UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අත්තනගල්ලේ සඟබෝ පෙරහර

අත්තනගල්ලේ සඟබෝ පෙරහර

හෙළ දැයේ ප්‍රෞඪත්වය කියාපාමින් බෞද්ධ සංස්කෘතියට නව ජීවයක් ද අත්පත් කර දෙන මහඟු අවස්ථාවකි. මෙරට පෙරහර මංගල්‍යය. අපේ රටේ පෙරහර වංශ කතාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. රාජ රාජ මහාමාත්‍යාදීන් පවා මූලිකත්වය ගනිමින් අතීතයේ දී ද පෙරහර මහත් උත්සවශ්‍රීයක් දරන ලදී.

වෙසෙසින්ම බෞද්ධ ජනතාවගේ නෙත් සිත් පහන් කරවනු මෙරට ඓතිහාසික පෙරහර මේ වන විට සමස්ත ලෝකවාසී ජනතාවගේ අවධානය දිනා ගැනීමට සමත් වී ඇත.

පන්නිල
ශ්‍රී ආනන්ද නා හිමි

සම්බුදු මුවින් පිටවන්නට යෙදුණු සුවාසු දහසක් ධර්මස්කන්ධයේ උතුම් සුව විඳි අසිරිමත් ශ්‍රී දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා පෙරහර වර්තමානයේ පැවැත්වෙන ඓතිහාසික සුවිශේෂිතම වූ පෙරහර වේ.

හෙළයේ කලා කෙත අස්වද්දමින් සංස්කෘතිකාංග රැසක් ඒකරාශී කර පවත්වනු ලබන පෙරහර අසිරිමත් පූජෝපහාරයකි. පෙරහර කර්තව්‍යයන් එදා මෙන් අද ද සිදු කරනු ලබන්නේ පෞරාණික චාරිත්‍රයන්ට මුල් තැන ලබා දෙමිනි.

පළාතටත්, රටටත් මහා ආශීර්වාදයක් ගෙන දෙමින් 1923 දී ඇරැඹුණු අත්තනගල්ලේ පෙරහර සැදැහැවතුන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය වඩවමින් විචිත්‍රාකාරයෙන් වාර්ෂිකව පැවැත්විණි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් දෙවන ලෝක යුද සමයේ දී (1944) එම පෙරහර නතර කිරීමට සිදු විය. එකල අති උත්කර්ෂවත්ව පැවැති අත්තනගල්ලේ පෙරහර කාලයේ වැලිතලාවට එසේ සැඟව ගියද සම්භාවනීය මහ සඟරුවනෙහි සහ ප්‍රදේශවාසීන්ගේ ද කැපවීම මත යළිත් වරක් අත්තනගල්ලේ පෙරහර 2013 වසරේ ආරම්භ කැරිණි.

අත්තනගල්ල රාජ මහා විහාරය, ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ බෞද්ධ විහාරය යන විහාරයන්හි අධිපති ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරයේ ලේඛකාධිකාරී මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ සීනාදී සිව් කෝරලයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පෙරහර යළි ඇරැඹිණි.

අත්තනගල්ල සඟ බෝ පෙරහර මෙවර මාර්තු 16 වන දා මැදින් පුර පසළොස්වක පෝදා රාත්‍රී 8ට වීථි සංචාරය ආරම්භ කෙරේ. ඒ නිමිත්තෙන් 15 වන දා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පැවැත්වේ.

තෙරුවන් උදෙසා පවත්වනු ලබන සුවිශේෂී ගෞරව උපහාර පූජාවක් ලෙස පැවැත්වෙන අත්තනගල්ලේ සඟ බෝ පෙරහර සිය හිස තම අතින්ම ගලවා දුගියකු වෙනුවෙන් පිදීමට තරම් කාරුණික වූ උත්තමයකු මෙන්ම මෙරට රාජාවලියේ ධාර්මිකත්වයෙන් යුත් රජ කෙනකු වශයෙන් රටවැසි ජනතාවගේ නිබඳ ගෞරවයට පත්ව සිටි සිරි සඟ බෝ රජතුමන් ප්‍රධාන හෙළ රජදරුවන්ට උපහාරයක් ලෙස ද එම පෙරහර පැවැත්වේ.

අත්තනගල්ල විහාර පරිශ්‍රයේ වැඩ වසමින් බවුන් වඩා රහත් භාවයට පත් අබ්භෝකාසිකංගධාරී මහ රහතන් වහන්සේ වෙත ගෞරව උපහාර දැක්වීම ද පෙරහරෙහි තවත් විශේෂ අරමුණකි.

සිරි සඟ බෝ රජතුමාගෙන් පසුව අත්තනගල්ල රාජ මහා විහාර පරිශ්‍රය දියුණු කිරීමට එකල නිබඳව කටයුතු කළ ගෝඨාභය, මුගලන්, පණ්ඩිත පරාක්‍රමබාහු, විජයබාහු වැනි රජතුමන්ලා ද වෙනුවෙන් උපහාර දැක්වීම ද පෙරහර පැවැත්වීමෙහි අපේක්‍ෂා අතර වේ. අරහන්ත රජ මහා විහාර පුණ්‍ය භූමිය පූජනීයත්වයට පත් කළ මහ රහතන් වහන්සේ ඇතුළු ඉහත සඳහන් කළ මහ නරපතියන් වෙත කෘතවේදීත්වය දක්වමින් එම උදාර ආදර්ශය හැදෙන වැඩෙන ළමා පරපුර වෙතට ද ආදර්ශයෙන් කියාදීම වත්මන්හි වෙසෙන අපගේ යුතුකමකි.

උඩරට, පහතරට, සබරගමු කලා සම්ප්‍රදායන්ට ආවේණික වූ සංස්කෘතිකාංග ඇතුළත් අලි ඇතුන් රැසකගෙන් ද සමන්විත අත්තනගල්ල සඟ බෝ පෙරහර පවත්වමින් විහාරස්ථ දායක කාරකාදීන්ටත්, ජනපතිතුමන් ප්‍රධාන රජයටත්, රටටත් රට වැසි සැමටත් තුනුරුවණෙහි ආශීර්වාදය පැතීමත් අපේක්‍ෂිත අරමුණු අතර වේ.

මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අත්තනගල්ලේ සඟ බෝ පෙරහර රට දැය සමයට මහත් ආලෝකයක් වේවා.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 15 වන දා සෙනසුරාදා අපරභාග 9.19 ට ලබයි.
16 වන දා ඉරිදා අපරභාග 10.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 16 වනදා ඉරිදාය.

මීළඟ පෝය
මාර්තු 24 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]