UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදට්ඨ කතාවෙන් 12

ගං දියට විෂ දැමූ පාපය

සැවැත්නුවර කොසොල් රජුගේ පුත් පසේනදී කුමාරයා දිසාපාමොක් ඇදුරු සමීපයෙහි ශිල්ප ලබන සමයෙහි මහාලි් නම් ලිච්ඡවි කුමරා ද බන්ධුල නම් කුසිණාරා රාජ කුමාරයාද සමඟ බොහෝ මිත්‍රව වාසය කළේය. ශිල්ප නිමවා ඇදුරු වෙතින් සමුගෙන ඔවුහු තම තමන්ගේ නගරවලට යාමට පිටත්වූහ. පසේනදී සිය පියාට ශිල්ප දක්වා පසේනදී කෝසල නමින් රජ විය.මහාලි ලිච්ඡවී රජදරුවන්ට ශිල්ප දෙන ආචාර්යවරයා විය. බන්ධුල පසේනදී කොසොල්රජුගේ සේනාපති තනතුරට පත් විය.

කොසොල් රජතුමා දිනක් තම ප්‍රාසාද සඳළු තලයෙහි සිට ඇතුළු වීථිය දෙස බලන විට අනේපිඬු, විශාඛා, සුප්පාවාසා වැනි අයගේ නිවෙස්වල දහවල දානය පිණිස වඩනා දහස්ගණන් භික්‍ෂූන් දැක තමන්ගේ නිවසට එසේ නොවඩින්නේ මන්දැයි කල්පනා කළේය.රජු දෙව්රම් වෙහෙරට ගොස් සත් දිනක් තිස්සේ භාග්‍යවතුන් වහන්සේ සමඟ දහසක් බුද්ධ පුත්‍රයන් තමන්ගේ නිවසට දානය පිණිස වඩින්නැයි ඉල්ලා සිටියේය. එම සත් දිනයේම රජුගේ මෙහෙයවීමෙන් ම දන් පූජා කිරීම් ඉතා හොඳින් සිදු විය.අනතුරුව රජතුමා සැම දිනම බුදුරදුන් ප්‍රමුඛ පන්සීයක් භික්‍ෂුනට තම නිවසේ දනට වඩින්නැයි ආරාධනා කර සිටියේය. එවිට බුදු හිමියන් වදාළේ “මහරජ බුදුවරු එකම ස්ථානයක දන් නොවළඳති. බොහෝ අයට අනුග්‍රහ පිණිස වෙනත් නිවෙස්වලටත් වඩිති” යන්නය. එය ඇසූ රජතුමා එසේ නම් එක භික්‍ෂුනමක් නිබඳවම එවිය නොහැකිදැයි ඇසීය.බුදුහිමියෝ එය ආනන්ද හිමියන්ට භාර කළේය. අනතුරුව ආනන්ද තෙරුන් ප්‍රමුඛ කරගත් පන්සියයක් භික්‍ෂූහු රජමැදුරට නිතිපතා වැඩියහ.

එහෙත් රජතුමා කිසි දිනෙක දාන කටයුතු වලට සහභාගි නොවූ හෙයින් වැඩම කළ භික්‍ෂූන්ට බොහෝ වේලා අසුනක් පිළියෙළ වන තුරු පවා රැඳී සිටින්නට විය, රාජ සේවක පිරිස් මේ කටයුත්ත ශ්‍රද්ධාවෙන් ඉටු නොකළ බැවින් දිනෙන් දින, භික්‍ෂුන්ගේ පැමිණීම අඩුවිය.අවසානයේ ආනන්ද හිමියන් පමණක් ඉතිරි විය.ආනන්ද තෙරුන් කල්ප ලක්‍ෂයක සිට පිරූ පාරමිතා ඇති උතුම් ප්‍රාර්ථනා ඇති මහ පිනැතියෙකි. උන්වහන්සේ උපාසකවරුන්ගේ ප්‍රසාදය බිඳුවන්නට අකැමැති හෙයින් සෑම දිනම තනියම රජ ගෙදරට වැඩියහ.

දිනක් කොසොල් රජතුමා දන් වළඳන භික්‍ෂූන් දකින්නට රජ මාලිගයේ දාන ශාලාවට පැමිණි විට දුටුවේ බොහෝ ආහාරපාන රැස් කරඇතත් අනඳ හිමියන් පමණක් වළඳන බවකි.අනෙක් සංඝයා නොවැඩීමෙන් මෙපමණ ආහාර ප්‍රමාණයක් විනාශ වන අයුරුදැක භික්‍ෂූන් කෙරෙහි කෝපයක් ඇති කොට බුදුරදුන් සමීපයට ගොස් ඒ බව සැළ කළේය. එවිට බුදුරදහු භික්‍ෂූන්ගේ දොසක් නොදක්වා රජුගේ කුළුපඟ බව උන්වහන්සේලාට නොලැබීම නිසා මෙසේ නොවැඩි බව දක්වා කුලගෙයකට නැවත නැවත යා යුතු නොයා යුතු කරුණු නවයක් දේශනා කොට වදාළහ.

දායකයාගේ ගෙට යන කල්හි කැමැත්තෙන් නැගී නොසිටිද්ද?

කැමැත්තෙන් නොවඳිත්ද?

කැමැත්තෙන් අසුන් පනවා නොදේද?

දෙන්ට දේ ඇතත් තමන්ගේ නැති බැරි කමම කියාපායිද?

බොහෝ දේ දීමට තිබියදීත් ස්වල්ප දෙයකින් සංග්‍රහ කෙරෙයිද?

රසවත්දේ නොදී කටුක නීරස දෙයින් සංග්‍රහ කෙරෙත්ද?

