UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ 260 වසරක් සපුරන උපසම්පදාව

මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ 260 වසරක් සපුරන උපසම්පදාව

අනුබුදු මිහිඳු මාහිමියන් මෙරටට බුදුදහම හඳුන්වාදීමත් සමඟ මේ රටේ ඇති වූ ලාංකීය භික්‍ෂු වංශයේ මූලස්ථානය බවට පත්වූයේ අනුරපුර මහාවිහාරය යි. රාජධානි අනුක්‍රමයෙන් වෙනස්වීමත් සමඟ මෙකී මහාවිහාරීය භික්‍ෂු මූලස්ථාන ද ක්‍රමයෙන් ඒ ඒ ස්ථාන වලට සංක්‍රමණය වූ බවත් මෙකී මහාවිහාර භික්‍ෂු වංශයෙන් අසම්භින්නව පවතින වර්තමාන භික්‍ෂු මූලස්ථාන දෙක අස්ගිරි මල්වතු උභය මහාවිහාරය බවත් තහවුරු වූ සත්‍යයකි. ශාසන භාරධාරිත්වයෙන්, ඓතිහාසිකත්වයෙන්, මෙන්ම රාජකීයත්වයෙන් ද අනූන වූ මෙම මහාවිහාරගත භික්‍ෂු වංශය උභය වාසයක් බවට පත්වූයේ සියම උපසම්පදාව පිහිටුවීමෙන් අනතුරුව බව පෙනේ.ඊට වසර 260ක් සපිරෙන මේ අවස්ථාවේ ඒ පිළිබඳ තතු විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

බුදුපියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ උපසම්පදා ක්‍රම 08 කි. එනම් ඒහි භික්ඛු මහණ උපසම්පදාව, සරණාගමන උපසම්පදාව, ඕවාද පටිග්ගහන උපසම්පදාව, පඤ්ඤව්‍යාකරණ උපසම්පදාව, ගරුධම්ම පටිග්ගහන උපසම්පදාව, දුතෙන උපසම්පදාව, අට්ඨවාචක උපසම්පදාව,නත්ථි චතුත්‍ථකම්ම උපසම්පදාව යනුවෙනි. ඉන් පළමු උපසම්පදා ක්‍රම 04 ම බුදුරදුන් වෙතින්ම ලැබියයුතු වන අතර,අෂ්ඨගරුධම්ම ආදි අනෙක් උපසම්පදා ක්‍රම තුන භික්‍ෂුණීන් උදෙසා පනවන ලදී. එය ථේරවාද සම්ප්‍රදාය අනුව මේ වන විට ලොවින් අතුරුදහන් වී ඇත. අටවැනිව බුදුරදුන් විසින් සංඝ සම්මුතියෙන් සිදුකළ හැකි ඤත්ති චතුත්‍ථකම්ම උපසම්පදාව අනුදැන වදාළ අතර ථේරවාදි බෞද්ධ භික්‍ෂුන්වහන්සේ අද දක්වා සිදු කරනුයේ එකී උපසම්පදාවයි.

එය ද වරින්වර ලොව ඇතැම් රටවල විවිධ දේශපාලනික සමාජීය හේතු නිසා අතරුදහන් වූ අතර ඒ සෑම අවස්ථාවන් වලදී සෙසු රටවලින් නැවත ධර්ම විනයානුකූ®ලව එකී උපසම්පදාව රැකගෙනවිත් ථේරවාදී ශාසනික සම්ප්‍රදාය චිරස්ථායි කළ බව ඉතිහාසයේ සඳහන්ව පවතී. එවැනි අවස්ථා කිහිපයක් ලෙස පොළොන්නරු මහා පරාක්‍රමබාහු රජු සමයේ සියම් දේශයට මෙරටින් උපසම්පදාව රැගෙන ගිය බවත්, එම උපසම්පදාව ලද භික්‍ෂූන් සිංහල සංඝ නමින් හැඳින් වූ බවත් සඳහන් වේ. තවද කෝට්ටේ යුගයේ ද මෙරටින් උපසම්පදාව ගෙන ගිය බවත් මහනුවර 11 විමලධර්මසූරිය රජු කල රක්‍ඛංග දේශයෙන් භික්‍ෂූන් වැඩමවා ගැටඹේ තොටේ උපසම්පදාවක් සිදුකළ බවත් ශාසන ඉතිහාසයන් තුළ සඳහන්ව ඇත.

