UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු සිරිපා පහසින් ලක්දිව පවිත්‍ර වූ අසිරිමත් දුරුතු පොහොය

අද දුරුතු පොහෝ දිනයයි. නොඑසේ නම් නව වර්ෂයක ආරම්භක මාසයෙහි වූ ප්‍රථම පුර පොහෝ දිනයයි. ඔබ සිරිත් පරිදි සිල් සමාදන්ව එසේ නොමැති නම් සාමාන්‍ය පරිදි පොහෝ දිනක ආගමික වතාවත් වල යෙදෙන කෙනෙකු විය හැකිය. එසේ නම් අද දිනයේ වැදගත්කම දැනගැනීම ඔබට ඉතා වැදගත් වනු ඇත. ඒ සමගම නව අරහාදී බුදුගුණයන්ගෙන් කිසියම් එක් ගුණයක් මෙනෙහි කර ගැනීමද ඉතා වැදගත් වෙයි. අද දවසෙහි ඔබේ අවධානය සඳහා යොමුකරන එම ප්‍රථම බුදුගුණයට පෙර අද දිනයෙහි සිදුවී ඇති ශාසනික හා ඓතිහාසික තොරතුරු පිළිබඳව පළමුව විමසා බලමු.

තථාගත බුදුරජාණන් වහන්සේ දඹදිව ගයාහිස අපරාජිත ජය ශ්‍රී මහා බෝරදුන් සෙවනෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වූ අයුරු හැම දෙනාටම මතක ඇති කරුණකි. ඉන් අනතුරුව ඉසිපතන මිගදායට වැඩම කොට පස්වග තවුසන් සඳහා ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමෙන් පසු සඟ සසුන ආරම්භ වන ආකාරය ඉතා ප්‍රකට කරුණකි. සසුනෙහි ක්‍රමයෙන් වැඩිවන භික්‍ෂු මහා සංඝයා වහන්සේ සැට නමක් වූ පසු තමන් වහන්සේගේ දහම් පණිවිඩය ජනතාව වෙත රැගෙන යාම සඳහා (චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය) යන නියමයෙන් භික්‍ෂූන් වහන්සේලා පිටත් කර හරින ලද ආකාරය චමත්කාරජනකය. ඉන් අනතුරුව උරුවෙල් දනව්වට වැඩම කළ බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් ප්‍රධාන ඔවුන්ගේ ශ්‍රාවකයන් දහසක් පමණ බුද්ධශ්‍රාවකයන් බවට පත් කළ ආකාරයද ප්‍රකට කරුණකි. මේ වන විට තථාගත බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වී ගෙවී ගොස් තිබුණේ මාස නවයක් පමණි. එදා උරුවේලාවෙන් පිටත් වූ තථාගතයන් වහන්සේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයක අපේ ශ්‍රී ලංකාවට වැඩම කළ ආකාරය ශාසන ඉතිහාසය මගින් අනාවරණය කරනු ලැබේ.

අපේ මාතෘභූමිය සම්බුදු සිරිපා පහසින් පළමු වරට පාරිශුද්ධත්වයට පත්කරමින් අද වැනි දිනක තථාගතයන් වහන්සේ මහවැලි ගං තෙර මිණිපේ නම් ප්‍රදේශයට වැඩම කළ බව ශාසන ඉතිහාසය මගින් පෙන්වා දී තිබේ. එහි “මහානාග” වන නම් ස්ථානයෙහි රන්වන් රැස් දහරින් යුතුව වැඩහුන් උන්වහන්සේට එරෙහිව ලක්දිව ආදිතමයන් වූ යක්ෂ හා නාග ගෝත්‍රිකයන් උන්වහන්සේ සමඟ සටනට එළඹි ආකරය විචිත්‍රව විස්තර කර ඇත. එම අවස්ථාවෙහි කුළුණු බරව සුමිහිරි නදින් ධර්ම දෙසූ අපේ ධර්මරාජයාණන් වහන්සේ තම බුදු තෙදින් ඔවුන්ගේ තෙද බල සිඳලූ අයුරු ඉතා අසිරිමත්ය. මෙම සුවිශේෂී අසිරිමත් සිදුවීම දැකබලා ගැනීම සඳහා පැමිණ සිටි සමන්ගිරට අධිපති සුමන සමන් දෙව්රදුන් තථාගත ධර්මය අසා සෝවාන් බවට පැමිණි අයුරු ඉතා ප්‍රකට කරුණකි. එසේම බුදුරදුන් වෙත කරන ද ආයාචනයෙන් බුදුසිරස පිරිමැද වැඳුම් පිඳුම් කිරීම සඳහා කේශධාතුන් වහන්සේලා සුමන සුරිඳුන්ට ප්‍රදානය කිරීමද සිදුවී ඇත. රන් බඳුනකින් පිළිගත් මෙම කේශධාතුන් වහන්සේලා නිදන් කොට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ සිට දම් දෙසු බිම් කොටසෙහි සත් රියන් සෑයක් බැඳ පුද පූජා කළ අයුරු මැනවින් විස්තර කොට තිබේ. මියුගුණ මහ සෑය නමින් හඳුන්වන මෙය කරුණු කීපයක් නිසා සුවිශේෂී බවකින් යුක්ත වෙයි. එනම්

