UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධනය වැය කළයුතු නිවැරැදි පිළිවෙත

 ධනය වැය කළයුතු නිවැරැදි පිළිවෙත

මහන්සියෙන් උපයා සපයා ගන්නා ධනයට හා වස්තුවට වටිනාකමක් හිමිවන්නේ එය තැන්පත්කොට ගොඩ ගසා ගැනීමෙන් නොව ධනය නිසි පරිදි වැය කිරීමෙන් හා තම අවශ්‍යතාවන් සපුරා ගැනීමෙන් ය. බුදුදහම පිළිගන්නා බෞද්ධයෙකුට තම ආර්ථික ශක්තිය වර්ධනය කරගෙන ලෝකයේ ඉහළම ධනවතා බවට පත්වීමේ හැකියාව තිබෙන බව මෙම ඉගැන්වීම්වලින් පැහැදිලි වේ. ධනය වැය කිරීමේ නිවැරැදි ක්‍රමවේද හෙවත් යෝග්‍ය කර්ම ( පත්තකම්ම )හතරක් පත්තකම්ම සූත්‍රයෙන් ඉදිරිපත් කෙරේ. ධනය වැය කිරීමේ ක්‍රම හතරක් පිළිවෙළින් දැක්වුවද ඒවා ක්‍රියාත්මක කිරීමේදී සියල්ලම එකවර ඒ ඒ අවස්ථාවට අනුව සම්පූර්ණ කළයුතු වේ

දැහැමිව ධනය උපයාගත් පුද්ගලයා එකී ධනය විනාශ කෙරෙන හේතු මැනවින් වටහාගෙන නිවැරැදි ආකාරයට පරිහරණය කළ යුතුවේ. දැහැමින් ධනය ඉපැයීමට උපදෙස් සපයන බුදුදහම ධනය නිසි පරිදි පරිහරණය කිරීම පිණිස ද ක්‍රමවේදයක් ඉදිරිපත් කරයි. එම නිවැරැදි ක්‍රම වේදය බුදුන්වහන්සේ විසින් පැහැදිලි කළ අයුරු අංගුත්තර නිකායේ රාසිය හා පත්තකම්ම යන සූත්‍රවල දැක්වේ. මහන්සියෙන් උපයා සපයා ගන්නා ධනයට හා වස්තුවට වටිනාකමක් හිමිවන්නේ එය තැන්පත්කොට ගොඩ ගසා ගැනීමෙන් නොව ධනය නිසි පරිදි වැය කිරීමෙන් හා තම අවශ්‍යතාවන් සපුරා ගැනීමෙන් ය. බුදුදහම පිළිගන්නා බෞද්ධයෙකුට තම ආර්ථික ශක්තිය වර්ධනය කරගෙන ලෝකයේ ඉහළම ධනවතා බවට පත්වීමේ හැකියාව තිබෙන බව මෙම ඉගැන්වීම්වලින් පැහැදිලි වේ. ධනය වැය කිරීමේ නිවැරැදි ක්‍රමවේද හෙවත් යෝග්‍ය කර්ම ( පත්තකම්ම )හතරක් පත්තකම්ම සූත්‍රයෙන් ඉදිරිපත් කෙරේ. ධනය වැය කිරීමේ ක්‍රම හතරක් පිළිවෙළින් දැක්වුවද ඒවා ක්‍රියාත්මක කිරීමේදී සියල්ලම එකවර ඒ ඒ අවස්ථාවට අනුව සම්පූර්ණ කළයුතු වේ.

