UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

 මියෙන්මාර් රාජ්‍යයෙන් ‘අග්ග මහා පණ්ඩිත’ උපාධිය පිරිනැමීම නිමිත්තෙන් උපහාර ලබන ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියාවේ සංඝ සම්මේලනයේ සභාපති ත්‍රිපිටක විශාරද, ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම ශිරෝමණී ආචාර්ය

වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

අද මේ බාධක කිසිවක් නැත. ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයක ඉතා පහසුවෙන් පන්සල් ඉදිකිරීමට හැකි වාතාවරණයක් දැන් සැකසී ඇත. මෑතක සිට දස දෙස ලාංකීය පන්සල් ඉදිවෙයි. මේ වෙනස ඇතිවූයේ ධර්ම විජය විහාරස්ථානය දියත් කළ ආගමික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙසය. එය අප දෙදෙනා ලද ජයග්‍රහණයකි. මෙම කාර්යයට පුරෝගාමී වූ ආචාර්ය වල්පොළ පියනන්ද නායක හාමුදුරුවන් වහන්සේට එහි ගෞරවය හිමිවිය යුතුය
 


උපහාර පිරිනැමීම හා ආශීර්වාද කිරීමේ පුණ්‍යෝත්සවය 2 වනදා පාමංකඩ ශ්‍රී මහා විහාරයේදී

ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියා සංඝ සම්මේලනයේ සභාපති, ත්‍රිපිටක විශාරද ධර්මකීර්ති ශ්‍රී, සද්ධර්ම ශිරෝමනී ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මියෙන්මාර් (බුරුම) රාජ්‍යයෙන් “අග්ග මහා පණ්ඩිත” ගෞරව උපාධිය පිරිනැමීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිරිනැමීම හා ආශීර්වාද කිරීමේ පුණ්‍යොත්සවය ඔක්තෝබර් 02 වන දා පස්වරු 4ට පාමංකඩ ශ්‍රී මහා විහාරයේදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන්ගේ ප්‍රමුඛ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩම කරවීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


මියන්මාර් රාජ්‍යය විසින් ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේ වෙත “ අග්ග මහා පණ්ඩිත” ගෞරව නාමය පිරිනමන ලද බව ඇසූ මොහොතේ මම මගේ හදවතින්ම ප්‍රීතියට පත් වූවෙමි. ඒ අප දෙදෙනා දෙදෙනෙකු නොව එක් අයෙකු යැයි මා සිතන බැවිනි. පියනන්ද හාමුදුරුවන් වහන්සේ ද එසේම සිතන බව මම හොඳින් දනිමි.

අපගේ මේ බැඳීම කුඩා අවධිය දක්වා දිවයන්නකි. මා අත්තනගල්ල රජමහා විහාරයෙන් සසුන්ගත වන විට පියනන්ද හාමුදුරුවෝ අත්තනගල්ල රජමහා විහාරයට සම්බන්ධ වූ බෝපාගම විහාරස්ථානයේදී සසුන් ගතව සිටියහ.

අප දෙදෙනාම මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා ඇත්තේ එකම පිරිවෙනකිනි. ඒ ඌරාපොල බෝපැත්තේ සිරි සඟබෝ පිරිවෙනින්ය. සරසවි වරම් ලැබුවේ කැලණියේ විද්‍යාලංකාර මහා පිරිවෙනෙනි. පළමු උපාධිය අප ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයෙනි. මෙම බැඳීම වඩාත් ශක්තිමත් වී අප දෙදෙනා එක් අයෙකු ලෙස ක්‍රියා කිරීමේ අවස්ථාව උදා වූයේ බලවත් දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණ දෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ බුදු දහම ස්ථාපිත කිරීමට ඉටු කළ මෙහෙවරේදී ය.

අද ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල ශ්‍රී ලාංකික පන්සල් රැසක් ඇත. එහෙත් පියනන්ද නාහිමියන් 1976 දී ඇමරිකාවට වැඩම කරන විට එහි තිබූ තත්ත්වය අදට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. මුළු ඇමරිකා මහද්වීපයටම තිබුණේ එකම ශ්‍රී ලාංකික පන්සලකි. බුදු දහම ඇමරිකාවේ ස්ථාපිත වීමට නම් බුදු දහම ඇමරිකන් සංස්කෘතිය හා බද්ධ විය යුතු බව හඳුනාගත් පියනන්ද නාහිමියෝ ඒ සඳහා ශ්‍රී ලංකා ථෙරවාදී පන්සලක් ආරම්භ කිරීමට තමා සමග එක්වන ලෙස මට ආරාධනා කර සිටියහ.

කහ සිවුරක් හෝ බුදු පිළිමයක් හෝ නුදුටු භෞතික සංවර්ධනයට ප්‍රමුඛතා දෙන ලෞකික සැප සම්පත් සොයා යන ජනතාවක් සිටින රටක අධ්‍යාත්මික සංවර්ධනය ඇති කරන පන්සලක් ඉදිකිරීමේ අභියෝගය භාරගත් අප දෙදෙනා ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළු ඇමරිකා මහාද්වීපයේ ශ්‍රී ලාංකික දෙවන පන්සල ආරම්භ කළෙමු.