01. බුදුරදුන් බුදු පදවි ලද පළමු වර්ෂයෙහිම බඳවන ලද පළමු සෑ රදුන්වීම
02. ජීවමාන බුදුරදුන් තම ශ්‍රී හස්තයෙන්ම ලබාදුන් කේශ ධාතුන් තැන්පත්ව තිබීම
03. දෙවියෙකු විසින් සාදන ලද දාගැබක් වීම
04. සරභු නම් මහරහතන් වහන්සේ විසින් බුදුරදුන්ගේ ගී‍්‍රධාතුන් වහන්සේ තැන්පත් කොට දොළොස් රියන් කොට බැඳවීම

එසේ නම් මහරහතන් වහන්සේ නමක විසින් බඳවන ලද ප්‍රථම සෑ රදුන් වහන්සේද මෙය වන්නේය. ඉන් අනතුරුව දෙවන පෑතිස් රජුගේ මලණුවන් වූ උද්ධචූලාභය කුමරු තිස්රියනක් කොට මෙම සෑය බැන්දවූ බවද කියැවේ. ඉන් වසර සියයක් ගෙවී ගිය පසු නරවිරු දුටුගැමුණු මහරජු විසින් අසූරියනක් කොට මෙම මියුගුණ මහා සෑය බැඳවූ බව සඳහන්ව ඇත.හෙළ දිව ක්‍රමිකව ඉදිවූ ප්‍රථම සෑ රදුන් වන මෙම මහියංගන මහා සෑය සිංහල ජාතියේ ආරම්භය ද ඉක්මවා යන ඉතිහාසයකට උරුමකම් කියන බව පෙනී යයි.

“බෞද්ධ” යන නමින් හදුන්වන්නේ තෙරුවන් සරණ ගිය පුද්ගලයායි, රුවන් යනු වටිනාකම පිළිබඳව අගය කරන යෙදීමකි. බෞද්ධයාට බුද්ධ රත්නය,ධම්මරත්නය, සංඝරත්නය යන රත්නත්‍රය තරම් වටිනා දෙයක් තිබිය නොහැකිය. බුද්ධ රත්නයේ ගුණ නවයක්ද ධම්ම රත්නයේ ගුණ හයක්ද සංඝරත්නයේ ගුණ නවයක්ද යනුවෙන් තෙරුවන් ගුණ සංඛ්‍යාත්මක වශයෙන් මූලිකව සූවිස්සක් වශයෙන් දක්වා තිබේ. තෙරුවන් සරණ යාම නම් තෙරුවන් හි ගුණ පිළිගැනීමයි.එසේ තමා පිළිගන්නා මෙම ගුණයන් පිළිබඳ තමා විසින් තරමක් හෝ දැන සිටීම වැදගත් වෙයි. පුහුදුන් පුද්ගලයෙකුට මේ පිළිබඳ සපුරා හඳුනා ගැනීමක් කළ නොහැකිව බව සඳහන්ය. ආර්යයන් වහන්සේලාටද එය ඉතා දුෂ්කර කාර්යයක් බවද සඳහන් වෙයි. තෙරුවන් ගුණ දන්නා තරමට එම පුද්ගලයාගේ බෞද්ධකම ද වැඩි වේ. සසරින් එතෙරවීම සඳහා එය මූල සාධකයක් බවට පත්වන බවද තේරුම්ගත යුතුව ඇත.

