UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධානුස්සති භාවනාව

බුද්ධානුස්සති භාවනාව

මේ ලෝකයට කල්ප ගණනාවකින් පහළවන අති උත්තරීතරම මනුෂ්‍ය රත්නය අපගේ තිලෝගුරු අමාමෑණි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේය. අංගුත්තර නිකායේ ඒක පුද්ගල වර්ගයේ ප්‍රථම සූත්‍රයට අනුව අප භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස,බොහෝ දෙනාට සැප පිණිස,ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස මේ මනුලොව උපත ලද එකම උත්තරීතර පුද්ගලයා වේ.

එමෙන්ම අංගුත්තර නිකායේ අනිත් සූත්‍රවලට අනුව තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම ලෝකයෙහි දුර්ලභ වූවකි. එමෙන්ම උන්වහන්සේ මෙලොව උපදින්නේ ආශ්චර්ය මනුෂ්‍ය රත්නයක් විලසිනි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රියාකලාපය බොහෝ දෙනෙකුට දුක නැති කර ගැනීමට උපකාර වෙයි. එමෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ අද්විතීය අසහායව, අප්‍රතිමව,අප්‍රතිසමව,අප්‍රතිභාගව,අප්‍රති පුද්ගලයා අසමව,අසම සමව, දෙපා ඇත්තන්ට අනුව උපදිති. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පහළවීමත් සමඟම මහත් වූ ප්‍රඥා ඇසක්, ප්‍රඥාලෝකයක්, ප්‍රඥා අවභාසයක් පහළවේ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන උතුම් ඵලයන්ගේ සාක්ක්‍ෂාත් කිරීම සිදුවෙයි. මෙවැනි උත්තරීතරම මනුෂ්‍ය රත්නයක් මේ තුන් ලෝක ධාතුවේ පහළ නොවේ.

අප ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහි කරන මේ උතුම් වෙසඟේ පුන් පොහෝ දිනයෙහි උන්වහන්සේගේ ගුණ සිහිකිරීමට පුරුදුවීම ඉතාමත්ම වටිනා පුණ්‍යකර්මයකි. එදා භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය රාජ රාජ මහා මාත්‍යාදීන් මෙන්ම සාමාන්‍ය වැසියන්ද, දෙව් බඹුන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ ගුණ සිහි කළහ.කල්ප ගණනකින් ලොව පහළවන බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය අනන්තය. අප්‍රමාණය. සාමාන්‍ය පුද්ගලයෙකුට තබා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට වුවද වෙනත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ සජ්ඣායනා කොට අවසන් කළ නොහැකි බව විස්තර කල්පයක් තුළ බුදුගුණ විස්තර කරද්දීත් විස්තර නොකළ බුදුගුණ ඉතිරිව තිබියදීත් කල්පය ගෙවී යයි.

භාවනා කිරීම යනු සිත එකඟ කර ගැනීමයි. එය යම් සුවිශේෂි අරමුණක් මුල් කරගෙන කළ යුතුවේ.විශේෂයෙන් කුසල් අරමුණක සිත පිහිටුවා ගෙන භාවනා කළ යුතුය. බුද්ධානුස්සති භාවනාව මෙහිදී මහත් ප්‍රතිඵල ගෙන දෙන භාවනාවකි. අංගුත්තර නිකායේ ඒක ධම්ම පාළියේ ප්‍රථම සුත්‍රයේදී අප භාග්‍යවතුන් වහන්සේ බුද්ධානුස්සතිය වැඩීම පිළිබඳව දේශනා කොට තිබේ. “මහණෙනි, එක ධර්මයක් භාවනා වශයෙන් වැඩීමෙන් බහුල වශයෙන් වැඩීමෙන් ඒකාන්තයෙන් සසර ගැන කළකිරීම පිණිසද, නොඇල්ම පිණිසද නිරෝධය පිණිසද සංසිඳවීම පිණිසද විශිෂ්ට ඤාණය පිණිසද, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසද, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසද හේතුවේ.”