සකසා ගෞරවයෙන් නොදෙත්ද?

අපිළිවෙළින් නොසැලකිල්ලෙන් දෙත්ද?

අනුමෝදනාව නොසැලකිල්ලෙන් අසයිද?

එවන් මිනිසුන් වසන ගෙවලට බුද්ධ පුත්‍රයෝ නොවඩිතියි ද බුදුහු වදාළහ. එමෙන්ම කැමැත්තෙන් පිළිගන්නා අසුන් පනවන, වැඳුම් පිදුම් කරන ඇති දේ දෙන බොහෝ දේ දෙන ප්‍රණීත දේ දෙන, සකසා දෙන,අනුමෝදනා බණහොඳීන් අසන නිවසට නැවත නැවත වැඩම කිරීම සුදුසු බව වදාළහ. ඒ අනුව රජුගෙන් හා රාජසේවකයන් වෙතින් වූ වරද තේරුම් ගත්තේය.

එහිදී බුදුරදුන්ගේ දීර්ඝ දේශනාවක් ඇසූ රජතුමා පැහැදී බුදුරදුන් සමඟ විශ්වාසවන්ත බව තර කර ගන්නට කුමක් කළ යුතු දැයි සිතා බුදුරදුන්ගේ ඥාතියෙකු සමඟ විවාහ විය යුතු යැයි තීරණය කළේය. එවිට ඥාති රජ වෙත නිතර නිතර බුදුරදුන් හා භික්‍ෂූන් වඩිතියි සිතා ශාක්‍යවංශික කාන්තාවක් විවාහයට පිළියෙළ කොට එවන්නැයි රාජපුරුෂයෝ සරසා කිඹුල්වතට යැවූහ. රාජකීය දූතයෝ පණිවුඩය ශාක්‍යයන්ට ඉදිරිපත් කළහ.

ශාක්‍ය වංශිකයෝ රැස්වූහ. මේ රාජකීය ඉල්ලීම සාකච්ඡා කළහ. ශාක්‍යවංශික රාජ කුමාරිකාවක් විවාහ කර දීමෙන් තම කුලය නැසෙති”යි ඔවුහු කතිකා කළහ. එහෙත් බලවත් රජෙකුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි හෙයින්, මහානාම, ශාක්‍ය පුත්‍රයා කියා සිටියේ තම දාසියගේ වාසභකත්තියා නමැති දියණිය රූපයෙන් අග්‍රප්‍රාප්ත හෙයින් රජකුමරියක සේ සරසා පිටත් කර හැරීම සුදුසු බවයි. එය එසේ සිදුවිය.පසේනදී කෝසල ඇය හරසරින් පිළිගෙන අගමෙහෙසිය බවට පත් කළේය. නොබෝ දිනයකින් ඇය පුතෙකු බිහිකළ අතර ඔහු විඩූඪභ නම් විය.රජතුමා බුදුරදුන්ගේ සිත් ගැනීම පිණිස ළමා කලම ඔහුට සෙන්පති තනතුර පිරිනැමීය.

සත් හැවිරිදි වයසට පැමිණෙද්දී කුමරා කෙළි සෙල්ලමටම පිවිසෙන අතර එහිදී අනෙක් කුමාරවරුන්ගේ ඤාතීහු තෑගි බෝග රැගෙන එන අතර මේ (විඪූඩභ) කුමාරයාට එසේ තෑගි රැගෙන එන වැඩිහිටියෙක් නොමැති වීම ගැටලුවක් විය. ඔහු මවගෙන් විමසා සිටින්නේ තමන්ට එවැනි නෑයන් නොමැත්තේ ඇයිද? කියාය. වාසභකත්තියා ඔහු සනසවමින් කියා සිටින්නේ තම ඥාතින් ශාක්‍යවංශිකයන් බවත් ඔවුන් සිටින්නේ ශාක්‍ය ජනපදයේ බවත් ය. සොළොස් හැවිරිදි වියට පත්වන විඩූඪභ කුමාරයා හට කෙසේ හෝ තම ඥාතීන් දකින්නට වුවමනා විය. පුතු වළකා ගන්නට මව නොයෙක් උත්සාහ දැරුවද නොහැකි වූ කල ඔහු පිටත් විය. වාසභකත්තියා ඒ බව කල් වේලා ඇතිවම ශාක්‍ය වංශික තම ඥාතීනට දන්වා යැවුවාය.

ශාක්‍යවංශිකයෝ තම දාසියගේ කුසින් උපන් විඩූඪභ කුමරා තමන්ගේ නිවෙස්වලට ගෙන්වා ගැනීමට ඇකැමැති වූහ. සියල්ලෝම නගරයේ සන්ථාගාරයට රැස්ව කුඩා ආසනයක් තැබූහ. විඩූඪහ කුමරා එහි පැමිණී කල එම කුඩා අසුනෙහි වාඩිවීමට සලස්වා ඔහුගේ ඥාතීන් එකිනෙකා හඳුන්වා දෙන්නට විය. කුමරා ඒ සියල්ලටම වඳිමින් අවසානයේ තමාට වඳින බාලයෙක් නැද්දැයි විමසීය. සෑම කුමාරයෙකුම ශාක්‍යයෝ සඟවා තැබූහ. කුමාරවරුන් ඔවුන්ගේ ජනපදවලට පිටත්ව ගොස් ඇති බව කීහ.

ඉතිරි කොටස මැයි 31 වනදා පත්‍රයේ පළවේ


ධම්මපදට්ඨකතාවෙන් – 11 අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කිරීමේ විපාක

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]kehouse.lk