තෙරුවන් ගුණ වලින් ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේගේ නව අරහාදි ගුණයන් පිළිබඳව විමසා බලමු. මේ උතුම් පුර පොහොය දිනයේ පළමුව ඔබේ අවධානය යොමු කරනුයේ “අරහං” බුදුගුණය පිළිබඳව සංක්‍ෂිප්ත විමසා බැලීමක් සඳහායි. අපේ බුදුරජාණන් වහන්සේ විසින්ම අනන්ත වූ බුදුගුණ සාමාන්‍ය ලෝකයාගේ යම් හඳුනාගැනීමක් සඳහා කොටස් කර දැක්වීමේදි සංඛ්‍යාත්මකව “අරහං” බුදුගුණය මුල්කරගෙන ගුණ නවයක් ලෙස වර්ග කොට ඇති අයුරු අප මුලින්ද සඳහන් කළෙමු. එය “සෝ භගවා අරහං...’යනාදි වශයෙන් දක්වා තිබේ. ඒ භාග්‍යවතුන් වහන්සේ සැදැහැවතුන් අනාගතයේදි ලෞකික වශයෙන් හො ලෝකෝත්තර වශයෙන් අපේක්‍ෂා කරන ප්‍රතිඵල සාධනය සඳහා කරනු ලබන පූජාවන් පිළිගැනීමට සුදුසු වන සේක යනු එහි අදහසයි.

“අරහං” යන වචනය සඳහා විවිධ වූ අර්ථ නිරූපණයන් බහුලව දැකිය හැකිය. මෙහි සාමාන්‍ය තේරුම වන්නේ සුදුසු පුද්ගලයා යන්නයි. එම සුදුසුකම කුමක් සඳහාද? දක්‍ෂිණාව පිළිගැනීම පිණිසය. දික්‍ෂිණාව නම් චීවර පිණ්ඩපාත සේනාසන, ගිලන්පස, ප්‍රමුඛ වූ විවිධ පූජාවන්ය. අනුත්තර වූ ධර්ම චක්‍රය හා ආඥා චක්‍රය, පැවැත්වීමට සුදුසුය යන අරුතින්ද අරහං යන නම යෙදෙන බව දක්වා ඇත. කෙලෙසුන්ගෙන් දුරුව සිටින නිසාද අරහං යන්න යෙදෙන බව සඳහන්ව ඇත. රහසිනුද පව් නොකරතැයි යන අරුතින්ද අරහං යන නම යොදා ඇති බව සඳහන් වෙයි. ඔබ අතට පත් ධර්ම පත්‍රිකාවේ මුලින් සඳහන් ගාථධර්මය අරහං යන්නෙහි අර්ථය ඉතා මැනවින් විස්තර කෙරෙන්නකි. එහි අරුත් පහක් ඇතුළත්ව ඇත.

ඒ තිලෝගුරු අමා මෑණියන් වහන්සේ
කෙලෙසුන් කෙරෙන් දුරුවූ සේක
කෙලෙස් සතුරන් නැසූසේක
සංසාර චක්‍රයාගේ ගරාදි සිඳ දැමූ සේක
චීවරාදී සිව් පසය පිළිගැනීමට සුදුසු වනසේක
රහසින් වත් පව්නොකරන සේක මෙසේ හෙයින් උන්වහන්සේ අරහං නම් වන සේක”

සිතා නිමකළ නොහැකි, කියා නිමකළ නොහැකි, ලියා නිමකළ නොහැකි අනන්ත වූ බුදුගුණ වලින් අද දිනයෙහි ඔබ මෙනෙහි කරන ලද්දේ ඒ උතුම් අරහං බුදුගුණයයි. ඒ පිළිබඳව සිතා ඔබේ ශ්‍රද්ධාව වඩා වර්ධනය කරගැනීමට උත්සාහ කරනු මැනවි. ඒ තුළින් උපදවා ගන්නා පින් සිතිවිලි ඔබේ සසර ජීවිතයට ශක්තියක් වනු ඇත.

ඔබ හැමට තෙරුවන් සරණයි

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි 15 වැනිදා බදාදා පූර්වභාග 07.52 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 15 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]