UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ චරිතයෙන් මූර්තිමත් වන මහා ප්‍රඥාව හා ඉගැන්වීමේ සිද්ධාන්ත

බුද්ධ චරිතයෙන් මූර්තිමත් වන මහා ප්‍රඥාව හා ඉගැන්වීමේ සිද්ධාන්ත

ඇස, කන, නාසාදී සදොරින් ලැබෙන අරමුණු හඳුනා ගැනීමේ ශක්තිය සඤ්ඤා නම් වේ. ඊට වඩා හොඳින් දැනගැනීම “විඤ්ඤාණ” ලෙස ද, ඉතා පැහැදිලි ලෙස සර්වප්‍රකාරයෙන් දැනගැනීම “ප්‍රඥා” ලෙස හඳුන්වයි.

මිහිපිට උපන් ශාස්තෘවරුන් අතර බුදුරජාණන් වහන්සේගේ තරම් විශිෂ්ට ප්‍රඥාවකින් හෙබි ශාස්තෘවරයෙක් තවත් නොමැත. උන්වහන්සේට වඳින ‘ඉතිපිසො ....’ ගාථාවෙහි සඳහන් ගුණ අතර විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් ඒ බව මනාව ප්‍රකට වේ. ‘විජ්ජාචරණ’ යන්නෙන් මෙහිදී අදහස් කරන්නේ ත්‍රිවිද්‍යා හා අෂ්ට විද්‍යා විද්‍යා නාමයෙන් හඳුන්වයි. විදර්ශනා ඤාණය, මනෝමය සෘද්ධි ඤාණය, සෘද්ධි විධි, දිබ්බසෝත, පරචිත්ත විජානන, පුබ්බේ නිවාසානුස්සති ඤාණය, දිබ්බ චක්ඛු ඤාණය, ආසවක්‍ය ඤාණය යනුවෙනි. එසේම ශීල සංවරය, ඉන්ද්‍රිය සංවරය භෝජනයෙහි පමණ දන්නා බව යනාදී වශයෙන් සඳහන් පසළොස්චරණ ධර්මයෙන් සම්පන්න වන සේක. මේ විජ්ජාචරණ ධර්ම අතරින් විද්‍යා සම්පන්න බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ගුණයද, මහා කාරුණිකත්වයද ප්‍රකාශ වන බැවින් උන්වහන්සේට විජ්ජාචරණ සම්පන්න යනුවෙන් ව්‍යවහාර කරනු ලබයි. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්තයෙක් මෙන්ම කරුණා ගුණයෙන් යුක්ත වූ උත්තමයෙකි. උන්වහන්සේ තුළ පිහිටි මේ අත්‍යුත්තම ගුණාංග දෙපක්‍ෂය අතුරෙන් ප්‍රඥාබල මහිමය නිසා,

01. සසර දුකෙහි කළ කිරීමද
02. අනුන්ගේ දුක් දැනීමද
03. තමා සසරින් එතෙර වීමද
04. සර්වාකාරයෙන් සර්ව ධර්මයන්ගෙන් යුක්තවීම ද යන කරුණු සුවිශේෂී කරුණු ලෙස දැකිය හැකි ය.

ලොව වැඩ සිටි ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වූ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රම බුදු දහම ඉගැන්වීම සඳහා ඉතාම සුදුසු ක්‍රම ලෙස පිළිගත හැකිය. උන්වහන්සේ භාවිතා කළ සමහර ඉගැන්වීම් ක්‍රම භාවිත කිරීමට තරම් ශක්තිය හා කුසලතා අපට ලැබී නැතත් එකී ක්‍රම අධ්‍යයනයෙන් අපට ආදර්ශ ලබා ගත හැකි ය. එබැවින් උන්වහන්සේගේ ඉගැන්වීම් ක්‍රම කීපයක් නූතන ඉගැන්වීම් ක්‍රම හා සැසඳීමට ද හැකිය.

