරදුන්ගේ කේශධාතු තැන්පත් කොට චෛත්‍යයක් කළ අතර අගනුවර විසූ පුක්කුසාති රජතුමා තෙරුවන් සරණ ගොස් හදිසියේ ජීවිතක්‍ෂයට ද පත්විය. මේරඤ්ජාවේ වස් වසා සිටි බුදුරදුන් ප්‍රධාන සංඝරත්නයට උපස්ථාන කරන ලද්දේ කාම්බෝජයේ සිට පැමිණි වෙළෙන්දන් විසිනි.

ඒ අනුව ඒවාට ආසන්නයේ පිහිටි සිංහපුරයෙහි ද බුදුදහම පැතිරයත්ම බොහෝ අය එහි සත්‍යතාව වටහාගෙන වැළඳගත්තාට සැක නැත.විජය කුමාරයා ඇතුළු පිරිසද එසේ බුදුදහම වැළඳගෙන ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු කිරීම නොරිස්සූ බ්‍රාහ්මණ වැනි පැරණි ආගම් ඇදහූ අය එකතුව නැගූ බලවත් විරෝධය නවතම බුද්ධ ධර්මය වැළඳගත් අය පිටුවහල් කිරීම කෙරෙහි බලපාන්නට ඇත යනු සමහර ඉතිහාසඥයන්ගේ අදහසයි.

විජය කුමාරයා ඇතුළු පිරිස බෞද්ධයන්යි සිතීමට තුඩුදෙන කරුණු කිහිපයක් පවතී. එයින් එකක් නම් කාම සේවනය බැහැර කළ බුදුදහම පිළිගැනීමට දඬුවමක් වශයෙන් කාන්තාවන් සම්පූර්ණයෙන් වෙන් කොට වෙනම නැව් වල නංවා පා කර හැරීම සඳහන් කළ හැකි ය. බෞද්ධ භික්‍ෂූන් අනුගමනය කිරීමට දඬුවමක් වශයෙන් විජය ඇතුළු සියලු දෙනාගේම හිස් කෙස්වලින් අඩක් (හිසෙහි අඩක කෙස් නොවේ) කොට වෙන ලෙස කැපීම තවත් කරුණකි. පරිනිර්වාණයෙහි වැඩසිටි බුදුරදුන් විජය ඇතුළු පිරිස ආරක්‍ෂා කරන මෙන් සක් දෙවිඳුන්ට නියම කළ බව ඓතිහාසික ග්‍රන්ථ පෙන්වා දෙයි. විජය ඇතුළු පිරිස තමාට නුහුරු නුපුරුදු රටක් වූ ලංකාවට පැමිණි මොහොතේම සක් දෙවිඳුන්ගේ නියමයෙන් තවුස් වෙසින් පැමිණ ගසක් මුල සිට උපුල්වන් දෙවිඳුගෙන් පිරිත් පැන් සහ පිරිත් නූල් ලබා ගන්නා ලද්දේ ඒ පිළිබඳව නිසැක අවබෝධයක් තිබූ හෙයිනි. මෙහි සඳහන් සියලු කරුණු කැටි කොට ගත් විට පෙනී යන්නේ ලංකා ඉතිහාසයේ දැක්වෙන ප්‍රථම පාලකයා වූ විජය කුමාරයා සහ පිරිස දාමරික මංකොල්ලකරුවන් නොව බුදුදහම වැළඳගත් නව සිතුම් පැතුම් අගය කළ පිරිසක් බවය.