පළමු ක්‍රමවේදය අංග හතරකින් සමන්විත වේ. ඒ අනුව පළමුව ස්වකීය අවශ්‍යතා වෙනුවෙන් ධනය වැය කළ යුතුය. දෙවනුව තම දෙමාපියන්ගේ අවශ්‍යතා ඉටුකළ යුතුය. තෙවනුව අඹු දරුවන් හා තමා යටතේ සේවය කරන්නන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ධනය වැය කළ යුතුය. සිව්වෙනුව ස්වකීය හිත මිතුරන්ගේ යහපත වෙනුවෙන් ධනය වැය කළ යුතුය. මෙම කරුණු හතරම තමන් හා පවුලේ අවශ්‍යතාත්, සේවකයන් හා මිතුරන්ගේ අවශ්‍යතාත් යනුවෙන් සංක්‍ෂිප්තව දැක්විය හැකිය. පළමු කාණ්ඩයෙන් නිර්දේශ කෙරෙන්නේ තම සමීපතමයන්ගේ අවශ්‍යතා සැපිරීමයි. උපයන ධනය තුළින් තමන්ගේ මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා සැපිරීමෙන් ඔවුන් සුවපත් කිරීම සත්පුරුෂයකුගේ ලක්‍ෂණයකි. ඇතැම් ධනවත් පුද්ගලයන් තම දෙමාපියන් හා අඹුදරුවන් පිළිබඳ නොසළකා තමන්ගේ පෞද්ගලික විනෝදාස්වාදය සඳහා ධනය වැය කරන අවස්ථා දක්නට ලැබේ. උපයා ගත් ධනය ආත්මාර්ථය පිණිසම යොදා ගැනීම පමණක් නොව අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් ද යෙදවීම පළමු නිවැරැදි ධනය වැය කිරීමේ පිළිවෙතයි. දෙවන ක්‍රමවේදය ලෙස දැක්වෙන්නේ ආපදාවන්ගෙන් ආරක්‍ෂාවීම පිණිස ධනය වැය කිරීමයි. අවිනිශ්චිත ලෝකය තුළ මිනිසාට මුහුණ දීමට සිදුවන ආපදා බහුලය. එම ආපදා ස්වාභාවික විපත් නිසා විය හැකිය. මෙවන් ආපදා අවස්ථාවකදී වැය කිරීම පිණිස තැන්පත් ධනයක අවශ්‍යතාව වටහාගත යුතුය. සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන්නේ ආපදාවන්ගෙන් වැළකීම පිණිස තමන් උපයන ධනයෙන් හතරෙන් එකක් තැන්පතුවක් වශයෙන් තබා ගතයුතු බවයි. මෙම අවශ්‍යතාව ඉටුකර දෙන විවිධ ව්‍යාපාර වර්තමානයේ දක්නට ලැබේ. ඒවායේ අරමුණ බොහෝදුරට ලාභය ඉපැයීම පමණක්ම විය හැකිය. අනාගතය වෙනුවෙන් එවන් ආයතනයක මුදල් තැන්පත් කිරීමේදී නුවණින් යුතුව ක්‍රියා කළ යුතුය. වර්තමාන ලෝකය සංකීර්ණය, අවශ්‍යතා බහුලය. නොසිතූ නොපැතූ® දේට මුහුණ දීමට සිදුවේ. මෙම තත්ත්වය මැනවින් වටහාගෙන අනාගතය වෙනුවෙන් යම් ධනයක් වස්තුවක් තැන්පත් කර තබා ගැනීම ගිහි ජීවිතය බාධාවකින් තොරව පවත්වා ගැනීමට හේතුවේ.

