UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මළ මිනියක් සේ දිවි ගෙවන අඹු සැමියන් සමාජයට අභියෝගයක්

මළ මිනියක් සේ දිවි ගෙවන අඹු සැමියන් සමාජයට අභියෝගයක්

ගෘහස්ථ ජීවිතය පිළිබඳව ඉතාමත් විවරණාත්මක විග්‍රහයක් අප භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ප්‍රථම සංවාස සූත්‍රයේ දී දේශනා කොට වදාළ සේක. එම දේශනයට අනුව ස්වාමියා හා භාර්යාව අතර ගත වන ජීවිත වර්ග හතරක් තිබෙන බව උන්වහන්සේ දේශනාකොට වදාළ සේක.

තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ අපගේ මෙලොව ජීවිතය පරලොව ජීවිතය යහපත් කර ගැනීම උදෙසාය. ලෞකික ජීවිතය සාර්ථක කර නොගැනීම තුළ ලෝකෝත්තර ජීවිතය යහපත් කර ගැනීම කිසිසේත්ම කළ නොහැකි දෙයකි. වර්තමානයේ බොහෝ දෙනෙකුට තිබෙන අභියෝගය ලෞකික ජීවිතය තුළ තිබෙන බිඳවැටීමයි. විශේෂයෙන්ම පවුල් ජීවිත තුළ තිබෙන බිඳ වැටීමයි. එය සමාජය පුරා විහිදී ගොස් තිබේ.

ගෘහස්ථ ජීවිතය පිළිබඳව ඉතාමත් විවරණාත්මක විග්‍රහයක් අප භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ප්‍රථම සංවාස සූත්‍රයේ දී දේශනා කොට වදාළ සේක. එම දේශනයට අනුව ස්වාමියා හා භාර්යාව අතර ගත වන ජීවිත වර්ග හතරක් තිබෙන බව උන්වහන්සේ දේශනාකොට වදාළ සේක.

පළවන එක්ව විසීම නම් මළමිනියක් මළමිනියක් සමඟ ජීවත්වීමයි. (ඡවෝ ඡවාය සද්ධිං සංවසති) දෙවන එක්ව විසීම නම් මළමිනියක් දෙව්දුවක් සමඟ වාසය කිරීමයි. (ඡවෝ දේවියා, සද්ධිං සංවසති) තුන්වන එක්ව විසීම නම් දෙවියෙක් මළමිනියක් සමඟ එක්ව විසීමයි. (දේවෝ ජාවාය සද්ධිං සංවසති) හතරවන එක්ව විසීම නම් දෙවියෙක් දෙව්දුවක් සමඟ එක්ව විසීමයි. (දේවෝ දේවියා සද්ධිං සංවසති)

අප භාග්‍යවතුන් වහන්සේ විස්තර කර තිබෙන පරිදි මෙබඳු ආකාරයේම ජීවිත අපට මේ සමාජය තුළින් නිරතුරුවම දක්නට ලැබේ. මෙහිදී විස්තර කරනු ලබන්නේ ප්‍රථම එක්වීම පිළිබඳවයි. එනම් මළමිනියක් මළමිනියක් සමඟ ජීවත්වන ආකාරයයි. ඇතැම් නිවාසවල ස්වාමියා හා භාර්යාව මළමිනී දෙකක් සේ දිවි ගෙවති. ස්වාමියා සහ භාර්යාව සතුන් මරයි. සොරකම් කරයි.වැරැදි කාම සේවනය කරයි. බොරු කියයි. මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරයි. දුස්සීලව කටයුතු කරයි. පවිටු ගතිගුණ වලින් යුක්තව වාසය කරයි. ඔහු සහ ඇය ගිහි ගෙයි වාසය කරන්නේ මසුරුමල බැඳුණු සිතින් යුක්තවයි. එමෙන්ම ඔවුහු ශ්‍රමණ බ්‍රාහ්මණයන්හට ද ආක්‍රෝශ පරිභව කරති.