ධර්ම විජය විහාරය

කුඩා කාමරයක බුදු මැදුරකින් ආරම්භ කළ වැඩපිළිවෙළ තුළින් ලොස් ඇන්ජලීස්හි ධර්ම විජය බෞද්ධ විහාරය බිහිකළේ අපගේ ජීවිත පවා පරදුවට තබමිනි. එය අද ලෝකයේ ප්‍රධාන බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයකි. මෙහිදී පියනන්ද හාමුදුරුවන් වහන්සේ සහ මා විඳි දුක්ගැහැට අපමණය. පන්සල ආරම්භ කිරීම සඳහා අප කුලියට ගත් නිවසට ඇතුළු වීමට නොහැකි පරිදි ගෙවත්තේ කොළ රොඩුවලින් වැසී ගොස් තිබුණි. නිවස දූවිලි වලින් පිරී තිබුණි.

අපට උදව්වට කිසිවකු සිටියේ නැත. අප දෙදෙනාගේ දෙ අත්වලින් ගොඩනැගිල්ල සහ ගෙවත්ත පිරිසුදු කළෙමු. පන්සලට අවශ්‍ය සියලු දේ ඔසවා ගෙන ගියේ අප දෙදෙනාමය. බොහෝ දිනවල කුසට අහරක් නැතිව අපට වැඩ කිරීමට සිදුවිය. දැඩි සීතලේ ගැහෙමින් සැතපුම් ගණන් ඇවිදිමින් පන්සලට අවශ්‍ය දේ සොයා ගතිමු. අප මෙසේ හැසිරෙන විට කහ සිවුරක් එතෙක් නොදැක සිටි සමහරු අපට උසුළු විසුළු කළහ. සමහරු අපගේ ජීවිතවලට පවා තර්ජනය කළහ. එහෙත් අපේ උත්සාහය අපි අත් නොහැරියෙමු.

අද මේ බාධක කිසිවක් නැත. ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයක ඉතා පහසුවෙන් පන්සල් ඉදිකිරීමට හැකි වාතාවරණයක් දැන් සැකසී ඇත. මෑතක සිට දස දෙස ලාංකීය පන්සල් ඉදිවෙයි. මේ වෙනස ඇතිවූයේ ධර්ම විජය විහාරස්ථානය දියත් කළ ආගමික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙසය. එය අප දෙදෙනා ලද ජයග්‍රහණයකි. මෙම කාර්යයට පුරෝගාමී වූ ආචාර්ය වල්පොළ පියනන්ද නායක හාමුදුරුවන් වහන්සේට එහි ගෞරවය හිමිවිය යුතුය.

සුවිශේෂී වැඩ සටහන්

ධර්ම විජය විහාරය මගින් ආගමික ක්‍රියාකාරකම් ඉටුකිරීමේදී එක් එක් කණ්ඩායම් සඳහා සුවිශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. විද්වතුන්, විශ්වවිද්‍යාල ප්‍රජාව, පාසල් සිසුන් මෙන්ම ප්‍රාදේශීය හා ජාතික මට්ටමේ දේශපාලන නායකත්වයන්, රාජ්‍ය නිලධාරීන් සඳහාත් අපගේ අධ්‍යාපනික ක්‍රියාකාරකම් යොමුවිය. අපේ පන්සලෙන් බුදු දහම උගත් උවැසි උවැසියන් පුහුණු කර ඔවුන්ගේ ප්‍රජාව සමග බුදු දහම පිළිබඳව සාකච්ඡා, දේශන පැවැත්වීම සඳහා යොමු කළෙමු.

උගත් බුද්ධිමත් පිරිස් සඳහා බුදුදහම ගැඹුරින් අධ්‍යයනය කළ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් දේශන, සාකච්ඡා, සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙහෙයවූ අතර මහා සංඝරත්නයේ දැනුම හා සන්නිවේදන කුසලතා සංවර්ධනය කිරීමේ වැඩසටහන් ද දියත් කළෙමු.

ආගමික සමගිය

මහායාන ආගමික සිද්ධස්ථාන සමග සමීප සබඳතා පැවැත්වීම හා එකට කටයුතු කිරීමට අවස්ථා නිර්මාණය කරගත් අතර අනිකුත් ආගමික නායකයන් සමග ආගමික හා පොදු කටයුතුවලදී කටයුතු කිරීමට හැකි අවස්ථා පාදා ගැනීම නිසා ආගමික සමගිය ඇතිවිය. මේ නිසා අපගේ ආගමික ක්‍රියාකාරකම්වලට ප්‍රති විරෝධතා මතු නොවීය.

සැමට එකසේ උපකාර

මෙම ආගමික සේවාවන්ට අමතරව ඇමරිකාවට පැමිණ අතරමං වූ සිය දහස් ගණනකට පියනන්ද නායක හාමුදුරුවන්ගෙන් ලැබුණු උපකාර අති මහත්ය. ආගම, ජනවර්ගය නොබලා සැමට එකසේ උපකාර කිරීම නායක හාමුදුරුවන්ගේ සිරිත විය.

එසේම ශ්‍රී ලංකාව ඇතුළු සියලු බෞද්ධ රටවල ප්‍රධාන බෞද්ධ ආගමික නායකත්වයන් සමග සමීප සබඳතා පැවැත්වීම නිසා ධර්ම විජය විහාරස්ථානයේ බෞද්ධාගමික කටයුතු වඩ වඩාත් ශක්තිමත් විය.

තමන් සතු උට්ඨාන වීර්යය, ඉවසීමේ ගුණය, අටලෝ දහමෙන් කම්පා නොවී සිටීමේ හැකියාව නිසා පියනන්ද නායක හාමුදුරුවන්ට ලෝකයට සේවය කිරීමේ ශක්තිය ලැබුණි. එම ශක්තිය තව තවත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරන අතර එම සේවාවන් අඛණ්ඩව කරගෙන යාම සඳහා තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවායි පතමි.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 08.15 ට ලබයි.
27 වැනිදා සිකුරාදා අපරභාග 10.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]