UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 2

රූබෙල් පුංචි දරුවා රේරුකානේ චන්දවිමල නමින් සසුන් ගත වෙයි

1897 ඇසළ මාසේ 19 වෙනි දින රේරුකාන නම් ග්‍රාමයේදී රූබෙල් ගුණවර්ධන නමින් කුළ කුමරෙක් මෙලොව එළිය දකියි. මෙම දරුවා පාසල් ගියේ දෙවෙනි කැලෑසියට පමණි. ඔය අතර වාරයේ ගම් ප්‍රදේශයේ වූ ‘කුළුපන’ කන්දට බුරුමයේ සිට විනයාංලකාර නම් භික්‍ෂූන් වහන්සේ නමක් වඩිති. ගැමියන්ගෙන් උන්වහන්සේට ලැබුණු පිරිකර පූජාකර සියක් නමක් විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් සිදු කිරීමට බුරුම නා හිමියෝ තීරණය කරති. එහෙත් ප්‍රදේශවාසී භික්‍ෂූන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරති.

අද එතැන් සිට .....

මෙම බුරුමයේ විනයාලංකාර භික්‍ෂූන් වහන්සේගේ දානමය පින්කම පිළිබඳ යහපත් අපේක්‍ෂාව දැනගත් වස්කඩුවේ සුභූති හිමියෝ එම පුණ්‍ය කටයුත්තට තම සහාය ඵල කිරීමට ඉදිරියට පැමිණෙති. ප්‍රදේශයේ භික්‍ෂූන් බහුතරයක් ප්‍රතික්ෂේප කළ දානය වෙනුවෙන් සුභූති හිමියන් ඉදිරිපත් වීම ඇත්තෙන්ම නිර්භීත ව්‍යායාමයකි. අභියෝගාත්මක ක්‍රියාවකි. ඒ වකවානුවේ සුභූති හිමියන් ප්‍රකටව සිටියේ ද එවන්වූ සුවිශේෂීතා ප්‍රදර්ශනය කළ යති චරිතයක් වශයෙනි.


අද දකින පොකුණුවිට විනයාලංකාර විහාරය

මෙම පෙළඹවීම නිසාම දානයට අවශ්‍ය භික්‍ෂූන් වහන්සේ සුභූති හිමියන්ගේ අනුග්‍රාහකත්වයෙන් සැපැයෙන අතර පින්කම ද ගරු සරුවට සිදු කෙරෙයි.

මෙයින් වඩාත් සතුටු වන්නේ ගම්මැදි ගැමි ජනතාව ය. ඒ සමඟම ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා විනයාලංකාර හාමුදුරුවන් වෙත පෑ නොපනත්කම නිසා ප්‍රදේශවාසීගේ සිත් තුළ පැලපදියම් වන්නේ උන්වහන්සේලා පිළිබඳ අප්‍රසාදයකි.

ඒ කලකිරීම් සහගත සිදුවීම නිසා ගැමි දනන්ට අවශ්‍ය වන්නේ විනයාලංකාර හිමියන් වෙනුවෙන් අලුතෙන් පංසලක් ගොඩ නැගීමට ය.

එළඹී ඇති ගැටලුවට මුහුණ දිමට ගමේ බොහෝ මිනිස්සු එකතු වෙති. තනි මංසලමේ නොව රොද බැඳ ගතහොත් දැල උස්සන් යෑමට හැකි වු වටු රැළ සේ එතැන ජනිත වන්නේ එකමුතුකමේ සවියයි.

දැන් ඉතින් පිරිස එකතුවී ඉඩම් කැබැල්ලක් සොයති.

ඒ වැයික්කියේම පොකුණුවිට නම් ග්‍රාමයේ වෙල් එළියක් ඉහැත්තෑවේ ඇති ‘ඉඳීකැටිදෙණිය’ නම් ඉඩම ඇස ගැසෙන්නේ ප්‍රශ්නයට සහනදායී උත්තරයක් වශයෙනි. හැබැයි ‘ඉඳිකැටිදෙණිය’ ඉඩම ඒ කාලේ බූටෑවට වසන්ව වල් බිහිවූ ඉඩමකි. ගම් බිම්වල කරක් ගහන විෂඝෝර සරුපයන් අල්ලාගෙන ගෙනත් දමන්නේ මේ ඉඩමට ය. ඒ විතරක් ද නොවේ. මෙය හරක් හොරුන්ගේ තිප්පොළකි. හොරෙන් පන්නා ගෙන එන හරකුන් මළපුඬුවට දක්කා ගෙන යන්නට පෙර මෙම ඉඩමේ බැඳ තබන්නේ ඉඩම මිනිස් ඇසින් වහන්වී පැවැති බැවිනි. ඉඳිකැටිදෙණියට අයිතිවාසිකම් කියූ කිහිපදෙනෙක් ද වූහ. ගම්මුන්ගේ ඉල්ලීම මත එසේ සරුප පහස රැඳවුණු භූමිය මෙන්ම මරණ දඬුවමට පෙර ජීවිතයේ අවසන් ඉම සටහන් කළ ගවයන්ගේ සිර කඳවුර – පන්සල් භූ®මියක් වෙනුවෙන් පුජා කිරීමට ඔවුහු කෙසේ හෝ කැමැත්ත පළ කරති.