බුද්ධානුස්සති භාවනාව මේ අයුරින් වැඩීමට අපි පුරුදු පුහුණූ වෙමු.මෙතෙක් බුද්ධානුස්සති භාවනාව වැඩීමට පුරුදු කරගෙන තිබෙන පින්වත් අය තමාට හුරු අයුරින් සිදුකර ගැනීමේ කිසිදු වරදක් නොමැත.

මාගේ ස්වාමී වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු රාග, ද්වේෂ, මෝහ දුරු කළ සේක. සියලුම කෙලෙස් දුරලූ සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට පුණ්‍යවන්ත වන සේක. ඔබ වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. ඇස,කන, නාසය, දිව, කය,මන යන ආයතන හය මනාව දමනය කළ සේක. මනාව සංවර කළ සේක.තථාගතයන් වහන්සේ “අරහං” වන සේක. මාගේ ස්වාමි වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍යය කිසිදු ගුරු උපදේශයකින් තොරව අවබෝධ කොට වදාළ සේක. දුක ඇතිවීමට හේතුව නම් වූ දුක්ඛසමුදය ආර්ය සත්‍යය කිසිදු ගුරුඋපදේශයකින් තොරව ප්‍රහාණය කොට වදාළ සේක. සාත්ක්‍ෂාත් කළ යුතු වූ දුක නැති කිරීම නම් වූ දුක්ඛ නිරෝධ අර්ය සත්‍යය කිසිදු ගුරු උපදේශයකින් තොරව සාක්ක්‍ෂාත් කොට වදාළ සේක. අනුගමනය කළ යුතු වූ දුක නැති කිරීමේ මග නම් වූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කිසිදු ගුරු උපදේශයකින් තොරවම අනුගමනය කොට වදාළ සේක. තථාගතයන් වහන්සේ “සම්මා සම්බුද්ධ” වන සේක.

මාගේ ස්වාමි වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් ඤාණ බලයන්ගෙන් සමන්නාගත වූ සේක. අහසින් ගමන් කිරීම ජලයෙහි සක්මන් කිරීම,පොළොවෙහි කිමිදී වෙන තැනකින් මතුවීම ,නොපෙනී ගමන් කිරීම ආදි වූ ඉද්ධිවිධ ඤාණය ලබා ගත්සේක. ළඟ තිබෙන ශබ්ද,දුර තිබෙන ශබ්ද ආදි ඕනෑම ශබ්දයක් ශ්‍රවණය කිරීමේ හැකියාව වූ දිව්‍ය ශ්‍රවණ ඤාණය ලබා ගත් සේක. සියල්ලම දැකීමේ හැකියාව වූ දිව්‍ය චක්ඛු ඤාණය ලබාගත් සේක.

අනුන්ගේ සිත් පිරිසිඳ දැකීමේ හැකියාව වූ පරචිත්ත විජානන ඤාණය ලබා ගත් සේක. ඒ ඒ සත්ත්වයන්ගේ කෙලෙස් සැඟවී ඇති ආකාරය දැකීමේ හැකියාව වූ ආසයානුසයඤාණය ලබාගත් සේක. ඒ ඒ සත්‍යයන්ගේ පෙර විසූ ජීවිත හා තමන් වහන්සේගේම පෙර ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේ නිවාසානුස්සති ඤාණය ලබා ගත් සේක. ඒ ඒ සත්වයන් ඒ ඒ සත්ව ලෝකවලින් කර්මානුරූපව චුත වෙන උපදින ආකාරය දැකීමේ හැකියාව වූ චුතූපපාත ඤාණය ලබාගත් සේක. ඒ ඒ සත්ත්වයන්ට ධර්මාවබෝධය සිදුවන ආකාරය දැකීමේ හැකියාව වූ චේතෝපරිය ඤාණය ලබාගත් සේක.