විජය රජතුමාගෙන් පසු ලංකාවේ බලයට පත් වූයේ ඔහුගේ සුමිත්ත නම් සොහොයුරාගේ පුත්‍රයා වූ පණ්ඩුවාසදේව කුමාරයාය. ඔහු ඉන්දියාවේ සිට දෙතිසක් පිරිවර හා පැමුණුන බවත්, ඔහුට අගබිසව වශයෙන් භද්දකච්ඡානා කුමරිය දෙතිසක් කාන්තාවන් සමඟ ලංකාවට ගෙන්වා ගත් බවත් වංශ කතාව සඳහන් කරයි. මේ භද්දකච්ඡානා කුමරිය බුදුරදුන්ගේ ඥාති සහෝදරයෙකු වූ පාණ්ඩු ශාක්‍ය රජුගේ කනිෂ්ඨ දියණියයි. ඇය තම ඉතා කිට්ටු ඥාතිවරයෙකු වූ බුදුරදුන්ගේ දහම හැර වෙනත් ආගමක් අදහනු ඇතැයි සිතිය නොහැකිය. එපමණක් නොව එතුමිය සමඟ පැමිණි සියලු පිරිස මහා වංශයෙහි අටවන පරිච්ඡේදයෙහි 24 වන ගාථාවෙන් ‘පබ්බජිතාකාරා සබ්බා තා තත්‍ථ ඕතරුං’ යනුවෙන් පෙන්නා දෙන අන්දමට පැවිද්ද ලැබූ භික්‍ෂූණීන් මෙන් කහවත් ඇඳ පැමිණීමෙන් ඒ අයගේ ආගම කුමක්ද යන්න ප්‍රකට වේ.

ටික කලකට පසු භද්දකච්චානා කුමරියගේ දීර්ඝායු, රෝහණ, විජිත ආදී සොහොයුරන් ද ලංකාවට පැමිණි බවත්, විවිධ ස්ථානයන් හි ඔවුන්ගේ නම් වලින් ජනපද ගොඩනඟා ගත් බවත් ඉතිහාසය පෙන්නා දෙයි. පසුව බොහෝ ව්‍යාප්තියට පත් දීඝගාම, රෝහණගාම විජිතගාම මොවුන් විසින් ආරම්භ කරන ලද ඒවා බව සමහර ඉතිහාසඥයින්ගේ මතයයි. සාක්‍ය රාජ්‍ය වංශික මේ අය බුදුදහම වැළඳගෙන විසූ බවට සැක නැත.

දෙවන පෑතිස් රාජ්‍ය සමයෙහි ලංකාවට වැඩමවා ගෙන ආ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර මහ මෙව්නා උයනේ රෝපණය කිරීමේ උත්සවයට කතරගම හා චන්දනගම විසූ ක්‍ෂත්‍රිය වංශිකයන් පැමිණි බවත්, පසුව එම බෝධියෙන් හටගත් අංකුර ඉහත කී රුහුණේ පිහිටි ග්‍රාමයන්හි රෝපණය කළ බවත්, වංශ කතාව සඳහන් කරයි. බුදුදහම වැළඳගත් ක්‍ෂත්‍රිය පිරිස දෙවන පෑතිස් යුගය වන විටත් සිටීමෙන් පැහැදිලි වන්නේ බුද්ධ කාලයේ සිටම බෞද්ධයන් මෙරට වාසය කළ බවයි.

ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ බලයට පත් පණ්ඩුකාභය පාලන කාලය වන විට භාරතයේ පැවති බ්‍රාහ්මණ, ජෛන, ආජීවක, පරිබ්‍රාජක ආදි බොහෝ ආගමික කොටස් මෙරට වාසය කළ බවත්, ඔවුන් සඳහා ආගමික ආයතන රජතුමා විසින් ඉදිකර දුන් බවත්, මහා වංශය සඳහන් කරයි. එසේ නම් මේ අතර භාරතයේ ඉතා ප්‍රකටව තිබූ බුදුදහම වැළඳගත් අය මෙරට නොසිටියේ යැයි කිසිසේත් සිතිය නොහැකිය. මහාවංශයේ දසවන පරිච්ඡේදයෙහි සියවන ගාථාවෙන් පෙන්වා දෙන අන්දමට පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුරයේ බටහිර ප්‍රදේශයෙහි පදිංචි කරවූ විවිධ ආගමික පවුල් 500 අතර බෞද්ධයන් සිටිය බවට සැකයක් නැත.

