UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොවෙහි උතුම් සරණ

ලොවෙහි උතුම් සරණ

බහුං වේ සරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛචේත්‍යානි
මනුස්සා භය තජ්ජිතා
නේතං ඛෝ සරණං ඛේමං
නේතං සරණමුත්තමං
නේතං සරණමාගම්ම
සබ්බදුක්ඛා පමුච්චති

බියෙන් තැතිගත් බොහෝ මිනිස්සු පර්වත, වනාන්තර, ආරාම වෘක්ෂ චෛත්‍යයන්ගේ පිළිසරණ පතති. එහෙත් ඒ සරණ යාමෙන් පිහිටක් නොලැබේ. ඒ සරණ යාම උතුම් නොවේ. එවැනි දේවල් සරණ යාමෙන් ඔවුහු සියලු දුක්වලින් නිදහස් නොවෙති. යම් කෙනෙක් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ යයි ද, ඒ තැනැත්තා දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම සහ දුක නැතිකිරීමේ මඟ නුවණින් දැක සියලු දුක්වලින් මිදෙයි. එම නිසා සියලු අන්දමේ තැතිගැනීම්, දුක් දොම්නස් කම්කටොලුවලින් මිදීමට තිබෙන එකම මාර්ගය තෙරුවන් සරණ යාම යි.

බුදුරදුන් වැඩ සිටිය සමයේ අග්ගිදත්ත නම් බමුණෙක් වැලි ගොඩක් ඇසුරු කරගෙන සිටි නාගයකුට දෙවියකු යැයි සිතා මහත් බියෙන් එම වැලිගොඩට වැඳුම් පිදුම් කළේය. එම බමුණාගේ දහසක් පමණ වූ තවුස් පිරිවර ද එය අනුගමනය කළහ. ධම්මපදයේ ‘බුද්ධ වර්ගයේ’ ඇතුළත් ඉහත සඳහන් ගාථාව බුදුරදුන් දෙසුවේ බියට පත් බමුණන් පිළිසරණක් පතා සිදුකරන වැඳුම් පිදුම්වල නිසරු බව පෙන්වා දීමට යි.

ඉහත සඳහන් ගාථාව බණපොත්වල පැහැදිලි කර තිබෙන්නේ, රජුන්ට හා සොරුන්ට බියෙන් පර්වත වන ලැහැබ් ආදියෙහි මිනිසුන් සැඟවී සිටින බව යි. එසේම දුක්වලින් මිඳෙන්නට සිතාගෙන ගස්, ගල්, වනාන්තර ආදියට අරක් ගෙන සිටිනවා යැයි විශ්වාස කරන දෙවියන්ගෙන් හා යකුන්ගෙන් පිහිට පැතීම යි. “ රුක්ඛචේත්‍යානි” යනු එකට බැඳුන වචන දෙකකි. අමනුෂ්‍යයන් අරක්ගෙන ඇතැයි මිනිසුන් විශ්වාස කරන පූජනීය වෘක්ෂයන් රුක්ඛ යන වචනයෙන් අදහස් කෙරේ. චේතිය යනු පුජා ලබන වස්තූන් සඳහා යෙදෙන පොදු වචනයකි. ඒ බව නිධිකණ්ඩ සූත්‍ර අට්ඨ කථාවේ පැහැදිලි කර ඇත. අද “ චේතිය” යන වචනය භාවිතයේ යෙදෙන්නේ දාගැබ් සඳහා පමණි. නමුත් බුදුරදුන්ගේ ශාරීරික, පාරිභෝගික හා උද්දේශික යන සියල්ලම වැඳුම් පිදුම් ලබන පූජනීය වස්තු බැවින් ඒවා චේතිය වශයෙන් සැලකෙයි.

බෞද්ධයන් ඒවාට වන්දනා කරන්නේ යකුන් අරක්ගත් වස්තූන් ලෙස සිතාගෙන නොවේ. එහෙත් “රුක්ඛචේත්‍යානි” යන වචනයේ නිශ්චිත තේරුම නොදත් ඇතැම්හු ඉහත සඳහන් ගාථාවේ අදහස මතුපිටින් ගෙන චෛත්‍ය හා බෝධි වන්දනාව බුදුරදුන් විසින් ප්‍රතික්ෂේප කරන ලදැ’ යි කියමින් මිථ්‍යා මතවාද පතුරුවති. සූත්‍රධර්ම මැනැවින් කියවා නැති, ඔවුහු ආමිස පූජාවෙන් බෞද්ධයන් ඈත් කරවති. එය බලවත් වරදකි. බුදුරදුන් නිසරු යැ’ යි වදාළේ බියෙන් හා තැති ගැන්මෙන් මිදෙන්නට හැකියැ’ යි සිතාගෙන මිනිසුන්, ගස්, ගල්, වනාන්තර ආදිය සරණ යාම යි. බෞද්ධයන් ත්‍රිවිධ චෛත්‍යයන්ට වැඳුම් පිදුම් කරන්නේ තෙරුවන් කෙරෙහි සිතෙහි පවතින ශ්‍රද්ධාව වැඩිදියුණු කරගැනීම තුළින් ජීවිතය යහපත් මාවතකට යොමුකර ගැනීමේ බලාපොරොත්තුවෙනි. භයක්, තැතිගැන්මක් ඇති වූ විට තෙරුවන් සිහිපත් කරගන්නැ යි ධජග්ග සූත්‍රයෙහි දී බුදුරදුන් උපදෙස් දුන්නේ නොබියව සිටීමේ චිත්ත ධෛර්යයක් එමගින් උපදවාගත හැකි බැවිනි. එය සත්‍යබලය පදනම් වූවකි.