මහනුවර රාජධානිය ආරම්භ වූයේ 1 වන විමලධර්මසූරිය රජතුමාගෙනි, එතැන් සිට මෙම රාජධානියේ අවසානය දක්වාම පෘතුගීසි, ලන්දේසි හා ඉංගි‍්‍රසි යන විජාතික ආක්‍රමණිකයින්ට නිතර මුහුණදීමට සිදුවීම නිසා මහනුවර රාජධානි සමය තුළ ප්‍රබල දේශපාලන ආර්ථික සමාජමය ස්ථාවරයක් ඇති නොවීය.මෙහි අනිවාර්ය ප්‍රතිඵලය බවට පත්වූයේ සම්බුද්ධ ශාසනය අතිශයින්ම පරිහාණියට පත්වීමයි. මේ වන විට කන්ද උඩරට යම් ශාසනික ස්ථාවරයක් ගොඩනැගී තිබුණේ අස්ගිරි මහාවිහාරය මුල්කරගෙන වුවත් එහිද සැලකිය යුතු ශාසනික මෙහෙවරක් සිදු කිරීමට තරම් සමාජ වටපිටාවක් නොතිබුණි. ඪම පණ්ඩිත පරාක්‍රමබාහු රජසමය සිරිවර්ධන නම් සේනාධිකාර විසින් සෙංකඩගල නුවරක් ඉදිකොට එහි උතුරු දෙසින් ඇරඹී නව ආරාමයට යාපහුවේ අච්ඡ පබ්බත සෙනසුනේ භික්‍ෂූන් වැඩමවීමෙන් අස්ගිරි නමින් ප්‍රකට වී ඇති මෙම භික්‍ෂු වාසය ගම්පොළ යුගය වන විට දීප්තිමත්ව තිබූ බව පෙනේ. ගම්පළ රජකළ වික්‍රමබාහු වැනි රජවරු මෙම අස්ගිරි මූලස්ථානයේ විසූ මහතෙරුන් උදෙසා ‘ගනදෙවුනායක’ ආදී තනතුරු පිරිනැමූ බවත් සියම් උපසම්පදාව දක්වාම මෙම මූලස්ථානය තුළින් විශාල ශාසනික මෙහෙවරක් ඉටු වූ බවත් පිළිගත හැකි සත්‍යයකි.

පළමුවන විමලධර්මසූරිය රජතුමා මහනුවර රාජධානිය ආරම්භ කොට දළදා වහන්සේ මහනුවරට වැඩමවා ශාසනික ප්‍රබෝධයක් ඇති කිරීමට උත්සාහ කළ ද පැවති දේශපාලන අස්ථාවර භාවය නිසා එය එතරම් සාර්ථකත්වයට පත්නොවීය. දෙවන විමලධර්මසූරිය රජු දවස වනවිට උපසම්පදාව මෙරටින් ගිලිහී ගොස් තිබූ නිසා රක්‍ඛාංග දේශයෙන් උපසම්පදාව ගෙනවුත් ගැටඹේ තොටේ උපසම්පදා විනය කර්මයක් සිදුකළ ද වැඩිකල් නොගොස්ම යළිත් මෙරටින් උපසම්පදාව අතුරුදහන්වන තත්වයට වැඩ සැලසුණි. මෙකල විසූ රාජ්‍ය ප්‍රධානින්ට ද තම දේශපාලන ස්ථාවරය ආරක්‍ෂා කරගැනීම සඳහා කැපවෙනු විනා විශාල ශාසනික මෙහෙවරක් ඉටු කිරීම කෙරෙහි අවධානය යොමුකිරීමට අවකාශ නොලැබුණි.