විෂයය කරුණු සිද්ධාන්ත හෝ මූලධර්ම වචනයෙන් ඉදිරිපත් නොකොට ශිෂ්‍යයා විසින්ම මතු කර ගැනීමට සැලැස්වීම අනාවරණ ක්‍රමයයි. මෙහිදී ගුරුවරයා විසින් කළයුතුව ඇත්තේ සුදුසු පරිසරයක් සකස් කිරීම හෝ අවශ්‍ය පෙළඹවීමක් ඉදිරිපත් කිරීමය. බුදුරජාණන් වහන්සේ ද බොහෝ අවස්ථාවල මෙම ඉගැන්වීම් ක්‍රමය භාවිතා කොට තිබේ. මරණය බාල මහලු කාටත් එක සේ පැමිණෙන බව කිසාගෝතමියට අවබෝධ කරවීම සඳහා බුදුරජාණන් වහන්සේ යොදා ගත්තේ මෙම ඉගැන්වීම් ක්‍රමයයි. තම දරුවාට දිවි ලබාදීමට බෙහෙතක් සොයා ආ කිසාගෝතමියට ඇගේ ඒ උත්සාහය අනුවණ ක්‍රියාවක් බව පැවසීමට බුදුරජාණන් වහන්සේ යුහුසුළු වූයේ නැත. ඇයට අවශ්‍ය වූයේ තම දරුවා සුවපත් කිරීමට බෙහෙතකි. බෙහෙතක් සාදා දීමට මේ වෛද්‍යවරයා භාරගැනීම ඇගේ අරමුණු ඉටු වන බවට සාධකයක් සේ ඇය සිතීය. මෙම වෛද්‍යවරයා බෙහෙත සෑදීමට අවශ්‍ය වන ඖෂධයක් වන අබ ටිකක් කිසිවෙකු නොමළ ගෙයකින් ගෙනත් දෙන්නැයි කීය.

මළ පුතු කරෙහි හොවාත් ඇය නිවසකට ගොස් අබ ටිකක් ඉල්ලුවාය. අබ ලැබිණ. කිසිවෙකු නොමළ ගෙයක් සොයා ගැනීමට අපහසු විය. කිසාගෝතමියට කාරණය අවබෝධ විය. බාල, මහලු කාටත් මරණය සාධාරණ බව ඇයට අනාවරණය විය. මළ පුතු සොහොනට දැමූ කිසාගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තමන්ට බෙහෙත් අනවශ්‍ය බව පැවසුවා ය. ඇයට පිහිට වන ලෙස ඉල්ලා සිටියාය. බව දුකට වෙදාණන් වූ බුදුරජාණන් වහන්සේ ඇයට සසර දුක් නැති කරන මඟ කියා දුන්හ.

ක්‍රියාවෙන් අවබෝධය සැලැස්වීම හෙවත් ක්‍රියාකාරකම් මඟින් සංකල්ප සාධනයට මඟ සැලසීමද බුදුරජාණන් වහන්සේ භාවිත කළ තවත් ක්‍රමයකි. චුල්ල පන්ථක තෙරුන්ට රහත් ඵලය ලබාදුන්නේ ක්‍රියාකාරකමක පිහිටුවීමෙනි. බුදුරජාණන් වහන්සේ චුල්ල පන්ථක තෙරුන්ට සුදු රෙදි කැබැල්ලක් දී ‘රජෝහරණං, රජෝහරණං....’ යනුවෙන් කියමින් එම රෙදි කැබැල්ල පිරිමදින්නට සැළැස්වූහ. මෙම ක්‍රියාකාරකමෙහි යෙදුණු උන්වහන්සේට අනිත්‍ය සංකල්පය අවබෝධ විය. ඒ අනුව විදසුන් වැඩූ චුල්ල පන්ථක හාමුදුරුවෝ රහත් බව ලැබූහ. මාස තුනක් මහන්සි වී එක ගාථාවක් කට පාඩම් කර ගැනීමට අසමත් වූ මේ ශිෂ්‍යයා බුදුරජාණන් වහන්සේ දුන් ක්‍රියාකාරකමෙහි යෙදී පැය කීපයකදී රහත් බව පසක් කර ගැනීමට සමත් විය.