තෙවන ක්‍රම වේදය යටතේ ධනය වැය කරමින් ඉටු කළයුතු සමාජ වගකීම් පහක් පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි. පංච බලි යනුවෙන් හැඳින්වෙන මෙයින් ඤාතීන්ට සංග්‍රහ කිරීම (ඥාතිබලි ) ආගන්තුකයන්ට සැළකීම (අථිති බලි ) මිය පරලොව ගිය නෑයින් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම ( පුබ්බපෙත බලි ) පුරවැසියෙකු වශයෙන් රජයට ගෙවිය යුතු අයබදු ගෙවීම ( රාජබලි ) දේවතාවන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම ( දේවතා බලි ) ආදී වගකීම් පැහැදිලි කරයි. බලි දීම බ්‍රාහ්මණ සම්ප්‍රදායේ චාරිත්‍රයකි. ඒ යටතේ නොයෙකුත් අර්ථශුන්‍ය පුද පූජා පැවැත්වීම සිදුවිය. බුදුරජාණන් වහන්සේ එම ක්‍රමය බැහැර කොට ඒ වෙනුවට සමාජ යුතුකම් හා වගකීම් පහක් හඳුන්වා දුන්නහ. මෙයින් පස්වැන්න හැර මුල් බලි කර්ම හතර සෘජුවම සමාජ වගකීම් හා සම්බන්ධ වේ. ගිහි ජීවිතය සමාජ සම්බන්ධතාවලින් සංකීර්ණ වූවකි. එහි පැවැත්ම තීරණය කෙරෙන ප්‍රධාන සාධකය වන්නේ යුතුකම්ය. යුතුකම් පැහැර හැරීමෙන් ගිහි ජීවිතය අර්බුදයට ලක්වේ. තම පවුලේ අසරණ ඤාතීන්ට මෙන්ම ආගන්තුකයන්ට සැළකීම බෞද්ධ ජීවිතයක විශේෂ ගුණාංගයකි. එසේම මියගිය දෙමාපියන් ඤාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම උදාර සත්පුරුෂ ගුණයකි. නමුත් තමා උපයා සපයා ගන්නා ධනයෙන් ඤාතීන්ට ආගන්තුකයන්ට සැළකීමේදී හා මළවුන් වෙනුවෙන් පින්කම් කිරීමේදී එහි සීමාවන් වටහාගෙන කටයුතු කළ යුතුවේ. එසේ නොකර තම සියලුම ධනය හා කාලය ඒ වෙනුවෙන් වැය කිරීම ගැටලු ඇතිවීමට හේතු විය හැකිය. මේ සියල්ල තම පවුලේ සාමාජිකයන් හා සාකච්ඡාකොට ඔවුන්ගේ කැමැත්ත ද විමසා සිදුකළ යුතුයි. උදව් උපකාර කිරීමේ සීමාවන් හඳුනාගත් විට සමාජයේ කා සමගත් සුහදව කටයුතු කළ හැකිවේ.

රජය වෙනුවෙන් නියමිත අයබදු ගෙවීමෙන් එක් අතකින් රටේ පැවැත්මට දායක වන අතරම තමන් ලබා ගන්නා සේවාවන් තවදුරටත් යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වේ. බෞද්ධයෙකු වශයෙන් දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම කොතෙක්දුරට එකඟ වන්නේද යන්න වෙනම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුත්තකි. ආගමික ඇදහිලි විශ්වාස අන්ධානුකරණයෙන් පවත්වාගෙන යාම බෞද්ධ පිළිවෙත නොවේ. බෞද්ධ පිළිවෙත වන්නේ දෙවියන් උදෙසා පින් අනුමෝදන් කිරීමය. එබැවින් පුදපූජා පවත්වමින් ධනය හා කාලය වැය කළ යුතුද යන්න නුවණැති බෞද්ධයන් විමසා බැලිය යුතුය. අනෙක් අතට ප්‍රතිපත්ති පූරණයෙහි යෙදෙන දැහැමින් අඹුදරුවන් පෝෂණය කරන ගිහි උපාසක උපාසිකා පිරිසට දෙවියන් පවා නමස්කාර කරන බව සංයුත්ත නිකායේ සක්ක නමස්සන සූත්‍රයේ දැක්වේ. දැහැමි දිවියක් ගෙවන්නාට දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින්ම හිමිවේ. බ්‍රාහ්මණ බලි පූජාවන් වෙනුවට දෙවියන් උදෙසා බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන්නේ පුණ්‍යානුමෝදනා කිරීමයි. ඉහතින් දැක්වු පංච බලි කර්මය සමාජ ජීවිතය අර්ථවත් කර ගැනීමට උපකාරී වන පුරුෂාර්ථ වේ.