සිංහල රාජවංශයේ අන්තිමයා වූ නරේන්ද්‍රසිංහ රජතුමාගේ අදූරදර්ශී රාජ්‍ය ප්‍රතිපත්තිය ද මෙකල උඩරට රාජධානියේ අන්ත පරිහාණියකට මෙන්ම සිංහල රාජවංශය දකුණු ඉන්දියානු වඩූග රජුන් අතට පත්වීමටද ඉවහල් විය. විනෝදකාමි රජෙකු වූ මොහු තම පෞද්ගලික සැප විහරණය පිළිබඳ සිතුවා විනා රට තුළ දේශපාලන ආගමික ස්ථාවරයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු නොකළේය.

මේ වන විට පිරිහී තිබූ ශාසනික පසුබිම තේරුම්ගත් වැලිවිටි සරණංකර හෙරණපාණෝ සම්බුද්ධ ශාසනයේ සහ භාෂා ශාස්ත්‍රයන්හි උන්නතිය උදෙසා මහත් වූ පරිශ්‍රමයක් දරමින් සිටියහ. පැවති ශාසනික සම්ප්‍රදාය පිළිබඳ උන්වහන්සේ තුළ එතරම් ප්‍රසාදයක් නොවීය. මේ නිසා පිළිවෙත් ගරුක සාමණේවරුන් ඒකරාශි කරගෙන තමන් වහන්සේගේ මහත් පරිශ්‍රමයකින් සිංහල පාලි සංස්කෘත ආදි භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කර අන්‍යයන්ද එහිලා ප්‍රගුණ කරමින් ඇරඹී මේ ව්‍යාපාරය මල්ඵල ගැන්වීමට නම් උපසම්පදාව යළි පිහිටුවිය යුතුය යන තිර අධිෂ්ඨානයෙන් කටයුතු කළහ. එහිලා නරේන්ද්‍රසිංහ රජුට ඇවිටිලි කළද ඉන් ඵලක් නොවූ තැන ඔහුගේ අගමෙහෙසි ඉමදුරාපුර රාජවංශික බිසවක් වූයෙන් තම ඇවෑමෙන් රජකම අගමෙහෙසියගේ සොහොයුරාට පවරාදීමේ අටියෙන් මෙරටට ගෙන්වා ගත් කන්දසාමි කුමරුට ශිල්ප ඉගැන්වීමේ කාර්ය මුන්වහන්සේ භාරගත්හ.

නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් ශ්‍රී‍්‍ර විජය රාජසිංහ නමින් රජ වූ මෙම රජතුමාග් සහායෙන් උපසම්පදාව නැවත මෙරටට ගෙන්වා ගැනීමේ අටියෙන් දූත කණ්ඩායම් දෙකක් සියමට හා බුරුමයට පිටත්කර හැරිය ද එය ආසාර්ථක විය. එයින් නොනැවතුණු මුන්වහන්සේ සිය මනදොළ සපුරා ගැනීම සඳහා නොනවතින උත්සාහයක යෙදුනාහ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය උදාව (ක්‍රි.ව. 1747- 1782 දක්වා) මහනුවර යුගයේ දීප්තිමත්ම කාලය ලෙස සැලකිය හැකිය. තම අභිප්‍රාය පිළිබඳ මෙතුමාට සැළකල සරණංකර හෙරණපාණෝ රජතුමා ඊට එකඟ කරගැනීමට සමත්වූහ.අස්ගිරි විහාරයේ සහ පොහොය මළු විහාරයේ එවකට සිටි මහතෙරවරුන්ගෙන් ද උපදෙස් ලද රජතුමා “මා දවස බුදුසසුන කටයුතු කළේය. පළමු ගමනේ දිවි බේරාගත් විල්බාගෙදර රාළගේ මූලිකත්වයෙන් 1750 අගෝස්තු මස ගමන් ආරම්භ කළ මේ දූත පිරිසට රජතුමා විසින් සියම් රජුට පිරිනමන ලද පඬුරු පාක්කුඩම් ද අස්ගරි විහාරවාසි ගොලහැංවත්තේ ධම්මදස්සි හිමිපාණන් පාලි භාෂාවෙන් රචනා කරන ලද සන්දේශය ද රැගෙන ත්‍රිකුණාමල වරායෙන් ගමන් ආරම්භ කළහ. ඕලන්ද නැවකින් සියම් රට අයෝධ්‍ය පුරයට ගොස් සියම් රජු හමු වී මෙ පුවත් සැළකොට සියම් ජාතික උපාලි තෙරුන් සමඟ මහතෙරුවන් 18 නමක් ද සාමණේර 07 නමක් ද සමඟ දූත පිරිස නැවත ත්‍රිකුණාමල වරායට පැමිණියහ.