කෙටි කාලයක් තුළ ශිෂ්‍යයන් කීප දෙනෙකුන් තෝරා යම්කිසි කුසලතාවක් පුහුණු කිරීම හෝ දැනුමක් ලබාදීම සූක්‍ෂම ඉගැන්වීම් ලෙස හැඳින්වේ. බොහෝ විට මෙය ප්‍රතිකාර්ය ඉගැන්වීමක් වේ. පස්වග තවුසන්ගෙන් කොණ්ඩඤ්ඤ තවුසා හැර ඉතිරි සතර දෙනාට සෝවාන් ඵලය ලබාදීමට බුදුරජාණන් වහන්සේ භාවිතා කරන ලද්දේ මෙම සූක්‍ෂම ඉගැන්වීම වැනි කුඩා කණ්ඩායම් ඉගැන්වීම් ක්‍රමයකි. පළමු දවසේ දීම දම්සක් පැවතුම් සූත්‍රය අසා කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් විය. පසුදින සිට බුදුරජාණන් වහන්සේ ඉතිරි අයට එම ධර්මය පසක් කරවීමට යොදාගත් ක්‍රමය නම් සදෙනා වෙනුවෙන් තිදෙනෙකු පිඬු පිණිස යවා දෙදෙනෙකු නවතාගෙන ඉගැන්වීමය. ඊළඟ දිනයේ දී තවත් තිදෙනෙකු පිඬු පිණිස යවා දෙදෙනෙකුට ඉගැන්වූහ. මේ අයුරින් දින කීපයකදී පස්වග තවුසෝ සමාන මට්ටමකට (සෝවාන් ඵලය) ඉගෙනුම ලැබූහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනාටම නැවත අනන්ත ලක්ඛණ සූත්‍රය දේශනා කළහ. ඒ අසා පස් දෙනාම රහත් ඵල ලැබූහ.

එක් පාඩම් කාලයකදී ගුරුවරුන් කීප දෙනෙකු එකතු වී පාඩමක් ඉගැන්වීම හවුල් ඉගැන්වීමයි. පාඩමේ ඒ, ඒ කොටසේ විශේෂඥ ගුරුවරුන් ලවා ඉගැන්වීම මෙහිදී බොහෝ විට සිදු වේ. බුදුරජාණන් වහන්සේත්, ආනන්ද හාමුදුරුවනුත් එකතු වී හවුල් ඉගැන්වීමක් කළ අවස්ථාවක් මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වේ. රූපවාහිනි මාධ්‍ය මඟින් අපට අසන්නට දකින්නට ලැබෙන බුද්ධි මණ්ඩල සාකච්ඡාද බොහෝ දුරට හවුල් ඉගැන්වීමකට සමාන යැයි කිව හැකි ය.

අනුපුබ්බේත මේධා වී - ථොක, ථොකං ඛණේ ඛණේ
කම්මාරෝ රජතස්සේව - නිද්ධමේ බලමත්තනෝ

රන් රිදී වැඩකරුවෙක් අනුපිළිවෙලින්, ටිකින් ටික රිදීයෙහි මල දුරු කරයිද එසේම නුවණැත්තාද සිතෙහි ඇති කෙලෙස් මල අනුපිළිවෙලින් ටිකින් ටික, ක්‍ෂණයෙන් ක්‍ෂණය කරන්නේ ය. යනු ඉහත සඳහන් ගාථාවේ මූලික අදහස වේ. තවද පාඩමක විෂය කරුණු සකස් කර ගත යුත්තේ කෙසේදැයි මඟ පෙන්වීමක් මෙයින් ලැබේ.

වර්තමානයේ දී ප්‍රචලිතව භාවිතා වන දේශනා ක්‍රමය බුදුරජාණන් වහන්සේගේද ඉගැන්වීම් ක්‍රමයකි. උන්වහන්සේ ඉගැන්වූ පාඩම් රාශියක්ම දේශන වශයෙන් අපට සූත්‍ර පිටකයෙන් හඳුනාගත හැකිය. මෙහිදී වැඩි වශයෙන්ම භාවිත වූයේ ගුරුවරයා විසින්ම පැහැදිලි කර දෙමින් කරුණු කියාදීමේ ක්‍රමයයි. බුදුරජාණන් වහන්සේගේ මෙම දේශන ක්‍රමයේ වුවද ප්‍රභේද රාශියක් දැකිය හැකිය. අනුපුබ්බේන දේශනා ක්‍රමය හා සාමුක්කංසික දේශනා ක්‍රමය ඒවායේ ප්‍රභේද දෙකකි.

ආනුපුබ්බීය දේශන ක්‍රමය – (අනුපිළිවෙල කථා අනුව)