ඉහත ගති ලක්‍ෂණ වලින් යුක්ත වූ පවුල් අපට අනන්තවත් මේ සමාජයේ දක්නට ලැබේ. මෙවැනි පවුල් තිබෙන තුරු අපට කිසිසේත්ම මේ සමාජය යහපත් තත්ත්වයට පත් කළ නොහැකිය. පවුලක ස්වාමියා හා භාර්යාව කුඩා කාලයේ දී බොහෝ දුරට ඔවුන්ගේ දෙමාපියන් විසින් ධාර්මිකව පෝෂණය නොකළා විය හැකි ය. මෙවැනි පවුලකින් බිහිවන, ඔවුන්ගේ දරුවන්ද අකුසලයට බරව පාපී ක්‍රියාවලට නිතැනින්ම යොමුවන ගුණ ධර්ම නැති දරුවෝ ය. ඉහත ගති ලක්‍ෂණ තිබෙන ස්වාමියා හා භාර්යාව පාපකාරී ලෙසම ජීවත් වෙති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කිසිඳු පැහැදීමක් නැත. බොහෝ විට නමට හෝ ආගමට ඉදිරියෙන් බෞද්ධ නමින් පෙනී සිටිති. දෙදෙනා අතර කිසිඳු සමඟියක් නැත. ඉන් පසුව දරුවෝද මේවාට මැදිහත් වෙති. මව සහ පියා අතර නිතර නිතර ඇතිවන අරගල සංසිඳවීමට යන තරුණ පුතා අතින් එල්ලවන පහරකින් සමහර විට පියා අභාවයට පත්වන අවස්ථා තිබේ. එහිදී එම පවුලට පියා මෙන්ම දැනුම් තේරුම් ඇති පුතාද අහිමි වී යයි.

වර්තමානයේ දෙදරා ගොස් තිබෙන්නේ මෙවැනි ගති ලක්‍ෂණවලින් යුතු පවුල් ය. ස්වාමියා හා භාර්යාව යනු සමාජයේ වගකිවයුතු සාමාජිකයන් දෙදෙනෙක් වන අම්මා සහ තාත්තා ය. අප භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවලට අනුව අම්මා, තාත්තා යනු උත්තරීතර චරිතය. එහෙත් ඇතැම් ස්වාමියා හා භාර්යාව තුළ යහපත් ගතිලක්‍ෂණ නැත.

මෙවැනි පවුල්වල ස්වාමියා සහ භාර්යාව දුස්සීලවම කාලය ගෙවයි. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම එකටෙක කිරීම ආදී දුර්ගුණයන්ගෙන් ජීවිතය පිරී පවතී. ලෝභකම දෙදෙනා තුළම රජ කරයි. කිසිඳු අවස්ථාවක දානයකට පාපකාරී සිත නොනැමෙයි.

නිතරම මහා සංඝරත්නයට බැණ වදියි. උන්වහන්සේලාගේ අඩුපාඩුම සොයමින් නින්දා කරයි. විහාරස්ථානවලට සම්බන්ධ පිනට දහමට ලැදි ඇත්තන්ටද බොහෝ විට අපහාස කරයි. නින්දා කරයි. මේ දේපළම ධර්ම දේශනා ඇසීමට කිසිඳු පි‍්‍රයතාවයක් දක්වන්නේ නැත. එබැවින් කර්මය, කර්ම ඵලය පිළිබඳ වැටහීමක් එවැන්නන්ට නැත. විශ්වාසයක් නැත. පාපකාරී ලෙසම ජීවිතය ගත කිරීමට පුරුදුව සිටී. යම් හෙයකින් මෙම ජීවන රටාව වෙනස් නොවුණහොත් ඔවුන් මරණින් මතු නිරයගාමී වීම නියතය. එබැවින් මේ කරුණු තේරුම්ගෙන ඔබ තුළ මෙවැනි අඩු පාඩු තිබේ නම් ඉක්මනින්ම නිවැරැදි කර ගත යුතු ය. ඔබ දන්නා අය තුළ මේ අඩු පාඩු තිබේ නම් ඉක්මනින්ම ඒ අය එයින් ගළවා සුමඟට යොමු කර ගත යුතු ය. එසේ වුවහොත් ඔබ ඔවුනට කල්‍යාණමිත්‍රයෙකු වනු ඇත. එය මුළු සමාජයටම කරන යහපතකි. සියලු දෙනාටම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කර මෙලොව ජීවිතය යහපත් කරගෙන පරලොව සුගතිගාමී වීමටත් හැකි ඉක්මනින් මේ රුදුරු සසරින් නිදහස්වීමටත් වාසනාව උදාවේවා.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 15 වන දා සෙනසුරාදා අපරභාග 9.19 ට ලබයි.
16 වන දා ඉරිදා අපරභාග 10.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 16 වනදා ඉරිදාය.

මීළඟ පෝය
මාර්තු 24 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]