UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර පසළොස්වක 2014 ජනවාරි 15 වන දා

පොහොය දවස ගත කිරීම

තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රථම වරට අපේ රටට වැඩම කළ අසිරිමත් ඓතිහාසික දුරුතු පොහෝ දිනය අදයි.

එසේ සම්බුදු සිරිපා පහසින් මෙරට ශුද්ධ භූමියක් බවට පත් කළ එම උදාර දිනය මෙරට ඉතිහාසය දෙස නැවතත් විමසුම් නුවණින් පිරික්සා බැලීමටද යෝග්‍යම දිනය ද පින්බර දුරුතු පුර පසළොස්වක පෝදාය.

බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ, අකුධාතු, කේශධාතු, ගී‍්‍රවා ධාතු, ලලාට ධාතු, ඌණරෝම ධාතු ආදී ශාරිරික ධාතුන් වහන්සේලාගෙන් වැඩි ධාතුන් වහන්සේ කොටසක් මෙරට වැඩ සිටිති. එසේ ම බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් වන ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේත් මේ රටේ සුරක්ෂිතව වැඩ සිටිති. ත්‍රිපිටක සම්බුදුදහම පළමුවරට ග්‍රන්ථාරූඪ කරන ලද්දේද අපේ රට තුළදීය.

මෙසේ සලකා බලන විට මෙවන් ඓතිහාසික කරුණු අපගේ මනසට නගා ගත යුතු ඉතා වැදගත් දිනයකි දුරුතු පොහෝය දිනය.

සැලැස්මක් ඇතිව හෙවත් කාලසටහනක් ඇතිව කටයුතු කිරීමට ලොව පළමුවරට ඉගැන්වීම කළ උත්තමයා අපේ බුදුරජාණන් වහන්සේය. පොහොය දින සම්මත වූයේද එක් දිනයෙක, එක්වෙලාවක උපාසක උපාසිකාවන්ට පන්සලට පැමිණ, තෙරුවන් නැමදීමේද පහසුව සඳහාය.

එහෙත් පොහොය නොවන දිනයන්හි වුවද විහාරස්ථානයට යෑමට, දන් පූජා කිරීමට, බණ ඇසීමට, සිල් සමාදන්වීමට බුදු දහමෙහි කිසිදු බාධාවක් නොමැත.

පොහොය දිනය වුවද ඇතැම්විට සිල් සමාදන් නොවන, ආගමික කටයුතුවලට සහභාගි නොවන, පන්සලට නොයන ඇතැම් බෞද්ධයන්ද අප අතර නැත්තේ නොවේ.

එහෙත් පොහොය දින පන්සලට ගොස් සිල් සමාදන්වීමේ කටයුතු අපේ පැරැණි මුතුන් මිත්තන් දවස නොපිරිහෙළා ඉටු කළ සද්ක්‍රියාවකි.

අපේ අතීත පරපුරෙන් පැවැත එන එවන් ආගමික සිරිත් අඛණ්ඩව අප ද ආරක්ෂා කරමින් එය අනුගමනය කරමින් මෙකල ජීවත් වන අපගේ වගකීම විය යුතු වේ. එසේ සිදුවුවහොත් එය අපගේ අනාගත පරපුරට ලබාදෙන උදාර ආදර්ශයක් ද වනු ඇත.

පොහොය දිනය නිවාඩු දිනයක් බවට පත්ව ඇත්තේද බෞද්ධයාට ආගමික කටයුතු වෙනුවෙන් ඒ සඳහා කාලය යෙදවීමටය.

එහෙත් ඇතැමෙක් පොහොය දිනය විවේක දිනයක් යැයි සිතා ආගමික කටයුතු වලින් බැහැරවීම අග කළ යුතු නොවේ.

ඒ අතර බහුතර බෞද්ධ පිරිසක් පොහොය දිනයෙහි අරුත නිවැරැදිව තේරුම් ගෙන හිමිදිරියේ සුදුවතින් සැරසී බුද්ධ පූජාවද රැගෙන පන්සලට ගොස් පෙහෙවස් සමාදන් වී ආගමානුකුලව ගත කරනු ලබන දිවිය අගය කළ යුතුය.

පොහොය දින සුදුවතින් සැරසී පෙහෙවස් සමාදන් වූ පමණින්ම සිල්වතෙකු නොවන බවද වටහා ගත යුත්තකි. සිත, කය, වචනය යන ද්වාරත්‍රයම සංසුන්ව හා සංවරව එදින ගත කළ යුතුව ඇත.

ගත සුදුවතින් සැරසූ පමණින් වචනය ආරක්‍ෂා කර නොගතහොත් පොහොයදා පන්සලට ගොස් සිල් සමාදන්වීමෙන් පමණක් යහපතක් නොවනු ඇත.

සිල් පිරිස ආගමික වතාවන්හි යොමුකර වීම සඳහා බොහෝ විහාරස්ථානවල සීල සමාදාන පින්කම ආරම්භයේ සිටම යම් කාලසටහනකට අනුව කටයුතු කිරීමද බෙහෙවින් අගනේය.

යම් හෙයකින් එවන් සාමූහිකව ආගමික වතාවත් සිදු නොවන අවස්ථාවකදි වුවද බුද්ධිමත්ව සිතන බෞද්ධයා දහම්පොත පත කියවීමට එසේත් නොමැතිනම් බවුන් වැඩීමට කටයුතු කරනු ලබන අවස්ථාද ඇත.

ඒ සියල්ලෙන්ම පෙනීයන්නේ පොහොය දිනයෙහි අරුත වටහා ගත් වැඩි පිරිසක් එදින ආගමික දිනයක් ලෙසම ගත කිරීමට උත්සාහ ගන්නා බවය.

මේ අතර පොහොය දිනයටවත් පන්සලට නොපැමිණෙන පිරිසක් ද විය හැකිය.

පන්සලට කවදත් එන පිරිසෙහි අඩුවක් නොවේ. පන්සලට පෙරට වඩා පැමිණෙන පිරිස බොහෝය. එහෙත් නොඑන පිරිස ගැනද අවධානය යොමු කළ යුතුවේ. පන්සලට පෝදාටවත් නො එන පිරිස පන්සල වෙත ළඟා කර ගැනීමට අවධානය යොමු කළ යුතුවේ.

පන්සලේ දහම් පාසලට පැමිණෙන දරුවා මගින්ද පන්සලට නොඑන පිරිස ගෙන්වා ගැනීමට කටයුතු සම්පාදන කළ හැකි වේ. එමෙන්ම තරුණ බෞද්ධ සමිති මෙන්ම පන්සල කේන්ද්‍ර කරගත් බොහෝ සමිති සංවිධාන මගින්ද පන්සලට නොඑන පිරිස ගෙන්වා ගැනීමට මග සලස්වා ගත හැකිය.

කෙසේ වුවද පන්සලට පෝදාට ගොස් පෙහෙවස් සමාදන්වී දවස පුරා සාමූහිකව ආගමික වතාවත්හි යෙදීම බෞද්ධයා පෙර සිට පවත්වා ගෙන එනු ලබන ක්‍රියාවකි.

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි 15 වැනිදා බදාදා පූර්වභාග 07.52 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 15 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]