UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සද් ක්‍රියාවේ ඵලය නිබඳ ගෙන දේ දිවියට සුවය

සද් ක්‍රියාවේ ඵලය නිබඳ ගෙන දේ දිවියට සුවය

සුමන මාලාකරු හොඳ සිතිවිලිවලින් කළ ක්‍රියාව ඔහුට යහපත රැගෙන ආවේය. එසේම ප්‍රදේශය තුළද යහපත් සමාජ මතයක් ඇතිකිරීමට එය සමත් විය. යහපත් සිතිවිලිවලින් යුතුව සිතා මතා කරනු ලබන යහපත් ක්‍රියාවන් ඒ මොහොතේම නැතත් පස්සෙන් පහු හෝ යහපත් ප්‍රතිඵලම අරගෙන එන බව මෙයින් පැහැදිලි වේ.

කිසියම් ක්‍රියාවක් කිරීමට පෙර එම ක්‍රියාව සිදු කිරීමෙන් පසු පෙරළා ලැබෙන ප්‍රතිවිපාකය පිළිබඳව මෙනෙහි කරමින්ම එම ක්‍රියාව කිරීම ආරම්භ කරන්න යැයිද එම ක්‍රියාව කරන්න යැයි යනුවෙන්, බුදුදහමෙහි දැක්වෙන ඉගැන්වීම විශේෂ වූවකි.

එම ඉගැන්වීම මත බිහිවෙන දර්ශනය තුළ දකින්නට ලැබෙන්නේ දූරදර්ශී බවින් යුතුව වැඩ කටයුතු කිරීමට පුද්ගලයා නැඹුරු කරවීමයි. මිනිසා කරනු ලබන සියලු ක්‍රියාදාමයන් හි ඵලය පෙරළා ඔහුට ලැබෙන බව බුදුසමය පැහැදිලි කරයි. මිනිසා කිසියම් ක්‍රියාවක් කරනු ලබන්නේ ඔහුම සිතා විමසා මිස, කිසිවකුගේ පෙලඹවීමක් මත නොවේ. පෙරළා එහි ප්‍රතිඵලය ඔහුට ලැබෙන්නේද, ඔහුම එම ක්‍රියාව සිදුකරනු ලබන හෙයිනි.

බුදුරජාණන් වහන්සේ දක්වනු ලබන්නේ පුද්ගලයා කරන ක්‍රියා මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි බවයි. එනම් යහපත් චේතනාවලින් කරනු ලබන ක්‍රියා සහ අයහපත් චේතනාවලින් කරනු ලබන ක්‍රියා යනුවෙනි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් පෙන්වා දෙනු ලබන්නේ යහපත් චේතනාවලින් යුතුව පසුව එය සිහිපත් කළ විට සිතෙහි ප්‍රමුදිත බවක් ඇතිවන ක්‍රියාවන් හැකිතරම් කළ යුතු බවය. එබඳු ක්‍රියාවක් කිරීම ජීවිතය ට හුරු පුරුදු කරගත යුතුය. තමා කරනු ලබන ක්‍රියාවන් පිළිබඳව පූර්වයෙන් සිතා විමසා බැලීම, හොඳ ප්‍රතිවිපාකයන් තිබේ යැයි සිතා ක්‍රියාවන් කිරීම, එබඳු ක්‍රියාවන් නැවත නැවත ජීවිතයට හුරු පුරුදුගත යුතුය යනුවෙනි.