සියලු කෙලෙසුන් කෙරෙන් දුරුවී ලබන ආසවක්ඛය ඤාණය ලබාගත් සේක. බුදුරජාණන් වහන්සේ ඒ ඤාණයන්ට අනුවම ජීවිතය ගත කළ සේක.තථාගතයන්වහන්සේ ‘විජ්ජාචරණ සම්පන්න’ වන සේක.

මාගේ ස්වාමී වූ තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි පි‍්‍රය වචන වලින් සමන්නාගත වූ සේක. සුන්දර වූ නිවන් මගට වැඩම කොට වදාළ සේක. සියලු කෙලෙස්වලින් දුරුවූ අතිශෝභමාන වූ ආර්ය මාර්ගය සම්පූර්ණකොට වදාළ සේක. තථාගතයන් වහන්සේ “සුගත” වන සේක.

මාගේ ස්වාමී වූ තථාගත අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාම, රූප, අරූප වන සියලු ලෝකයන් අවබෝධ කොටගෙන ඒ සියලුම ලෝකවලින් නිදහස් වූ සේක. මුලු ලෝකධාතුවෙන්ම වෙන්වී ගිය සේක. තථ4ාගතයන් වහන්සේ “ලෝකවිදූ” වන සේක.

මාගේ ස්වාමි වු තථාගත අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දමනය කළ යුතු වූ සියලුම දේව මනුෂ්‍ය ,බ්‍රහ්ම නාග සුපර්ණ, යක්ෂ, රාක්‍ෂ, සිද්ධ, විද්‍යාධර, තිරශ්චීන, ආදි සත්වයන් දමනය කොට දහමට කීකරු කරවූ බැවින්ද ඒ අමාමහ නිවනට යොමුකොට වදාළ බැවින්ද තථාගතයන් වහන්සේ “අනුත්තරෝ පුරිසධම්මසාරථි” වන සේක.

මාගේ ස්වාමී වූ තථාගත අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු දෙවියන්ටද සියලු බ්‍රහ්මයින්ටද සියලු මිනිසුන්ටද සියලුම සත්වයන්ටද උතුම් ගුරුවරයාණෝ වන සේක.තථාගතයන් වහන්සේ “සත්ථාදේවමනුස්සානං” වන සේක.

මාගේ ස්වාමී වු තථාගත අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන අන්අයටද අවබෝධ කර වු සේක. තථාගතයන් වහන්සේ “ බුද්ධ” වන සේක.

මාගේ ස්වාමි වූ තථාගත අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලුම ප්‍රත්‍ය ලාභයෙන්ද සියලුම පුණ්‍ය භාග්‍යයෙන්ද සියලුම අවබෝධ ලාභයෙන්ද අග්‍ර වන බැවින්ද මෙතරම් ගුණ සම්භාරයක් දරා වැඩ සිටි බැවින්ද තථාගතයන් වහන්සේ ‘භගවා’ වන සේක. බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි.

බුදුගුණ භාවනාව වැඩීම තුළින් බොහී ආනිසංශ ලබා ගත හැකිය. සතර අපායෙන් ගැලවීම, මිථ්‍යාදෘෂ්ඨික නොවීම,හොඳින් සිහිය පිහිටීම, ස්මරණ ශක්තිය දියුණුවීම, මරණයට ඇතිබිය පහවී යාම, දෙවියන්ගේ රැකවරණය ලැබීම, අමනුෂ්‍ය පීඩාවලින් ගැලවීම වහා සිත සමාධිගතවීම, මරණින් මතු සුගතිගාමි වීම, සත්‍යවාදීවීම,පවින් වෙන්වීම, මුහුණේ වර්ණය පැහැපත්වීම,අන් අයගේ කරුණාවට ලක්වීම,අන් අයගේ ගෞරවාදරයට පාත්‍රවීම තම අදහස්වලට අන් අය එකඟවීම උන්මන්තක නොවීම ආදිය ප්‍රධාන වේ.

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]