UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලා ව 18 විපතක ප්‍රතිවිපාක

පුනරුප්පත්ති ලිපි මාලාව 18

විපතක ප්‍රතිවිපාක

අප කරන ක්‍රියාවන්ට අනුව එහි විපාක ලැබෙන බව බුදුදහමේ එන මූලිකම ඉගැන්වීමකි. එය උදාහරණයකින් කියන්නේ නම් අස්වැන්න ලැබෙන්නේ අප සිට වූ බීජයට අනුවය. අයහපත් දේ කළොත් අයහපත් ප්‍රතිවිපාක ලැබේ. යහපත් දේ කළොත් යහපත් ඵලවිපාක ලැබේ. චුල්ලකම්ම විභංග සූත්‍රයෙන් ද පැහැදිලි වූයේ අප කරන කර්මයන්ගේ විපාකයන් සෘජුවම ඊළඟ භවය සඳහා බලපාන බවයි.

පසුගිය ලිපි දෙකෙහිම අපගේ අවධානයට යොමු වූයේ මජ්ඣිම නිකායේ ඇතුළත් ‘චුල්ල කම්ම විභංග සූත්‍රයේ’ සඳහන් කර්මය, පුනර්භවය සඳහා බලපාන අයුරු විමසා බැලීමට ය.

ඇමෙරිකන් ජාතික ‘එඩ්ගාර් කේසි’ පුනර්භවය සඳහා කර්මය බලපාන බව පෙන්වීමට පර්යේෂණ රැසක් සිදු කර ඇත.

‘එඩ්ගාර් කේසි’ කළ පර්යේෂණ අතර විශේෂත්වය වූයේ කෙනෙකු ස්වයං මෝහන නිද්‍රාවට පත්කර ඔවුන් පෙළෙන රෝගාබාධ, පවුල් අවුල් ,පෞරුෂ ගැටලු ආදියට මෙන්ම ඔවුන්ගේ දක්‍ෂතා මනා සෞඛ්‍ය සහ යහපත් දිවි පැවැත්ම ආදියේ හේතු ඇත්තේ පුනර්ජන්මවල බව සොයා ගැනීම ය. විශේෂයෙන්ම මෙම ආත්මයේ අප විඳින සැප, දුක් හමුවේ කර්මය බලපාන බව ඔහු විසින් තහවුරු කරගෙන ඇත. මෙවර අපගේ අවධානය යොමුවන්නේ ‘එඩ්ගාර් කේසි’ පුනර්භවය සඳහා කර්මය බලපානබව පෙන්වීමට සිදු කළ පර්යේෂණ කෙතරම් දුරට බෞද්ධ කර්ම විභාගය පිළිබඳව ගැළපෙන්නේදැයි සසඳා බැලීමටය.

ප්‍රශ්නය – පුනර්භවය සඳහා කර්මය බලපාන බව පරියේෂණවලින් තහවුරු කළ හැකිද?

බෞද්ධ දර්ශනයට අනුව කර්මය පුනර්භවය සඳහා සෘජුවම බලපාන බව පෙන්වීමට අපි ඉහත සාකච්ඡා වාර වලදී අවධානය යොමු කළෙමු. අප කරන ක්‍රියාවන්ට අනුව එහි විපාක ලැබෙන බව බුදුදහමේ එන මූලිකම ඉගැන්වීමකි. එය උදාහරණයකින් කියන්නේ නම් අස්වැන්න ලැබෙන්නේ අප සිට වූ බීජයට අනුවය. අයහපත් දේ කළොත් අයහපත් ප්‍රතිවිපාක ලැබේ. යහපත් දේ කළොත් යහපත් ඵලවිපාක ලැබේ.

(යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං - කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරීච පාපකං)

පසුගිය සාකච්ඡා වාරයන් හි දී අපගේ අවධානය යොමු වූ චුල්ලකම්ම විභංග සූත්‍රයෙන් ද පැහැදිලි වූයේ අප කරන කර්මයන්ගේ විපාකයන් සෘජුවම ඊළඟ භවය සඳහා බලපාන බවයි. අප සිදුකරන කර්මයන්ගේ විපාකයන් දෙවන භවය සඳහා බලපාන අයුරු පිළිබඳ වැදගත් පර්යේෂණ රාශියක් සිදු කළ පර්යේෂකයෙකි එඩ්ගාර් කේසි. ඔහු කළ, ඒ පර්යේෂණයන් අතර අයහපත් අයුරින් හැසිරී දෙවන භවයේ ඒ සඳහා විපාක වශයෙන් විවිධ ශාරීරික විරූපිතාවලට හා රෝගාබාධයන්ට පත් වූ පිරිස බොහෝ ය. ඒ අතරින් එවැනි අවස්ථා කිහිපයක් පමණක් මෙහි දී සඳහන් කරන්නෙමු.