බෝසතුන් බුද්ධත්වයට පත් ව සත්සති ගෙවා අවසන්වත්ව පන්සියයක් පමණ ගැල් යොදා ගෙන වෙළඳාම සඳහා යමින් සිටි තපස්සු, භල්ලුක නම් වෙළඳ සොහොයුරන් දෙදෙනෙක් එතැනට පැමිණියහ. ප්‍රසාදයට පත් ඒ දෙදෙනා බුදුරදුන්ට අත්සුණු සහ මී පිඬු පිළිගන්වා වැළඳවූහ. අවසානයේ බුදුරදුන් පැවැත් වූ භුත්තානුමෝදනාවෙන් ප්‍රසාදයට පත් ඒ දෙදෙන බුදුන් හා දහම් සරණ ගොස් පූජා කිරීම පිණිස කේශ ධාතු අටමිටක් ලබා ගත්හ. ලංකාවේ තිරියායේ ලියන ලද සෙල් ලිපියක තපස්සු භල්ලුක දෙදෙනා ප්‍රථමයෙන් ලබා ගත් කේශ ධාතු නිදන් කොට චෛත්‍යයක් කරවූ බව දැක්වේ. බෞද්ධයන් මෙරට නොවිසුවේ නම් වෙළඳ දැබෑයෝ තිරියායේ චෛත්‍යයක් ඉදිකරතියි සිතිය නොහැකිය.

බුදුරදුන් ප්‍රථම වරට මහියංගනයට වැඩමවූ අවස්ථාවේ සුමන දෙවියන් විසින් වැදුම් පිදුම් කිරීමට බුදුරදුන්ගෙන් කේශධාතු ලබාගත් බව වංශ කතාවල සඳහන් කරයි. ඒවා බුදුරදුන් වැඩ සිටි ස්ථානයෙහි තැන්පත් කොට සුමන දෙවියන් විසින් හත් රියනක් උසට දාගැබක් කරවන ලදී. සර්වඥ දේහය ආදාහන කළ පසු සැරියුත් මාහිමියන්ගේ ශිෂ්‍ය සරඟු තෙරුන් විසින් බුදුරදුන්ගේ ගි‍්‍රවාස්ථි ධාතුව ගෙනවුත් එම සෑයේ තැන්පත් කොට එය දොළොස් රියන් කොට සෑදවීය. මේ කරුණු වලින් පැහැදිලි වන්නේ බුද්ධත්වයෙන් වැඩිකලක් ගතවීමට පෙර සිට නොකඩවා බෞද්ධ සිදුවීම් ලංකාවේ පැවතුනු බවත්, බෞද්ධයන් මේ රටේ විවිධ ප්‍රදේශවල පැතිර විසූ බවත් ය. මේ පිළිබඳ විචාරාත්මකව ‘පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය’ යන ග්‍රන්ථය තුළින් කරුණු ඉදිරිපත් කොට ඇති ආචාර්ය ඊ.ඩබ්.අදිකාරම් මහතා ‘මහින්දාගමනයට බොහෝ කලකට උඩදී පවා බෞද්ධ භික්‍ෂූන් කිහිප නමක් හෝ ලක්දිව සිටි බව‘ සඳහන් කරයි. මෙවැනි අදහස් ගැඹුරින් විචාරාත්මකව විමසා බැලිය යුතු වෙයි.

මිහිඳු මා හිමියන් අසමවූ බුද්ධියකින් හෙබි, දූරදර්ශී ඥානයකින් යුත්, අග්‍රගන්‍ය ධර්ම දූතයන් වහන්සේ නමක් බව අවිවාදයෙන් පිළිගත යුතුවේ. උන්වහන්සේ ශ්‍රී ලංකාවේ බුදුදහම සංවිධානාත්මකව හා නිර්මලව පවත්වාගෙන යාමට ස්ථිර අත්තිවාරමක් දැමූ පැවිදි උතුමාණෝ ය. බුදුදහම තුළින් කලාව, නිර්මාණ ශිල්පය, සාහිත්‍යය සහ අගතැන්පත් සභ්‍යත්වයක් මෙරට ඇති කලෝ උන්වහන්සේ බව පැහැදිලි සත්‍යයකි. ගෞරවනීය මේ උදාර තත්ත්වය වඩාත් තහවුරු කරලීම පිණිස ලොකුම ඕනෑකමක් දැක්වූ වංශකතාකරුවන් ඇතුළු තත්කාලීන වාර්තා සැපයූ අය අතීත සත්‍ය තොරතුරු සිතාමතාම අමතක කිරීම නිසා මහින්දාගමනයට පෙර තිබූ බෞද්ධ තත්ත්වය ප්‍රකට නොවීම බලවත් පාඩුවකි.

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]