මෙබඳු දහම් කරුණක් පැහැදිලි කිරීම සඳහා හේතු වූ කාරණාවක් වේ. මෙම දේශනාවට හේතු වූයේ “සුමන” නම් මල් මාලා ගොතන්නකු විසින් ජීවිත පරිත්‍යාගයෙන් කරනු ලැබූ ක්‍රියාවක්ය. සුමන ඒ දවස ප්‍රසිද්ධියට පත්ව සිටියේ මාලාකාරයකු වශයෙනි. එනම් ගස්වල පිපෙන මල් බොහෝ කොට නෙළා විවිධ හැඩයෙන් යුතු මල්මාලා ගොතා ඒවා විකුණා ජීවත්වන කෙනෙකු වශයෙනි. සුමන නම් මාලාකරු බිම්බිසාර මහරජතුමාටද දෑසමන් මල් රජ ගෙදරටද ප්‍රමාණවත් වන තරම් දිනපතා සපයන්නේය. එය ඔහු දිගටම කරගෙන ආ තවත් ක්‍රියාදාමයකි. රජ මාලිගයට මල් සැපයීම නිසා සුමන මල්කරු තුළ යහපත් ආර්ථිකයක්ද හොඳ සමාජ තත්ත්වයක්ද පැවතුණේය. හොඳ ආර්ථිකයක් පැවතුණේ ස්ථිර වශයෙන්ම රජ මැදුරෙන් ඔහුගේ මල් සඳහා මුදලක් ලැබූ නිසාය. සමාජ මට්ටමක් පැවතුණේ රජ ගෙදර සමග විශ්වාසවන්ත ලෙස සහ සම්බන්ධකම් පැවතුන නිසාය. සුමන රජගහනුවර ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත්වූයේ ධාර්මික ව්‍යාපාරයක් සහිත යහපත් සමාජ මට්ටමක් පැවති කෙනකු කියාය.

එක දවසක් උදෑසන සුමන එදින රජමැදුරට අවශ්‍ය කරන මල්මාලා ප්‍රමාණය අරගෙන රජමැදුරට යමින් සිටියේය. නගරය මැදින් රජගෙදර සඳහා ගමන් කරන සුමනට දකින්නට ලැබුණේ මහ සංඝරත්නය කැටුව බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයෙහි වඩින ආකාරයයි. බුදුරජාණන් වහන්සේ දුටු සුමනට උන්වහන්සේ පිළිබඳව ඉමහත් ගෞරවයක්ද සිතෙහි මහත් ප්‍රසාදයක්ද ඇති විය. තමා සතුව තිබෙන මල් සියල්ල බුදුරජාණන් වහන්සේගේ සිරිපාමුල පූජාකරන්නට ඇත්නම් යැයි කල්පනා විය. ඒත් එසේ කරන්නටත් බැරිය. රාජ නියමය අනුව අද දවසට සැපයිය යුතු මල් ප්‍රමාණය කිසියම් විදිහකින් අඩු වුවහොත් එය රාජ උදහස ට ලක්වීමට තරම් බරපතළ වරදකි. ඇතැම් විට එසේ වුවහොත් මරණීය දණ්ඩනය පවා ලැබෙන්නට පුළුවන. එයට හේතුව රාජ්‍ය සමග ඇතිකරගෙන තිබුණ ගිවිසුම ඒකපාර්ශ්විකව කඩ කිරීම නිසාය. සුමන මාලාකරුගේ හිත දෙපැත්තට ඇදි බුදුරජාණන්වහන්සේට මල් පූජා කරන්නද? රාජ උදහසට ලක්වෙන වරදක් වීමට එය ඉඩ තිබෙන නිසා එසේ නොකරනව ද? යනුවෙනි. අවසානයේ සුමනගේ පින් සිතිවිල්ල ජය ගත්තේ රාජ උදහසට ලක්වුණත් මේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කරන්නෙමි යැයි සිතා දෑතට ගත් සුවඳ දෑසමන් මල් දෝතක් බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට විසිකළේය. පුදුමයකි. සුමන, බුදුරජාණන් වහන්සේ දෙසට ගෞරව භක්ති පෙරදැරිව දැමූ ඒ දෑ සමන් මල් දෝත මහ මග වඩින බුදුරජාණන් වහන්සේට වියනක් ඇල්ලුවාක් මෙන් පිහිටියේය. දැන් බුදුරජාණන් වහන්සේ පෙරට වඩිති. උන්වහන්සේට වියනක් ඇල්ලුවාක් මෙන් මල් වියනක් මෙන් සකස් වී තිබේ. වියනක් නම් සිව් කොණින් අල්ලන හතර දෙනෙක් සිටී. නමුත් මෙහි එහෙමත් නැත. සුමනගේ සිතෙහි පැවති ශ්‍රද්ධාව නිසා ආශ්චර්යයක් සිදුවන්නා වගේය. හතර වටේ සිටින මිනිස්සු මේ අපූරු සිද්ධිය බලාගෙන සිටිති. හිතේ පැවැති ශ්‍රද්ධාව වැඩිකමට තමන් දෑසමන් මල්දෝතක් බුදුරජාණන් වහන්සේ දෙසට විසී කළේය. ඒ මල් දෝත ගොස් තවත් එක් පැත්තක් ආවරණය කරමින් වියනක් සේ පිහිටි අනෙක් මල්දෝතට පැත්තකින් යා වෙමින් අනෙක් කොන බිම දෙසට පිහිටා සකස් විය. නැවත වතාවක් මල්දෝතක් බුදුරජාණන් වහන්සේ දෙසට පූජාකළේය. එයත් එහෙම වැනිය.මේ ආකාරයට රජ ගෙදරට සැපයීමට නියමිත සියලුම මල් බුදුරජාණන් වහන්සේ දෙසට පිදූ සුමන ශ්‍රද්ධා ගෞරව පෙරදැරි කරගෙන මහ මඟ වඩින බුදුරජාණන් වහන්සේ දෙසට වැඳගෙන තමන් කළ ඉමහත් පින්කමෙහි සතුට විඳීන්නට විය. ඈත සිට බුදුරජාණන් වහන්සේ දෙස බලන කෙනෙකුට දැන් පෙනෙන්නේ මල් ගෙයක් තුළ වැඩ ඉඳගෙන එම මල් සමග බුදුරජාණන් වහන්සේ ඉදිරියට වඩින බවයි. වටපිට සිට මේ දෙස බලන කෙනෙකුට මේ සිදුවූයේ කුමක්දැයි සිතාගන්නටවත් බැරිය. එදා දවසම නගරවාසීන් ගේ සිත් සතන් තුළ පැවතුණේ එම ආශ්චර්යය පිළිබද කතා බහයි.