බුදුරදුන් දෙව්රම් වෙහෙරෙහි නොමැති විට උන්වහන්සේ දකින්නට සුවඳ මල් රැගෙන පැමිණෙන සැදැහැවතුන්ට මල් තැබීමට සුදුසු පූජනීය ස්ථානයක් ලෙස බුද්ධෝපස්ථායක ආනන්ද හිමියන් බෝධියක් රෝපණය කළේ බුදුරදුන්ගේ අනුමැතියෙනි. එසේ වුව ද, තමන් වහන්සේගේ රූප සාදාගෙන වැඳුම් පිදුම් කරන්නැ යි බුදුරදුන් උපදෙස් දී නැත. බුදුගුණ හා දහම් ගුණ සිහියට නංවා ගැනීමේ පහසුවට බුදුපිළිම නෙළීම සිදුවුණි.

දාගැබ්, බුදුපිළිම සහ බෝධි වන්දනාවේ අරමුණ නිසි ලෙස තේරුම් ගත් කෙනෙකුට ඒ පිළිබඳ ගැටලුවක් නොමැත. මිථ්‍යාවෙන් වෙලී ගස්, ගල්, පිළිමවලට වැදුම් පිදුම් කරන්නට පුරුදුව සිටි ජනයා යහපත් පැත්තකට යොමු කරලීමේ අරමුණින් ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව ඇරැඹුන බව පැහැදිලි කරුණකි. ජීවිතයේ නොයෙකුත් කරදර ලෙඩදුක්, ග්‍රහ අපල ආදිය දුරුකර ගන්නටත්, විභාගවලින් ජය ලබා ගැනීමටත් බෞද්ධයෝ බෝධි පූජා පවත්වති. බුදුගුණ, දහම් ගුණ හා සඝ ගුණ ඇතුළත් කවි හා ගාථා ඒ සඳහා යොදා ගනිති. එය අන්ධ විශ්වාසයකින් නොව කායික හා මානසික ශක්තියත්, සංවරයත් ඇතිකර ගැනීමට සිදුකරනු ලබන්නකි. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරයක් ලක්දිවට වැඩම කරවුයේ යකුන්ගේ පිළිසරණ පතා ගස්, ගල් ආදියට පුද පූජා පැවැත්වූ අපේ රටේ ජනයා යහපත් පැත්තකට යොමුකිරීමේ අදහසිනි. වසර දෙදහසකට අධික කාලයක් තිස්සේ පවතින බෝධි වන්දනාව මුල්කරගෙන අපේ රටේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බිහිවී තිබේ.

බෞද්ධයන් වන්දනාමාන කරන විට ඔවුන්ගේ සිත් තුළ පවතින්නේ තෙරුවන් අරමුණු කරගත් පිවිතුරු අදහස ය. මල් පුදන්නේ ජීවිතයේ අනිත්‍යතාවය හා තෙරුවන් ගුණ සිහිකරමිනි. එය බොදු පිළිවෙතට එකඟ ය. එහි අරුත නොදත් මිනිසුන්ට එය පෙනෙන්නේ මිථ්‍යා ඇදහිල්ලක් ලෙසිනි. සමාජයේ හැමදෙනාගේ ම මානසික මට්ටම එකසමාන නොවේ. ඇතැමුන් දහමට නැඹුරු කරගත හැක්කේ පුදපූජා, පෙළහර, පින්කම් වැනි ක්‍රියාකාරකම් මගිනි. ඒ නිසා ඒවා වුවමනා ය.

අනුරාධපුර යුගයේ දී පවා දාගැබ, බෝධිය හා බුදුරුව පන්සලක මූලික අංගයන් ලෙස පැවැති බව එයින් පෙනේ. බුදුරදුන් සිහිපත් කරගැනීමේ පහසුව සඳහා වැලිවලින් දාගැබක් තනාගෙන වැඳුම් පිදුම් කළ ‘පුලිනථුපිය’ නම් තෙර නමක් ගැන ථේරාපදානයේ සඳහන් වෙයි. ත්‍රිවිධ චෛත්‍යයන්ට වන්දනා මාන කිරීමෙන් තෙරුවන් කෙරෙහි සැදැහැ සිත වැඩෙයි. බුදුරදුන්ට ගරු බුහුමන් දැක්වීම, උන්වහන්සේගේ ධර්මය කෙරෙහි යොමුවීම, සංඝරත්නයෙන් අවවාද අනුශාසනා ලැබීම හා සංඝෝපස්ථානය සඳහා අවස්ථාව ලැබෙයි. සසර සියලු දුක්වලින් නිදහස් වන්නට වුවමනා කරන චතුරාර්ය සත්‍යය අවබෝධයට එයින් පසුබිම සැලසෙයි. ඒ අනුව බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණයාම අපට ඇති එකම පිළිසරණයි.

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]