සිත් ගන්නා ඉතා සරළ දෙයකින් ආරම්භ කර ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු දහම් කරුණු ඉදිරිපත් කිරීම මෙහි විශේෂ ලක්‍ෂණයයි. බුදුරජාණන් වහන්සේ මෙම ක්‍රමය වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ නුවණ මුහුකුරා නොගිය වචන සඳහාය. බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවක්ම වැඩි වශයෙන් කෙළවර වන්නේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශයෙනි. මෙය තේරුම් ගැනීම සඳහා මනස සකස් වන්නේ පිළිවෙල කථාවෙනි. නූතන අධ්‍යාපනඥයන් විසින් අගය කරනු ලබන ඉගැන්වීමේ සිද්ධාන්ත හෙවත් න්‍යායයන් කීපයක්ම එනම් දන්නා දෙයින් ආරම්භ කිරීම සරල දෙයින් සංකීර්ණ දෙයට යාම, සංයුක්ත සංකල්පයෙන් වියුක්ත සංකල්පයට යෑම සරල පියවර මඟින් ඉදිරිපත් කිරීම පියවර අනුපිළිවෙලින් ඉදිරිපත් කිරීම ආදිය මේ ආනුපුබ්බී කථා දේශන ක්‍රමය අන්තර්ගත වේ. පාඩමක ආරම්භය කෙබඳු විය යුතුද, විෂය කරුණු ගොනුකර ගත යුත්තේ කෙසේද යන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට මඟ පෙන්වීමක් මෙම ආනුපුබ්බී කතා ක්‍රමයෙන් ලබාගත හැකි වෙයි.

බුද්ධිය මුහුකුරා ගිය අය සඳහා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය සම්මිශි‍්‍රත සාමුක්කංසික දේශනාව බොහෝ විට උපයෝගී කරගත් බවට සාක්‍ෂි තිබේ. මෙහිදී කෙලින්ම ප්‍රස්තුත මාතෘකාවට බසිති. බුදුරජාණන් වහන්සේගේ මුල්ම පාඩම වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මීට හොඳ උදාහරණයකි. පස්වග තවුසෝ ගිහි ගෙයින් නික්ම සත්‍ය සොයා ගොස් තවුස් දම් රැකීමෙන් මුහුකුරා ගිය බුද්ධියක් ඇති පිරිසක් වූහ. එබඳු පිරිසකට දානකථා ආදී අනුපිළිවෙල කතාව අවශ්‍ය නොවෙයි. උන් වහන්සේ දේශනය ආරම්භ කළේ මෙසේ ය.

“මහණෙනි, පැවිද්දහු විසින් නොසෙවිය යුතු අන්ත දෙකකි.”

ඒ අන්ත දෙක කවරේද?

හීන, ග්‍රාම්‍ය, පුහුදුන් ජනයාගේ පුරුද්දක් වූ, අනාර්ය වූ අවැඩදායක වූ කාම සුඛල්ලිකානුයෝගය එක් අන්තයකි. දුක් උපදවති, අනාර්ය, අවැඩදායක, අත්තකිලමථානුයෝගය අනෙක් අන්තයයි.

“මහණෙනි, මා ඒ අන්ත දෙකම අත් හැරියා..... ඒ අන්ත දෙකම අත්හැර නුවණැස පිරිසුදු කරන ඤාණය පහළ කරන, කෙලෙස් දුරුකරනු පිණිස වූ සත්‍යාවබෝධය පිණිස වූ මධ්‍යම ප්‍රතිපදාව තථාගත වූ මා විසින් ප්‍රත්‍යක්‍ෂ කරගත්තා.....”

බුදුරජාණන් වහන්සේ ලොවට අනාවරණය කළ චතුරාර්ය සත්‍ය පිළිබඳ මෙම දේශනාව වුවද උන්වහන්සේ විසින් ආරම්භ කර ඇති ආකාරය විමසා බැලීම වටී. උන්වහන්සේ පළමුවෙන්ම ප්‍රකාශ කරන්නේ පැවිද්දන් විසින් අනුගමනය කරනු ලබන අන්ත දෙකක් පිළිබඳවය. පස්වග තවුසෝ මේ අන්ත දෙකෙහිම පිළිබඳව අත්දැකීම් ආශ්‍රයෙන්ම බුදුරජාණන් වහන්සේ ස්වකීය දේශන ක්‍රම ආරම්භ කළ වගයි.

බුදුරජාණන් වහන්සේ නිතර, නිතර “මහණෙනි, යනුවෙන් ශ්‍රාවකයන්ට ඇමතීමෙනුත්, ස්වකීය අත්දැකීම් ප්‍රකාශ කිරීමෙනුත් ශිෂ්‍ය අවධානය හා ඇල්ම මැනවින් තබාගත් බව දේශනා තුළින්ම පැහැදිලි වේ.

අටුවාචාරීහු බුදුරජාණන් වහන්සේගේ දේශනා කොටස් හතරකට බෙදා දක්වති. ඒ දේශනා කිරීමේ හේතුව පරීක්‍ෂා කිරීමෙනි.

