UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඳුරට ශාප නොකොට එක පහනක් හෝ දැල්වීමේ වටිනාකම කියා දෙමු

අඳුරට ශාප නොකොට එක පහනක් හෝ දැල්වීමේ වටිනාකම කියා දෙමු


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ සුරතින් සුව සෙත් මැදුර ඇරැඹූ අවස්ථාව.

ගුණරත්න සම්බෝධි සෙවනේ දී පැවැති සංඝගත දක්ෂිණාවට වැඩම කළ සඟරුවනින් කොටසක්

ගුණරත්න සම්බෝධි සෙවනේ දී පැවැති සංඝගත දක්ෂිණාවට වැඩම කළ සඟරුවනින් කොටසක්

ගුණරත්න සම්බෝධි සෙවනේ දී මහා නාහිමිවරු ප්‍රධාන සියක් නමක් මහ සඟරුවන වෙත දේශීය පාරම්පරික දානය පිරිනැමිණි. එහිදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දානය පුජාකළ අවස්ථාව

ගුණරත්න සම්බෝධි සෙවනේ දී

බෞද්ධයාගේ නිත්‍ය ශීලය නම් පංචශීලයයි. එහි පළමුවැන්න ‘පරපණ’ නොනැසීමයි. ‘අන් ප්‍රාණීන් ද අප මෙන්ම දඬුවමට හා මරණයට බිය බව හා එයින් තැතිගන්නා බව අවබෝධ කොට ගෙන සෙසු සත්ව වර්ගයා හට දඬුවම් නොකළ යුතු ය. ඔවුන්ගේ දිවි තොර නොකළ යුතු ය. නැතිනම් තමන් උපමාවට ගෙන අනුනට හිංසා නොකළ යුතුය යන උදාර ප්‍රතිපදාව ලොව්තුරා බුදුපියාණන් වහන්සේ පන්සිල්හි එන පළමු සීලය වූ පරපණ නැසීමෙන් වැළකීමේ ශික්‍ෂාපදයෙන් අප හට කියා දුන්සේක.

තුන්වතාවක් ලොව්තුරු බුදු පා පහසින් සුපුජණීයත්වයට පත්ව, සිරිපා සළකුණින්, රන්වැලි සෑ කිරණින්, ජයසිරි මහ බෝ අනුහසින් නිරතුරු ආශිර්වාද ලබන්නා වූද, අනුබුදු මිහිඳු මාහිමිපාණන්ගේ ආගමනයෙන් සාරාණීය විශිෂ්ට සංස්කෘතියකට හා සැදැහැති කෘෂිකාර්මික ජීවන රටාවකට උරුමකම් කියුවා වූද ශ්‍රී ලාංකේය බෞද්ධයා ඈත අතීතයේ පටන් අහරින් සවයංපෝෂිත පිරිසක් වූහ. යෝධ වැව් සිය දහස් ගණන් බඳවා අහසින් වැටෙන එකඳු දිය බිඳක්වත් ප්‍රයෝජන නොගෙන මහ සයුරට ඇදී යා නොදී වගාවෙන් මෙරට සශ්‍රීක කොට විදේශයනට ද අතිරික්ත නිෂ්පාදන අපනයන කළ පෙරදිග ධාන්‍යාගාරය මෙරට පත් කරන්නට අපේ පෙර රජදරුවනට හා ආදි මුතුන් මිත්තන් හට හැකියාව ලැබුණි.

එනමුදු හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පරගැති බවින් මිරිකී හිඳින්නට වූ සියවස් කිහිපයකදී අපේකමට, සම්ප්‍රදායට හෝ ලක් පොළොවට ඔරොත්තු නොදෙන්නාවු නොගැළපෙන බොහෝ දෑ අන්ධානුකරණයෙන් අවිචාරවත්ව හා බලහත්කාරයනට යටපත්ව වැළඳ ගැනීමට අපට සිදු විය. එය දේශයේ ප්‍රෞඪත්වයට අභියෝග කළ මහත් ඛේදනීය තත්ත්වයක් විය.

එදා කුඹුරු අක්කර සිය දහස් ගණනක් විවිධ වූ කෙම් ක්‍රම හා අවිහිංසා වාදී වගා ක්‍රම ආදිය පමණක් උපයෝගී කරගෙන සොබා දහම හා මිතුරුව වගාකළ සිංහලයා සශ්‍යමාරු ක්‍රමයට ගෙවත්තේ හා හේනේ එළවළු, පලතුරු වර්ග පරිභෝජනය හා හුවමාරුවට පුරුදුව සිටියහ. එමෙන්ම කෘත්‍රිම පොහොරක් හෝ කෘෂිරසායන හා පළිබෝධ නාශක ආදී කිසිවක් තම වගා කටයුතු වලට ළංකොට නොගත් අතීත සිංහලයා පිරිසුදු ආහාරයෙන් හා ජලයෙන් යෝධ බල වෙර වීරිය ලබාගෙන ලොවම පුදුම කරවන විශ්මිත නිර්මාණ බිහි කළහ.

