UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අමාවක 2013 ජූනි 08 වන දා

අටපිරිකර

අට මහ කුසල් අතර දැක්වෙන මහ පින්කමකි අටපිරිකර පූජාව. සැදැහැවත් බෞද්ධ ජනතාව ආගමික වශයෙන් සිදු කරන බොහෝ පින්කම්වලදී අටපිරිකර පූජාව ද සිදු කරන්නේ අටපිරිකර පූජාවෙන් ලැබෙන ආනිශංස සිහිපත් කර ගනිමිනි.

අටපිරිකර පූජාව සිදුකිරීම නිසා සසර මහත් පුණ්‍ය සම්පත් ලැබෙන අතර සසර කතරෙන් එතෙර වන මොහොතේ දී පවා එහි ආනිශංස බලයෙන් බුදුපියාණන් වහන්සේ නමක් හමුවෙහිදී ඒහි භික්‍ෂු මහණ උපසම්පදාව හිමිවන බව ප්‍රකට කරුණකි.

ගිහි ජීවිතය ගත කරන අයකුගේ ඇඳුම් පැළදුම් දිනෙන් දින වෙනස් වෙමින් නව විලාසිතා සඳහා යොමු වේ.

එහෙත් භික්‍ෂූන් වහන්සේ පොරවන චීවරය වසර 2557 ක් ගතවුණද එහි කිසිඳු වෙනසක් නොවන්නකි.

ඒ අනුව බලන විට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ චීවරය ඓතිහාසිකය.

අටපිරිකර පූජාව සිදු කිරීමේ දී එය පූජා කරන ගිහි පින්වතුන් කැමැති නම් ඒ වේලාවෙහිදීම වුවද එහි ආනිශංස ලැබිය හැකි වේ.

එනම් ගිහියකු පැවිද්දෙක් බවට පත්කරන උපකරණ සහ චීවර ඇතුළත් වනුයේ අටපිරිකර තුළ බැවිනි.

(තුන්සිවුරු) තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, පාත්‍රය, දැලිපිහිය,ඉදිකටුව, පටිය, සහ පෙරහන ඇතුළත් අටපිරිකර සැදැහවත් බෞද්ධ ජනතාව ජීවිතයේ එක් අවස්ථාවකදි වත් පූජා කිරීමට දක්වෙනුයේ දැඩි කැමැත්තකි.

අටපිරිකර පූජාවෙන් ලැබෙන ආනිශංස පිළිබඳ බෞද්ධ ජනතාව දැනුම්වත්ව සිටින හෙයින් ම අටපිරිකර එකක්, දෙකක් නොව අටපිරිකර කිහිපයක් පූජා කර ඇති සැදැහැවතුන් අපමණ ය. වෙසෙසින් ම සපිරිකර සංඝගත දක්‍ෂිණාවකදී මෙන් ම ඓතිහාසික පූජනීය වන්දනීය ස්ථානවලදීද අටපිරිකර පූජා කිරීම මෙරට බෞද්ධ ජනතාවගේ උසස් චාරිත්‍රයක් බවට පත්ව ඇත. එය මෙරට බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව කියාපාන මහඟු අවස්ථාවක් ලෙසද දැක්විය හැකි ය.

එසේ මහත් ශ්‍රද්ධාවෙන්,ගෞරවයෙන්, බෞද්ධ ජනතාව අටපිරිකර පූජා කළද, වෙළෙඳ සැලෙහිදී එම අටපිරිකර තුළ දැක්වෙන ප්‍රමිතිය පිළිබඳ විමසා බැලීමට දැනුමක්, අවබෝධයක් ඇත්තේ ඉතා සුළු පිරිසකට බව නම් නොරහසකි.

“අටපිරිකර” ප්‍රමිතිය පිළිබඳ සාමාන්‍ය ජනතාව දැනුම්වත්ව නොසිටින නිසා ඇතැම් වෙළෙඳ සැල්හි පවතින අධික මිල ගණන් ගෙවා වුවද ඒවා ලබාගෙන පූජා කිරීමට පෙළඹී ඇත.

අටපිරිකර පූජා කළ ද එහි ප්‍රමිතිය පිළිබඳ දැන නොසිටීම නිසා ඇතැම් විට අධික මිල ගණන් ගෙවා ලබා ගත් අටපිරිකරක් වුවද ඇතැම් විට මහසඟරුවනට පරිහරණයට සුදුසු නොවිය හැකිය.

වගකීමක් සහිත නිසි ප්‍රමිතියෙන් යුක්ත අටපිරිකර මුදලට ලබාදෙන ආයතන පැසසුමට ලක්වන අතර ප්‍රමිතියෙන් තොර අටපිරිකර ලබා දෙන ආයතන තම වගකීම නිසි ලෙස ඉටු කිරීමට පියවර ගත යුතු වේ.නිසි ප්‍රමිතියෙන් තොරව අටපිරිකර වෙළඳ පොළෙහි අලෙවිය සඳහා පවතින බව මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්‍ඛිත මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී‍්‍ර දළදා මාලිගාවේදී පෙන්වාදීමෙන් පසු ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසද ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට ඒ මොහොතේ දී ම උපදෙස් දී තිබේ.

දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී‍්‍ර දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ ප්‍රමිතියෙන් තොර අටපිරිකර කොටස් මහ නා හිමියන් විසින් ජනාධිපතිතුමන් වෙත පෙන්වා ඒ පිළිබඳ සොයා බලා කුට වෙළෙඳුන්ට එරෙහිව පියවරක් ගන්නා ලෙස ජනාධිපතුමාගෙන් ඉල්ලා සිටි බව වාර්තාවේ.

බෞද්ධ ජනතාව මහත් ගෞරවයෙන් හා ශ්‍රද්ධාවෙන් අටපිරිකර පූජා කරන හෙයින්, අටපිරිකර තුළ පැවැතිය යුතු නිසි ප්‍රමිතියට අනුවම අටපිරිකර නිකුත් කිරීම අටපිරිකර පවත්නා වෙළෙඳ සැල් හිමියන් සතු සුවිශේෂ වූ වගකීමක් විය යුතුය.

එබැවින් බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාවට අගෞරවයක් නොවන අයුරින් එවන් පූජාවන් සඳහා අටපිරිකර පූජා කරන හැම දෙනාගේම ප්‍රසාදයට පත්වන අයුරින් නිසි ප්‍රමිතියෙන් යුක්ත අටපිරිකර බෞද්ධ ජනතාව වෙත ලබාදීමට ක්‍රියාකිරීම කාලෝචිත ක්‍රියාවක් වේ.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]