මෙ පුවත් දැනගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මහත් ප්‍රසාදයට පත්ව ඇහැලේපොල මහඅධිකාරම් සහිත දූත පිරිසක් එහි යවා මොවුන් පිළිගෙන ගොඩපොල විහාරයට කැඳවාගෙන ආහ. ඒ වනවිටත් අස්ගිරි විහාරයේත් පෝය මළු විහාරයේත් නායක තෙරුවරුන් සහ සරණංකර හෙරණපාණන් ද එහි ගොස් සිටියහ. මෙම දූත පිරිස හරසරින් පිළිගෙන මහනුවරට වැඩමවා ගෙන එන අතරතුර රජතුමා ද මහවැලි ගං තොටට ගොස් මුන්වහන්සේලා පිළිගෙන රජතුමාගේ මල් උයනේ අභිනවයෙන් ඉදිකරන ලද නව ආරමයෙහි මෙම රාජකීය දූත පිරිස වඩාහිඳුවන ලදී.

1753 ඇසළ මස පුන්පොහෝ දින පළමු උපසම්පදා විනය කර්මය පොහොයමළු විහාරයේ දි ස්‍යාම දේශීය උපාලි මහතෙරුන් ප්‍රමුඛ දසවර්ගික සංඝයා ඉදිරියේදි සිදුකරන ලදී. ඒ මෙයින් වසර 260 කට එපිටදීය. එදින පළමුවෙන් සියම් ජාතික සාමණේර නමක් උපසම්පදා කළ අතර දෙවනුව පොහොය මළුවේ ගනනායක කොබ්බෑකඩුවේ හෙරණපාණන් ද තෙවනුව අස්ගිරි විහාරයේ ගනනායක නාවින්නේ ධම්මදස්සි හෙරණපාණන් ද සිව්වැනිව සරණංකර හෙරණපාණන් ද වශයෙන් මෙම උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදහ. කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේත් සරණංකර හෙරණපාණන්ගේත් දීර්ඝ කාලීන අභිප්‍රායවූ මෙම උපසම්පදා විනය කර්මය යළි පිහිටුවීම මෙරට ශාසන ඉතිහාසයේ ඉතා සුවිශේෂී අවස්ථාවක් බවට පත්විය. එයින් නොනැවතුණ රජතුමා මෙහිලා මහත් උත්සාහයෙන් කටයුතු කළ සරණංකර මාහිමියන්ට තුන්ලක සඟරාජ පදවිය පිරිනමා ඊට නිසි වටාපත ද පිළිගැන්වූහ.

අනතුරුව අස්ගිරි විහාර පාර්ශ්වයට උරුලෑවත්තේ ධම්මසිද්ධී මහා නා හිමියන් උප සගරජ තනතුරටද පොහොය මළු විහාර පාරශ්වය (එතැන් පටන් මල්වතු විහාර පාර්ශ්වය) සඳහ තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියන් උප සඟරජ තනතුරට ද පත්කර ඊට නිසි වටාපත් උන්වහන්සේලාට පුදනු ලැබීය.තවද උභය මහාවිහාරයට අනූනා හිමිවරු දෙනම බැගින්ද කාරක සභිකයන් වහන්සේලාද පත්කොට ශාසන චිරස්ථායි බව ඇතිකළ එතුමා බොහෝ කලක් මෙරට ශාසනය නිරුපද්‍රිතව පවත්වා ගැනීම සඳහා බොහෝ කටයුතු සැලසීය.

ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවේ භාරකාරත්වයද අනතුරුව තුන් ලක පිහිටි ඉපැරැණි සිද්ධස්ථාන 2400 බැගින් 4800 ක් වූ මහියංගණ, කැලණිය, ශ්‍රී මහා බෝධිය, ශ්‍රී පාදය ආදි සිද්ධස්ථාන විහාර පාරශ්ව දෙකට සම සමව බෙදා දී වාර්ෂිකව මෙම උපසම්පදා මංගල්‍යයද පවත්වන ලෙස රාජ නියෝග කොට තැබීය. වෙසක්, පොසොන් පොහොය අතර පොහොය පහට විහාර දෙකේ සාමණේවරු පස්දෙනා බැගින් දසදෙනෙකු තෝරා රජවාසල වෙනුවෙන් උපසම්පදා කිරීමටත්, රජතුමා විසින්ම මෙම උපසම්පදාපේක්‍ෂක නාගයින්ට ශ්‍රී දළදා මාලිගයේ දී ඔටුනු පළඳවා පෙරහරින් උභය විහාරයට පිටත්කොට රජවාසල වෙනුවෙන් උපසම්පදා කිරීමටත් නියමකොට ඇත. එනිසා මෙම රජවාසල වෙනුවෙන් උපසම්පදාව ලබන නාගයින් (වාහල නාග) යනුවෙන් හඳුන්වන අතර අද දක්වාම මේ චාරිත්‍රය සිදුකරන අතර රජතුමා වෙනුවෙන් එම නාගයින්ට ඔටුනු පැලඳවීම අද සිදුකරනුයේ දියවඩන නිලමේතුමා විසිනි.

අනුරාධපුර මහාවිහාරයේ ආරම්භ වූ මෙම මහාවිහාරාගත භික්‍ෂුවංශය මහනුවර රාජධානිය දක්වාම අඛණ්ඩව පැවතගෙන අවුත් ශ්‍යාමෝපසම්පදාවෙන් පසු උභය වාසයක් ලෙස මෙසේ විකාශනය වී ගිය අතර, මෙයින් අඩසියවසකට පමණ පසු බුරුමයේ අමරපුර දේශයෙන් උපසම්පදාව රැගෙනවිත් අමරපුර නිකාය සහ රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ලබා මෙරට රාමඤ්ඤ නිකායත් අරම්භ වූ අතර,මේ නිසාම ඉහත කී මහාවිහාර වංශාගත අස්ගිරි මල්වතු උභයවාසි මෙම භික්‍ෂු පරපුර සියම් මහා නිකාය යනුවෙන්ද හඳුන්වන්නට විය.

පුරා වසර 260 ක් මෙම උභය මහාවිහාරයෙහි මෙම ශාසනික සම්ප්‍රදාය නොකඩවා සිදුකරගෙන එනු ලබන අතර මෙවර වෙසක් පුන්පොහෝ දිනට ආරම්භ වන්නේ එහි 260 වන උපසම්පදාවයි. අස්ගිරි විජයසුන්දරාරාම මහාවිහාරද්වයාධිපති හා රන්ගිරිදඹුළු රජමහා විහාරාධිපති අතිපූජ්‍ය උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී‍්‍ර ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හා උපෝෂථ පුෂ්පාරාම මහාවිහාරාධිපති හා රිදී විහාරාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාරවංශික ශ්‍යමෝපාලි මහානිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ යන දෙනමගේ මූලික අනුශාසනා පරිදි සානුනායක කාරක මහා සංඝ සභා දෙක වෙතින් මෙවරද සාමණේරයන් වහන්සේලා 400 කට අධික ප්‍රමාණයක් උපදසම්පදා ශීලයෙහි පිහිටුවීමට නියමිතව ඇත.

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]