එනමුදු අප කලින් සඳහන් කළ විදේශ ගැතිබවින් දීන ජාතියක් බවට පත් වූ දා පටන් බටහිරින් හඳුන්වා දුන් විපරීත වගා ක්‍රම වලට නතුව කය නොවෙහෙසා වඩා පහසුවෙන් වාසි ලබනු පිණිස මහපොළොවට වස මුසුකොට ගුණාත්මක කෘෂිකාර්මික වර්ධනයක් වෙනුවට ප්‍රමාණාත්මක වර්ධනයක් උදෙසා පමණක් යත්න දැරූහ. ශ්‍රී සද්ධර්ම සන්නිවේදනය කරන මාධ්‍ය ආයතනයක් හරහා ධර්මදානමය පින්කමක් කරන්නා සේම මහපොළව සුවපත් කරවා රටේ මහජනයා රෝගීන් බවට පත්වීමෙන් වළකනු ක්‍රමවේදයකට නැතිනම් වැඩපිළිවෙලකට මුල පිරීමට කල්පනා කළෙමු. කොළඹ ආර්.ජී. සේනානායක මාවතේ සම්බෝධි විහාරයේ දී දිනපතා උදෑසන පින්බර උදෑසන වැඩසටහනින් “බෞද්ධයා” රූපවාහිනිය හරහා රටම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹූ අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද, පෝෂණවේදීන් හා විවිධ විද්වතුන් ද සහභාගී කරවාගෙන ‘සුරකිමු ලක්මව්’ සංවිධානය සමගද අත්වැල් බැඳ ගනිමින් සුව දිවියකට නිසි මඟ කියන වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනයට හා පරිභෝජනයට මහජනතාව දිරිගන්වන කෘෂිනිෂ්පාදන හා ආහාර සල්පිලක් සම්බෝධි විහාරස්ථානයේ දී ඇරඹුවෙමු. ඒ අනුව 2013 වසරේ දෙසැම්බර් මස 29 වන දින අතිගරු ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ පින්බර සුරතින් ‘සුව සෙත් මැදුර’ ආරම්භ කළෙමු.

දෙවසරකට පමණ පෙර අපවෙත ඉංජිනේරු අමරසිරි ගුණරත්න මහතා හා එම මැතිණිය විසින් සඟසතු කොට පූජා කළ ගුණරත්න ශ්‍රී සම්බෝධි සෙවණ පරිශ්‍රයට යාබද වෙල්යායේ සාම්ප්‍රදායික රෝග නසන දුර්ලභ වී වර්ග වගා කොට වස විසෙන් තොරව එම වගාව සාර්ථක කරගත හැකි බවට අත්දැකීමෙන් හා ආදර්ශයෙන් රටටම පෙන්වා දුන්නෙමු. එකී ප්‍රයත්නයේ කූඨප්‍රාප්තියක් ලෙස 2014 ජනවාරි මස 27 වන දින ගුණරත්න සම්බෝධි සෙවනේ දී තෛ‍්‍රනිකායික අතිගරු මහා නාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ සියක් නමක් සඟරුවන විෂයෙහි වස විෂ බිඳකුදු නොමැතිව සම්පාදනය කළ දේශීය පාරම්පරික දානයක් පිළිගන්වන ලද්දේ හොරිවිල වෙදපරම්පරාවේ සේනබණ්ඩා වෙදදුරුතුමන් හා ප්‍රවීන සූපවේදී පබිලිස් සිල්වා මැතිඳුන්ගේ උපදේශය හා අප දායක සභාවේ සභාපති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන් හා ත්‍රිවිධ හමුදාපතිතුමන්ලා ඇතුළු සම්භාවනීය, පිරිසකගේ සහභාගීත්වයෙනි.

අඳුරට ශාප නොකොට එක්පහනක් හෝ දැල්වීමේ වටිනාකම අවබෝධ කොට ගෙන, ධාර්මික කෘෂිකර්මාන්තයේ නියැලී ලාභයන් අතර පරම ලාභය වූ ‘නිරෝගීකම’ ළඟා කොට ගෙන සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ගෙවන්නට අප සැම අත්වැල් බැඳ ගත්තේ නම් මේ ලෝකය අපේ රට අදට වඩා හෙට ලස්සන එකක් වනු නොඅනුමානය. එම වෙනස උදාපත් කර ගැනුමට ඔබ අප සැමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි පතමු.

 

 

 

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි 15 වැනිදා බදාදා පූර්වභාග 07.52 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 15 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]