‘ඉඳීකැටිදෙණිය’ නම් වූ බන්ධනාගාර භූමිය එළි පෙහෙළි වෙමින්, සුදු වැලි ඇතිරෙමින්, සැනසුමේ, නිදහසේ, කෙම් බිමක් බවට පරිවර්තනය වෙමින්, අද මේ බිමෙන් එපිට දේශ දීපංකරවල පවා ප්‍රසිද්ධියට පත්වූ ලාංකේය විහාර නාමාවලියේ විශේෂිත නමක් තැබූ පින්බිමක් බවට පත්වන්නේ ඔන්න ඔය ආකාරයට යි. කෙසේ හෝ එවන් රුදුරු බිමක් මෙවන් ඉසුරු ඉසව්වක් බවට පත් කිරීම වෙනුවෙන් ඉඩම පූජාකළ ඇත්තන්ටත් ඒ මහඟු පුණ්‍ය කර්මයට මඟ පෙන්වූ ගමේ මානවයන්ටත් මහත් පිනක් අත්වනවා නො අනුමාන ය.


විනයා ලංකාර විහාරය නා හිමි

ලබාගත් ඉඩමේ පන්සලක් සාදා එය විනයාලංකාර හිමියන් වෙත පූජා කෙරෙන අතර විහාරස්ථානයට ‘විනයාලංකාරය’ ලෙස නම තැබෙන්නේත් විනයාලංකාර බුරුම හිමියනට දැක්වූ ගෞරවයක් වශයෙනි.

භාෂා සන්නිවේදනයේ අඩුලුහුඬුකම් කොතෙක් තිබුණත් බුරුම හාමුදුරුවන් සැබෑ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් තම යුතුකම නොපිරිහෙලා ඉටු කරති. පන්සලට පැමිණෙන ප්‍රදේශවාසීන්ට නිබඳව ධර්ම දේශනා කරමින් ඔවුන්ට ධර්මාවබෝධය ලබා දෙති.

නිතර පන්සල ඇසුරු කරන්නන් අතර පවුලිස් ගුණවර්ධන උපාසක මහතා ද දකින්ට ලැබෙයි.

බුරුම හාමුදුරුවන් වැඩිමනක් බණ කියන්නේ පැවිද්දේ ඇති වටිනාකම සහ ආනිශංස පිළිබඳව ය. මේ දහම් කරුණු අපේ උපාසක මහතාගේ හිත ද අවධි කරවන සුළු විය.

ඔහු පෙරලා නිවසට පැමිණ මුණිවත නො රකිමින් දරු මල්ලන් සමඟ දොඩමළු වෙමින් බුරුම හාමුදුරුවන්ගේ දේශනා පිළිබඳ කතා කරයි.

එක් දිනෙක පවුලිස් උන්නැහේ යෝජනාවක් මෙසේ ඉදිරිපත් කරයි. “ පුතේ උඹටත් නරකද මහණ වුණොත්” ඔහු එසේ ඇසුවේ අනාගතයේ දවසක පවුලේ බර කරට ගන්නට සිටි තම වැඩිමහල් පුත්‍රයා වූ රූබෙල් වෙතට එක එල්ලේ ඇස් යොමු කරවමිනි.

“ හොඳයි තාත්තේ”

ප්‍රශ්නයේ වැල්වටාරම් නොමැත. උත්තරය කෙටිය. සරළ ය. හයක් හතරක් නොදත් මේ පුංචි එකා දෙවරක් නො සිතුවේ ය. මහණකමේ දිගක් පළලක් ගැන අංශු මාත්‍රයකවත් හැඟීමක් ද මේ පොඩි එකාගේ හිත තුළ නොමැත. එහෙත් මහණ වෙනවා යන්න ගෙදරින් ඈත් වීමකි. ඇලේ - දොලේ දියබුං ගසමින් ලන්දේ - දෙණියේ හිතුමතේ කෙළි සෙල්ලමින් ගත කළ දඟකාර ළමා දිවියට විරාමය තැබීමකි. මේ වනවිට අවුරුදු 09ක් වත් සම්පූර්ණ කර නැති පුංචි දරුවකු නිබඳව අම්මාගේ ඇකයේ දැවටෙයි. තුරුලේ සැනසෙයි. උණුසුමේ පහස විඳි යි. ඉතින් පුංචි ශරීරයේ සිවුර දැවැටුණු පසු ආයෙත් කිසිදා නො එනා හුරතල් ළමා කාලයට පිවිසෙන්නට ඉඩක් නො ලැබේ. මහණ වෙන්නට කැමැත්ත ප්‍රකාශ කළ මේ පුංචි හිතට වෙන්වීම පිළිබඳ එවන් හැඟුමන් බිඳුවක් හෝ හිතට නොදැනුනායැයි කියා සිතන්නට ද නොපුළුවන.

