UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ අමාවක 2013 අගොස්තු 06 වන දා

දරු සෙනෙහස

රුවෙකු කුස පිළිසිඳ ගත් බව දැන ගත් දා පටන් තම ජීවිතය මෙන් ඒ දරු ගැබ සුරැකීම දයාබර මෑණියන්ගේ ප්‍රධාන අපේක්‍ෂාවයි. තම කුස හොත් දරුවා දස මසක් මව් කුස දරා සිට මෙ ලොවට බිහිවන තෙක් නො ඉවසිල්ලෙන් බලාපොරොත්තු තබා ගෙන සිටින මෑණියන් සිය දරු සම්පත වෙනුවෙන් නොවිඳිනා දුකක් නැත.

මව් සෙනෙහස තරම් දරුවාට වෙනත් උතුම් සෙනෙහසක් මෙ ලොව තවත් නැත. පිය සෙනෙහස ද එවන් මහ සෙනෙහසකි.

මව්, පිය දෙදෙනා තරම් තම දරුවන් වෙත අදරැති වෙනත් නම් කවර අයෙක් ද?, මව, පියා තම දරුවනට මහා බ්‍රහ්මයා මෙනි. “පුත්තා වත්ථු මනුස්සානං” මව්පියන්ගේ මා හැඟි වස්තුව වනුයේ ද තම දරුවන් ය.

මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව යන සිව් බඹ විහරණයෙන් ක්‍රියා කරන මව් පිය දෙපළ තම දරුවන් වෙනුවෙන් මුළු දිවිය ම කැප කරමින් කටයුතු කරන බව බෞද්ධ ජන සමාජය මැනවින් දන්නා කරුණකි.

මෙ ලොව වෙසෙන බොහෝ මව් පියවරු තම දරුවන් වෙනුවෙන් එවන් ආදර්ශවත් මෙහෙවරක් සිදු කරන හෙයින් ම එවන් මව් පියවරු අගය කළ යුතුව ඇත.

එහෙත් අවාසනාවකට මෙන් කලාතුරකින් හෝ ඇතැම් විට මව් පදවිය මෙන්ම පිය පදවියෙහි ද වටිනාකම මැනවින් තේරුම් නො ගත් අකාරුණික වුවන් උපන් කිරිකැටි බිලිඳා අතර මඟ අතරමං කර දමා යන අවස්ථා නැතුවා නොවේ.

කෙතරම් ගුණවත්, නැණවත්, කාරුණික මව් පියවරුන් අතර වුවද කලාතුරකින් හෝ තම දරු සම්පත ගැන නො සිතා කටයුතු කරන මව් පිය නාමයෙන් පෙනී සිටින එවැන්නන් සිදු කරන එවන් අනුවණකම් නිසා ම උතුම් මව් පිය පදවිය පවා ගැරහීමටද එවැනි අය ලක් කරනු ඇත.

කෙසේ වුවද අනන්ත අප්‍රමාණ අපේක්‍ෂාවන් තම හදවතෙහි පොදි බැඳ ගනිමින් දරුවන් හදන වඩන මව් පියවරු, දරුවන් වෙනුවෙන් ආදර්ශවත් මහඟු මෙහෙවරක් ඉටු කිරීම නැවැත නැවැත ද අගය කළ යුතු ය.

මිනිසත් භවයක් ලබා ගැනීම සම්බුදු දහමට අනුව දුලබ කරුණකි. දුලබ අවස්ථාවකි.

එවන් දුලභ මිනිසත් භවයක් ලබා ගත් තම දරුවකු මහ මඟ අතරමං කිරීම මව් පිය පදවියට කිසිසේත් ම නුසුදුසුය. නොගැළපේම ය. තම කිරි කැටි බිලිඳා හදා වඩා පෝෂණය කිරීමට යම් අපහසුවක් වෙතොත් අතරමං කිරීමෙන් වැළැකී එම දරුවා නීත්‍යානුකූලව හදාවඩා ඇති දැඩි කිරීමට ඉදිරිපත් වන භාරකාර කැපකරු මවක් වෙත හෝ පියෙකු වෙත හෝ ආයතනයකට හෝ බාරදීම සිය වගකීම බව අමතක නොකළ යුතු ය.

දරුවන් බිහි කළ විට ඒ දරුවන් හදා වඩා පෝෂණය කිරීම මව් පියවරු සතු වගකීම ය. මල් වැනි එවන් දරුවන් අකාලයේ මිලින වී යාමට කෙසේවත් ඉඩ හැරිය යුතු නොවේ.

කිසිවක් කරකියා ගත නොහැකි, කිසිවක් නො තේරෙන සුරතල් දරුවන් සිය නිවසේ දී තම දෑස මෙන් නිසි පරිදි ආරක්‍ෂා කර ගත යුතු බව මව් පියවරු කල්පනා කළ යුතු වේ. අනාරක්‍ෂිතවීම නිසා දරුවකුට යම් අකටයුත්තක් සිදුවීමෙන් පසු ඒ ගැන සිතීමෙන් පසුතැවිලිවීමට වඩා එවන් අකටයුත්තක් සිදු නොවීමට වග බලා ගැනීම නිරන්තරයෙන් ම කළ යුතු ය.

ඇතැම්විට මව් පිය සෙනෙහස නිසා ම ඇතැම් දරුවකුට ආදරය නිසියාකාරව ලබාදීමේ දී පවා ඒ ගැන අවධානය යොමු කළ යුතු වේ. වැඩි යහපත පතා එමගින් අයහපත දරුවාට ළඟා වන්නේ නම් ඒ පිළිබඳව කවදා හෝ තම දරුවා වෙනුවෙන් පසුතැවීමට සිදු වනුයේ ද මව්පිය දෙපළට ම වන බැවිනි.

දරුවාට නිසි වයසේ දී ම පමණක් අවශ්‍ය යමක් වෙතොත් එය ලබාදීමට පමණක් මව්පියවරු බුද්ධිමත් විය යුතු වේ.

අනෙකුත් දරුවන් අතර තම දරුවා පිළිගත් සමාජ මට්ටමක සිටින ආකාරය සමාජයට පසක් කිරීමට උත්සාහ කිරීමෙන් ද ඇතැම් විට දරුවන් යහමඟ නොව නොමඟ යාමට ඇති ඉඩ කඩ බොහෝ ය.

දරුවන් හදන වඩන මව්පියවරු තම දරුවන් පිළිබඳ නිතර නිතර විමසිල්ලෙන් ම පසුවිය යුතු ය.දරුවා ඇසුරු කරන සමාජය දෙස විපරමින් පසු විය යුතු ය. කුඩා කාලයේ පටන් දරුවා පිළිබඳ වැඩි අවධානයෙන් පසුවන විට කලාතුරකින් හෝ නොමඟට පත්විය හැකි දරුවා ඉන් ඈත් කර ගැනීම ඊට පහසුවක් වේ.

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 06 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 01.33 ට ලබයි.
07 වැනිදා බදාදා පූර්වභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා බදාදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]