01. තමන් වහන්සේගේ අදහසට අනුව දහම් දෙසීම / අන්තර්ඣාසය

02. අන්‍යයන්ගේ අදහස් විමසා බලා ඒවාට අනුකූලව දහම් දෙසීම / පරඣාසය

03. අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දහම් දෙසීම / පුච්ඡාවසික

04. සව්වන් අතර මතු වූ අර්බුදයක් මුල් කරගෙන එහි අරුත පදනම් ;කාට දහම් දෙසීම (පච්චුපට්ඨිත)

කථාන්තර ක්‍රමය

බුදුරජාණන් වහන්සේ විසින් භාවිතා කරන ලද තවත් ජනපි‍්‍රය ඉගැන්වීම් ක්‍රමයක් නම් කථාන්තර ක්‍රමයයි. ජාතක කතා නමින් හැඳින්වෙන්නේ උන්වහන්සේ ඉගැන්වීමේ කාර්යය සඳහා භාවිතා කළ කථාන්තරයයි.

උන්වහන්සේ ජාතක කතාවක් ඉදිරිපත් කිරීමෙන් අරමුණු කීපයක් ඉටුකරගත් බව පෙනේ. බොහෝ අවස්ථාවලදී ජාතක කතාවක් ඉදිරිපත් කර ඇත්තේ යම්කිසිවකුත් වර්තමාන හැසිරීම ඒ තැනැත්තාගේ පූර්ව ආත්මභාවයකින් තිබූ බව පෙන්වීමටය. මේ මඟින් පුනර්භවය (අතීතභවය) කර්ම විපාක ආදී සංකල්ප තහවුරු කළ බව පෙනේ. ඒ හැරෙන්නට යම්කිසි ඉගැන්වීමක් ශ්‍රාවකයන් තුළ මනා ලෙස කාවැදීමට ජාතක කතාව උදව් කොට ගත් වගද පෙනේ. ජාතක කතා කීපයක් විමසීමෙන් මේ බව පැහැදිලියි. ‘ප්‍රාණ ඝාතයෙන් වැළකීම දීර්ඝායුෂ ලැබීමට හේතු වෙයි’ යන සංකල්පය තහවුරු කරන්නේ රසවත් කථාන්තරයක් මඟිනි. ඒ මහා ධර්මපාල ජාතකයයි. ඉවත දමන සුළු දෙයකින් වූවත් උත්සාහවන්තයෙකුට ධනවතෙකු විය හැකිය යන්න ඉගැන්වීම් සඳහා මීයෙකුගේ මළ කුණක් විකිණීමෙන් සිටුවරයෙකු වී සිටි පුවතක් චුල්ල සෙට්ඨි ජාතකය ඉදිරිපත් කරයි.

මේ හැරෙන්නට විවිධ සංකල්ප පැහැදිලි කිරීම සඳහා ද බුදුරජාණන් වහන්සේ විසින් ජනප්‍රවාද කතා ඉදිරිපත් කර ඇති අයුරු නොයෙක් සූත්‍ර දේශනාවලින් පැහැදිලි වෙයි. සත්වයාගේ, සමාජයේ හා රාජ්‍යයේ ප්‍රභවය ආදිය දැක්වීමට අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝකෝත්පත්ති කතාව ද, චක්‍රවර්තී රාජ්‍ය සංකල්පය දැක්වීම සඳහා මහා සීහනාද සූත්‍රයෙන් ඉදිරිපත් කර ඇති දළ්හේමි සක්විති රජුගේ කතාවද මෙබඳු කතාවලට උදාහරණයයි.

කතාන්තර ඇසීමට බාල, මහලු කවුරුත් එදත්, අදත්, කවදත් අභිරුචියක් දක්වයි. එබැවින් මෙමඟින් සාර ධර්ම මෙන්ම වෙනත් ගැඹුරු සංකල්ප ද මූර්තිමත් කර දැක්විය හැකි බව දත් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීමේ කාර්යය සඳහා කතාන්තර ක්‍රමය ද බහුලව භාවිත කළ සේක. ප්‍රශ්න කිරීම ඉගැන්වීමේ වැදගත්ම උපකරණයක් ලෙස නූතන අධ්‍යාපඥයෝ සළකති. ප්‍රශ්නවලට පිළිතුරු දීමටත් වඩා වැදගත් වන්නේ අර්ථවත් කාර්යක්‍ෂම ශිල්ප ක්‍රමයක් කරගත් බවට සාක්‍ෂි තිබේ.

