UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිනිසත්කම ලොවට පසක් කළ සම්බුදු පියාණෝ

මිනිසත්කම ලොවට පසක් කළ සම්බුදු පියාණෝ

බ්‍රාහ්මණ සමාජය විසින් පාලක පන්තියේ සිට සාමාන්‍ය ජනයා දක්වා මිනිසාගේ නිදහස අහුරාලමින් සිය කුලයේ උසස්බව රැක ගැනීම අරභයා ඇතිකොට තිබූ පීඩනය ඉවත් කරලීම පිණිස දේශනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද මානුෂිකත්වයේ ඇති ශ්‍රේෂ්ඨත්වය ලොවට වටහා දීමට එදා ඉදිරිපත් වූ ඉන්දීය ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ වූයේ බුදුරජාණන් වහන්සේය

මානුෂිකත්වයේ වැදගත්කම ලොවට පසක් කරලීමට කටයුතු කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ ලෝකයාට මහගු දිනයක් වන අතර සමස්ත මානව වර්ගයාටම සෙත ශාන්තිය උදා වූ දිනයක් ලෙසින් සැලකීම නිවැරැදිය. දඹදිව කිඹුල්වත්පුර ලුම්බිණි සාල වනයේ දී මහාමායා දේවියගේ කුසින් වෙසක් දිනයක උපත ලද සිද්ධාර්ථ කුමාරයාණන් විසිනම වසරක් ගිහිගෙහි වැඩ අනියත බව පසක් කරමින් අභිනිෂ්ක්‍රමණය කොට සියවසක් උරුවෙල් දනව්වේ දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසු ගයා ශීර්ෂයේ ඇසතු රුක් පාමුල සියලු කෙලෙසුන් නසා අනුත්තර සම්මා සම්බුද්ධත්වයෙන් සැනසුම ලැබුවේ වෙසක් දිනක ය.

සසර ගමන බිඳල කෙලෙස් සතුරන් නසා භව සැනසුම ලබා ලොව සැමදෙනගේ සිත සුව පිණිස සදහම් බෙදමින් තමා ලත් ශාන්තිය සැමට උදාකරනු වස් ගම්නියම්ගම් ජනපද කරා වැඩ සැමට දෙලොව සැප ළඟා කළ බුදුරජාණන් වහන්සේ අසූවැනි වියේහිදී කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සාලවනෝද්‍යානයේ දී වෙසක් දිනක සියලු දෑ අනියත බව පසක් කරලමින් පිරිනිවන් පා වදාළ සේක.වසර දෙදහස් පන්සිය පනස් හතක් මුළුල්ලේ උන්වහන්සේගේ තෙමගුල සමරා සිදුකෙරෙන වෙසඟ දිනය තුළ අවවාදයෙන් හා ආදර්ශයෙන් බුදුරදුන් පෙන්වා වදාළ මානුෂිකත්වයත් ඒ තුළින් සමාජයට එළි වූ සදාචාරාත්මක සමාජ දර්ශනය කවරක්ද යන්න පැහැදිලි කරගත යුතු වේ.

බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ මානුෂිකත්වය අව තක්සේරුවට ලක්වූ එක් සමාජ පන්තියකට පමණක් සියලු වරප්‍රසාද හිමිව පැවැති කුල භේදයෙන් මහත් පීඩනයකට බ්‍රහ්මණ සමාජය විසින් මිනිසා පත්කර තිබූ අවධියකය. ක්ෂත්‍රිය , බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යැයි මිනිසා දේව නියමය මත චතුර්වරණයකට අයත් වේ යැයි ආගමික පදනමක් මත ගොඩනැගූ ආකල්පය තුළින් මිනිසාගේ මානව නිදහස පමණක් නොව මානුෂිකත්වය ද නිර්දය ලෙසින් පහතට හෙළා තිබුණි.පන්ති ස්තරායන හා කුලභේදය පදනම් කරගෙන උපතින්ම මිනිසා වර්ගීකරණයකට ලක් කිරීමෙන්, එම සමාජය තුළ ඇති වූ පීඩකාරිත්වය මෙපමණ යැයි කිව නොහැකි විය. බ්‍රාහ්මණ සමාජය විසින් පාලක පන්තියේ සිට සාමාන්‍ය ජනයා දක්වා මිනිසාගේ නිදහස අහුරාලමින් සිය කුලයේ උසස්බව රැක ගැනීම අරභයා ඇති කොට තිබූ පීඩනය ඉවත් කරලීම පිණිස දේශනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද මානුෂිකත්වයේ ඇති ශ්‍රේෂ්ඨත්වය ලොවට වටහා දීමට එදා ඉදිරිපත් වූ ඉන්දීය ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ වූයේ බුදුරජාණන් වහන්සේය. රජ පවුලක උපත ලබා සියලු සැපත් ජනතාව වෙනුවෙන් පසෙක ලා සමාජ අසාධාරණයට එරෙහිව හඬක් නැගීම නිසා කුල භේදයෙන් පීඩනයට ලක්ව අසරණව විසූ දහස් සංඛ්‍යාත ජනතාවට ලැබුණූ නිදහස අපමණය. කුල ස්තරායනය, මගින් සමාජය තුළ සාමය මෙන්ම සමඟියද දෙදරා ගොස් තිබූ අවධියක සමාජගත පුද්ගලයන්ගේ මානව අයිතීන් ඉස්මතු කිරීම අරඹයා බුදුරජාණන් වහන්සේ විසින් ක්‍රියා මාර්ග ගැනීමත් පැහැදිලි කිරීමත් සමගම සැමට එක්ව එකම සසුනක් තුළ ශ්‍රාවකයන් වීමේ වරප්‍රසාදය ලැබුණි. පංච මහා ගංගාවෝ විවිධ නාමයන් ගෙන් ජලය ගෙන සාගරයට වත් කළ එම ගංගා නාමයන් පසෙක ලා සාගර ජලය ලෙසින් හඳුන්වන්නාක් මෙන් උන්වහන්සේගේ ශාසනයට පත් සැම දෙනම සියලු කුලගොත් අතහැර බොදු ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වූහ. ගුණවත්කම හා නැණවත්කම පදනම් කොට භික්‍ෂු, භික්ෂුණී උපාසක හා උපාසිකා යනුවෙන් නව සමාජ වර්ගීකරණයක් සසුනට මෙන්ම සමාජයටද උන්වහන්සේ විසින් හඳුන්වාදෙනු ලැබීය.සමාජයෙන් කොන් කොට මිනිසාගේ වහලකු බවට දේව නියමයක් මත පත්කොට තිබූ සුනීත, සෝපාක වැනි ශුද්‍රයනට ද සසුන් දොර විවර කොට නිවන්මග පාදා ගැනීමට අවස්ථාව සලසා දෙමින් සැමට බුද්ධ ශාසනය තුළ සමබවක් ලබාදීමට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රායෝගිකව ගත් ක්‍රියා මාර්ගය මානව හිතවාදි බවේ උච්චත්වය පැහැදිලි කරනු ලැබේ.

උපත පුද්ගලයාගේ කුලය හෝ ජාතිය නිර්නය කළ නොහැකි සාධකයක් බවත් කරනු ලබන ක්‍රියාදාමය මත පුද්ගලයෙකුගේ තත්ත්වය තීරණය වන බවත් “නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො” යනුවෙන් වසල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරමින් ඇති කළ සංකල්පමය වෙනස සමාජය තුළ කුලභේදය පසෙක ලා මානව ගුණය, මානව සංවරය හා සාමය සමගිය සමානාත්මතාව ගොඩනැගීමට ගත් මහඟු ආදර්ශ පාඨයක් විය.