සුමන මාලාකරු සිදුකළ පින්කම පිළිබඳව බිම්බිසාර මහරජ තුමාටද ආරංචි විය. තම රජ මැදුරට දිනපතා සපයන මල් නොලැබීම පිළිබඳව රජතුමා උදහස් වූයේ නැත. ඔහු කල්පනා කළේ සුමන මාලාකරු තුළ පැවැති අසිරිමත් ශ්‍රද්ධාවේ තරම පිළිබඳවයි. එනිසාම රජතුමා සුමන මාලාකරු රජ මැදුරට ගෙන්වා ඔහු තුළ පැවැති ශ්‍රද්ධා මහිමය පිළිබඳව ප්‍රශංසා කොට මහත් පුද පඬුරු දුන්නේය.

සුමන මාලාකරු හොඳ සිතිවිලිවලින් කළ ක්‍රියාව ඔහුට යහපත රැගෙන ආවේය. එසේම ප්‍රදේශය තුළද යහපත් සමාජ මතයක් ඇතිකිරීමට එය සමත් විය. යහපත් සිතිවිලිවලින් යුතුව සිතා මතා කරනු ලබන යහපත් ක්‍රියාවන් ඒ මොහොතේම නැතත් පස්සෙන් පහු හෝ යහපත් ප්‍රතිඵලම අරගෙන එන බව මෙයින් පැහැදිලි වේ.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 08.15 ට ලබයි.
27 වැනිදා සිකුරාදා අපරභාග 10.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]