පිරිනිවන් මංචකයේ දී පවා ගැටළු ඇතොත් ප්‍රශ්න කරන ලෙස උන්වහන්සේ ස්වකීය ශිෂ්‍යයන්ට දන්වා සිටි සේක. තමන්ට ප්‍රශ්නය ඇසිය නොහැකි නම් අසළ සිටින හිතවතෙකු ලවා ප්‍රශ්නය නංවන ලෙස උන්වහන්සේ තව දුරටත් දන්වා සිටි සේක. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගෙන් අසන ප්‍රශ්න වර්ග හතරකට බෙදා පිළිතුරු සැපයූ සේක.

ඒකාංශ ව්‍යාකරණය - කෙළින් පිළිතුරු සැපයීම.
විභජ්ජ ව්‍යාකරණය – විශ්ලේෂණය කොට පිළිතුරු සැපයීම.
පටිපුච්ඡා ව්‍යාකරණය – ප්‍රශ්නයකින් ගැටලුවකට පිළිතුරු සැපයීම.
ඨපනීය ව්‍යාකරණය – විවරණය නොකර සිටීම.

සංවාද ක්‍රම ද යොදා ගත් බව ත්‍රිපිටකයේ දක්නට ලැබේ. මජ්ඣිම නිකායේ උපාලි සූත්‍රයෙන් දිඝ නිකායේ අම්බට්ඨ සූත්‍රයෙන් නිදර්ශන ලෙස දැක්විය හැකිය. මෙම විවාද දක්නට ලැබෙන්නේ ගුරුවරයන් ශිෂ්‍යයන් අතර ඇති වූ විවාද ලෙසිනි. මේවායේ සාකච්ඡා ලක්‍ෂණ ද බහුලව දක්නට ලැබෙන අතර ගුරුවරයාත් ශිෂ්‍යයාත් දෙපිළකට බෙදී කරුණු ඉදිරිපත් කළ ස්වභාවය පැහැදිලිව දක්නට ලැබේ.

මහ ප්‍රඥාවෙන් යුක්තව වූ උතුම් වූ ශාස්තෲවරයෙකු වශයෙන් බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසකගේ නිදහස් අදහස් විමසීමට මෙන්ම ජනමතයට කන්දීමෙන් බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළින් අපට දැකිය හැකි තවත් සුවිශේෂී ලක්‍ෂණයකි. විනය ග්‍රන්ථවලින් මේ සඳහා කොතෙකුත් නිදසුන් දැක්විය හැකිය. වස්සාන කාලයේ භික්‍ෂූන් වහන්සේලා චාරිකාවෙහි වඩින විට මිනිසුන් කළ උද්ඝෝෂණයක් පිළිබඳ මහා වංශයෙහි දැක්වේ. මේ උද්ඝෝෂණයට කන්දුන් බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තුං...” යනුවෙන් මහණෙනි, වැසි කාලයෙහි වස් ඉටා සිටින්නට අනු දනිමි යැයි වදාළ සේක. විහාර ගම්වල හැසිරිය යුතු ආකාරය භික්‍ෂූන් වහන්සේලාට වදාළ ශික්‍ෂා පද, පැවිදි කිරීමේ දී මව්පියන්ගේ අවසරය ලැබිය යුතුය යන ශික්‍ෂා පනවන ලද්දේ නිදහස් අදහස් විමසීමට කන්දීමක් වශයෙනි. මෙකී නිදහස් ශාස්තෲවරයෙකු වශයෙන් ප්‍රඥාව ඉස්මතු වූ ආකාරයට හොඳම සාධකයෝ ය.

යථෝක්ත කරුණු සළකා බලන කල්හි බුදුරජාණන් වහන්සේ තුළ පැවති මහා ප්‍රඥාව හා සමාන ප්‍රඥාවක් ඉගැන්වීම් සිද්ධාන්ත උසස් මට්ටමින් ලොවට හෙළි කළ වෙනත් ශාස්තෲවරයෙකු නැතැයි නිගමනය කළ හැකිය. උන්වහන්සේගේ එම ප්‍රඥාවත්, කාරුණික බවත් ඉගැන්වීම් සිද්ධාන්තයත් උපයෝගී කරගෙන පන්සාළිස් වසරක් මුළුල්ලෙහිම ලෝකයාගේ උභය සංසිද්ධිය සඳහා මාර්ග පෙන්වා දුන් අතර, මාර්ගාවබෝධය ලබා ගැනීමට අවස්ථාව සළසන ලදී.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]