සිව්වන ක්‍රමවේදය ලෙස දැක්වෙන්නේ ආගමික ජීවිතයක් ගතකරන පූජ්‍ය පූජක පක්‍ෂයට සංග්‍රහ කිරීමයි. ආධ්‍යාත්මික විමුක්තිය වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවී සිටින එවැනි උතුමෝ නිෂ්පාදන ක්‍රියාවලියට දායක නොවන අතර ගෘහස්ථ ප්‍රජාවගේ පරිත්‍යාග මත සරල ජීවන ප්‍රතිපදාවක් අනුගමනය කරති. එවන් උතුමන්ගේ සිව්පසය සැපයීම ආදියෙහි සිටම පැවති උසස් චාරිත්‍රයක් බව පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ මෙහිදී ශ්‍රමණ බ්‍රාහ්මණ යනුවෙන් සමකාලීන සියලුම ආගමික කණ්ඩායම් අදහස් කර තිබීම විශේෂත්වයකි. උන්වහන්සේ තම ශ්‍රාවක පිරිස වන භික්‍ෂු භික්‍ෂුණී පිරිසට පමණක් සත්කාර කළ යුතුයි යන පටු දෘෂ්ඨියෙහි නොපිහිටා කටයුතු කළ බව මෙම නිර්දේශයෙන් පැහැදිලි වේ. එසේම ආගමික සහනශීලිත්වය පිළිබඳ බෞද්ධ ප්‍රතිපදාව එයින් අර්ථවත් වේ. පරිත්‍යාගයක නියම අර්ථය වන්නේ අත්හැරීමය. එය කවුරුන් උදෙසා වුවද සිදුකළ හැකිය. එහෙත් තමන්ට වඩා සීලයෙන් ගුණයෙන් උසස් උතුමන් උදෙසා කෙරෙන අත්හැරීම විශේෂ වූවකි. බෞද්ධ ගිහි ජීවිතයේ පුණ්‍ය ප්‍රතිපදාව ලෙස අර්ථවත් කෙරෙන දානමය පුණ්‍ය ක්‍රියාව වන්නේද එම යුතුකමයි.

ධනය වැය කරන මෙම ක්‍රම හතර රාසිය සූත්‍රයෙහි තමා සුවපත්වීම ( අත්තාං සුඛෙති ) පිනවීම ( පීණේති ) අන් අය හා බෙදා ගැනීම ( සංවිභජති ) පින් කිරීම ( පුඤ්ඤානිකරොති ) යනුවෙන් සංක්‍ෂිප්තව දක්වා තිබේ. ඉහතින් දැක්වූ ක්‍රමවේද සතර අනුව ධනය වැය කිරීම බෞද්ධ පිළිවෙතයි. ඉතා සංක්‍ෂිප්තව කරුණු හතරක් යටතේ ඉදිරිපත් කළ ද අප විසින් එදිනෙදා ධනය වැයකොට සිදුකරනු ලබන යහපත් කටයුතු සියල්ලම එයට අන්තර්ගත කළ හැකිය. තමාගේත්, තම පවුලෙත්, ඤාති මිත්‍රයන්ගෙත්, ආගමේත්, රටේත් යහපත වෙනුවෙන් ධනය වැය කිරීම මෙම සූත්‍රයෙන් පැහැදිලි කෙරේ. ඒ අනුව ධනය වැය කිරීම පත්තකම්ම හෙවත් යෝග්‍ය පිළිවෙතයි.

මෙම ක්‍රමවේද ඔස්සේ ධනය වැය කරන්නකුගේ ධනය සුදුසු තැනට යොමුවුණු ( ඨානගත ) යෝග්‍ය පුද්ගලයෙකුට ලැබුණු ( පත්තගත ) පරිභෝජනයයේ නිවැරැදි පිළිවෙත සැපිරූ ( ආයතනසො පරිභූත්ත ) එකක් බව බුදුසමයේ පිළිගැනීමයි. දැහැමින් උපයාගත් ධනයට හිමි වටිනාකම මනින්නේ එම ධනය නිසි පරිදි වැය කිරීමෙන් අත්පත්කරගන්නා යහපත අනුවය. එම යහපත තමන්ගේ මෙන්ම අන් අයගේද යහපත විය යුතුයි. උපයන සෑම දෙයක්ම වැය කළ යුත්තේ එකී උදාර යහපත වෙනුවෙන්ය. එම යහපත තුළින් ඇති කෙරෙන සතුට පරම ධනය වේ. (සන්තුට්ඨිපරමං ධනං)

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]