අසාධාරණයකට ලක්ව අසරණව සිටි කාන්තාවනට සමාජයේ ඉදිරියට ඒමට හා පිරිමි පක්ෂය හා සමතැන්හි ලා ක්‍රියා කිරීමට අවශ්‍ය පසුබිම බුදුරජාණන් වහන්සේ විසින් සැකසනු ලැබීම, සමස්ත කාන්තාවනට විමුක්තිය උදාකර ගැනීමට පමණක් නොව සිය ආධ්‍යාත්මික ශක්තිය දියුණු කර නිවන්සැපය පවා ලබා ගැනීමට අවශ්‍යම මං විවර කිරීමක් විය. සිවුවණක් පිරිසෙන් භික්ෂුණීන්ට ද උපාසිකාවනට ද මේ සසුන විවර වීම කාන්තා විමුක්තියේ අරුණළු උදා වූ අවස්ථාවක් සේ සැලකීම නිවැරැදිය.

සමාජ අසාධාරණයට පත්ව අසරණව සිටි පාටාචාරව, කිසාගෝතමිය හා රජ්ජුමාලාව වැනි කාන්තාවනට සම්බුද්ධ ශාසනයේ දොරටු විවර වී නිවන් මඟ සලසාගෙන අනෙකුත් සැමට යහපතක් උදාකරදීමට හැකි වූයේ බුදුරජාණන් වහන්සේ කාන්තාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ය. ස්ත්‍රිපුරුෂ සමගියට බුදුරජාණන් වහන්සේ ගත් මෙම ක්‍රියාදාමය අතිශයින්ම වැදගත් වූ අතර මානුෂිකත්වය ස්ත්‍රි පුරුෂ භේදයට ලක් කළ යුත්තක් නොවන බව ද මෙමගින් උන්වහන්සේ ලෝකයාට පෙන්වා වදාළහ.

වැරැදි මාවතට යොමුව අයාලේ ගිය දහස් සංඛ්‍යාත පුද්ගලයන්ට සිය සැනසුම් උදාකර ගැනීමට හා වැරැදි නිවැරැදි බව පසක් කරගැනීමට බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත කාරුණිකත්වය හා මානුෂිකත්වය අතිශයින්ම ඉවහල් විය. අංගුලිමාල හා අජාසත්ත වැනි පුද්ගලයන්ගේ චරිතයන් සුමඟට පත්ව උදාරතර ජීවිතයන් බවට පත්වූයේ බුදුන් වහන්සේ මානුෂිකත්වයෙන් පිරුණු හදවතින් එම ජීවිත දෙස බැලීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව පැහැදිලිය..

එමෙන්ම පන්සිල් සුරකින, කාය වාග් සංවරත්වයකින් හෙබි සමාජයක් ඇති කරලීමේ අරමුණ මත සිය ශ්‍රාවක පිරිස සංවිධානය කිරීමට අවශ්‍ය දේශනාත්මක හා ප්‍රායෝගික ක්‍රියාදාමයකට යොමුකිරීමද මානුෂිකත්වය සුරකින සමාජගත සමඟිය ඇතිවන සමාජ ස්තරායනයක් නිර්මාණයට අවශ්‍ය සංවිධානාත්මක පදනමක් ඇති කිරීමට බුදුන්රදුන් පියවර ගැනීම සමාජ ගත පුද්ගල සම්බන්ධතා ශක්තිමත් වීමටත් සමාජය සදාචාරාත්මක ක්‍රියාදාමයන් මත සංවිධානය වීමටත් බලපෑ බව පැහැදිලි කරුණකි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ හර පද්ධතින් අප විසින් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයන්හි ඉස්මතු කරගත යුතු අතරම උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්වා වදාළ මානුෂිකත්වය කරුණා මෛත්‍රිය පෙරදැරිකර ගෙන ක්‍රියාවට නැගීමට පෙළ ගැසේ නම් වත්මන්හි ඇතිව ඇති බොහෝ ප්‍රශ්නයනට එම ක්‍රියාදාමයෝ පිළිතුරක් වනු ඇත. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන දිනයක ප්‍රතිපත්තිමය වශයෙන් උන්වහන්සේට කරනු ලබන ලොකුම උපහාරයක්ද වනවා නො අනුමාන ය.

 

වෙසක් මස අව අටවක පෝය

වෙසක් මස අව අටවක පෝය මැයි මස 31 වැනි දා සිකුරාදා අපරභාග 01.08 ට ලබයි.
01 වැනි දා සෙනසුරාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූනි මස 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]