එසේ නම් මේ පුංචි දරු පැටියා එකපාරටම මහණවීමට කැමැත්ත ප්‍රකාශ කළේ ඇයි? ඒ පිළිබඳව අපට හිතන්නට ඇත්තේ මෙපමණකි. පින්වත් රූබෙල් කුළ කුමරුවාගේ සංසාර ගත ගමනේ දී මෙවන් තැන් තවත් බොහෝ හමුවන්නට ඇත. මේ භවයේ ද සසුන්ගත වීමට දෛවය විසින් පාර කපා තැබුවා විය හැකි ය. කොටින්ම එය සංසාරගත පුරුද්දක් නිසා වූවක් විය හැකි ය. ගිහිගෙය හැරයාමේ බරසාරකම නොදැන හෝ ඒ ඉල්ලීම සැහැල්ලුවෙන් බාර ගත්තේ ඒ නිසාම වෙන්නට පුළුවන.

අද අප ‘බුදුසරණින්’ මේ මහා යති චරිතාපදානය ලියා තබන්නට පෙළඹෙන්නේ ඒ තුළ වූ උදාර සුවිශුද්ධ ගුණ කදම්භයක අගය අපි සිත් ද උද්දීපනයට පත්කළ බැවිනි. එසේම ලාංකේය බිමට ආලෝකයක් වූ බැවිනි. එවන් ගති ස්වභාවයන්ගෙන් හෙබි උත්තම මානව චරිතාංග අතර රැඳෙන්නට ලැබෙන්නේ අතලොස්සකට පමණි. ඒ අතර මේ අයෝමය පුරුෂකාය සුදිලෙන්නේ කාය ශක්තිය නිසා නොව දිවිය පරිපූර්ණ කළ සුශීල සුසුවඳ අදත් අප සිත් සතන් ප්‍රසන්න කරවන බැවිනි.

එදා එසේ පියා ඉදිරියේ තම කැමැත්ත ප්‍රකාශයට පත් කළ රූබෙල් දරුවා පාසල් ජීවිතයේ දෙකේ පන්තියෙන් උඩට නොයමින් තම සමනල ළමා වියෙන් සමුගැනීමට තීරණය කරයි. වර්තමානයට වඩා ඒ යුගයේ දෙමාපියන් තම දරුවන් සසුනට පූජා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ බව පෙනෙයි. ඔහු මෙන්ම ඒ ප්‍රදේශය තවත් කුඩා දරුවන් විසිහය දෙනෙකු පමණ මෙසේ මහණවීමට පෙළඹෙන්නේ ඒ නිසාම ය. ඒ අනුව 1906 ජනවාරි මාසේ 08 වෙනි දින මේ දරුවන් 27 දෙනා බුරුම ජාතික විනයාලංකාර ගුරු හාමුදුරුවන් යටතේ සසුන්ගත වෙති.

මේ දරු පිරිස මහණ වෙන්නට කලින් ‘සාමණේර බණ දහම් පොත’ ‘පාළි වර නැගිල්ල’ වැනි පොත් කීපයක් පාඩම් කිරීමට සිදුවන්නේ බටුවිට සුසීම හිමියන් සමීපයේ ය. දරු පිරිස අතර ළා බාල දරුවා වූයේ ඒ වනවිට අවුරුදු 09 වත් සපුරා නොතිබුණු රූබෙල් ය. ඔහු උසින් වැඩිම කොලු ගැටයා ය. නමුත් ශරීරය හුඟක් දුරුවල ය. මෙසේ වූ රූබෙල් ගුණවර්ධන නම් කුළ කුමරුවා සසුන්ගත වන්නේ රේරුකානේ චන්දවිමල නමිනි.

ලබන සතියේ

රුපියල් 10 ක් වූ නැව් ගාස්තුව ද නොගෙවා රේරුකානේ චන්දවිමල සාමනේර පොඩි නම බුරුමය බලා නැව් නගියි.


පසුගිය සතියෙන් - රේරුකානේ රූබෙල්...

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 08.15 ට ලබයි.
27 වැනිදා සිකුරාදා අපරභාග 10.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]