අනුන්ට උපකාර නොකිරීමේ විපාක

හිසෙහි දිය පිරීමේ රෝගයෙන් (Hydrocephalus) ආබාධිත වූ දැරියකගේ එම ආබාධිත තත්ත්වය ගැන සොයා බැලූ කේසි එය පෙර ජන්මයක ඇයට උපකාර විය හැකිව තිබියදී එය නොකළ ඇයගේ පියාට වර්තමාන භවයේ ලැබුණු මදක් කටුක වූ එහෙත් අවශ්‍යයෙන්ම ලැබිය යුතු සංවර්ධනාත්මක පාඩමක් බව කියා ඇත. ඒ තම දරුවාගේ අසරණභාවය දැකීමේ මාර්ගයෙන් ඔහුට පීඩා විඳින දරුවන්ගේ අත්දකින දුකත්, මිනිස් දුකේ අර්ථයත් තේරුම් ගැනීමට සැලැස්වීමෙනි.

ආත්මාර්ථකාමී වීමේ විපාක

බහුවිධ ස්ක්ලේරෝසීස් (Multiple Sclerosis) නම් බරපතළ රෝගයෙන් පෙළුණු විදුලි කාර්මිකයෙකුගේ පෙර ජන්මය විමසූ කේසි එය ආත්මාර්ථකාමය පරපීඩිත තෘප්තිය ද්වේෂය හා අයුක්තිය ආදියට වහල්වීමේ විපාක බවත් සුවපත්වීමට අවශ්‍ය නම්, එම ආකල්ප ඉවත දමා සංස්කරණය විය යුතු බවත් මේ රෝගී තත්ත්වය ඒ සඳහා ඔහුට ලැබුණු අගනා අවස්ථාවක් ලෙස කේසි දකියි.

අනුන්ට වද හිංසා කිරීමේ විපාක

ඇස් අන්ධව උපන් පුද්ගලයෙකුගේ පූර්ව ජන්මය විමසූ කේසි එය ඔහු වරක් පර්සියාවේ ගෝත්‍රික සමාජයක වාසය කරද්දී ඔහු තම ගෝත්‍රිකයන් විසින් අල්ලාගන්නා ලද ඇස්, රත්කළ යකඩ කූ®රුවලින් ඇන අන්ධ කිරීමේ විපාකයක් බව කියා ඇත. එදා ඔහු විසින් අන්ධ කරන ලද මනුෂ්‍යයන් ලද වද වේදනා සහ දුෂ්කරතා සපුරා අත්දකින්නට මෙදා ඔහුට ලැබී ඇති බව කේසිගේ විවරණය විය.

අනුන් විකලාංග ඇත්තවුන් කිරීමේ විපාක

පෝලියෝ රෝගයෙන් බරපතළ ලෙස ආබාධිත වී කිහිළිකරු හා උරස්බන්ධන පාවිච්චි කිරීමට සිදු වූ තරුණියකගේ පෙර ජන්මය විමසූ කේසි, එය එකල ඇය තම නිවසෙහි වැඩකාරියන්ව සිටි දාසියන්ට වද දී ඔවුන් විකලාංග ඇත්තවුන් බවට පත් කිරීමේ විපාක බව පවසා ඇත.

කෑමට කෑදරවීමේ විපාක

බාලවියේ සිටම ආහාර අජීර්ණයෙන් නිරතුරු රෝගීව සිටීම නිසා සීමිත ආහාර කීපයකින් පමණක් යැපීමටත්, කෑම වේලක් දිරවා ගැනීමට දීර්ඝ වේලාවක් ගත කිරීමටත් සිදුවීම නිසා දුෂ්කරතා රැසකින් පෙළුණු මැදිවියේ මිනිසෙකුගෙන් පූර්ව ජන්මය විමසූ කේසි ඒ තැනැත්තා පෙර ජන්මයන් දෙකක දී ඉතා බරපතළ ලෙස ආහාර තෘෂ්ණාවට වසඟව කෑදරයෙකුව සිට අන් අයට තැබූ ආහාර පවා කෑ නිසා මෙබඳු දුෂ්කරතාවලට ඔහු පත්වූ බව කේසි විසින් තහවුරු කරගෙන ඇත.

අනුන් අපහසුවට පත් කිරීමේ විපාක

බරපතළ අසාත්ම්‍ය  (allergic) රෝග තත්ත්වයකින්, එනම් යම් යම් ද්‍රව්‍යවලින් තනන සපත්තු හා රෙදි පිළි සමේ ස්පර්ශ වූ විටත් යම් යම් ආහාර වර්ග අනුභව කළ විටත් ඒවා අපත්තිවීමේ ආබාධයකින් පෙළුණු කාන්තාවකගේ පූර්ව ජන්මය විමසූ කේසි ඈ පෙර භවයක රසායනික බෙහෙත් පරිහරණය කරමින් මනුෂ්‍යයන්ට කැසීම් හා වෙනත් අපහසුතා ඇතිකිරීමට ඒවා යොදාගත් නිසා මේ භවයේ දී මෙබඳු රෝගී තත්ත්වයකට පත්ව ඇති බව සොයාගෙන ඇත.

අනුන්ගේ ලේ හැලීමේ විපාක

රක්තහීනතාවය හෙවත් ලේ අඩුකම (Anemia) නම් ආබාධයෙන් පෙළුණු පුද්ගලයෙකුගේ පූර්ව ජන්මය විමසූ කේසි එහි දී ඔහු පෙර ආත්මයේ ජනතාවගේ ලේ බොහෝ සෙයින් හෙලූ නිසා මේ ආත්මයේ මෙම රෝගී තත්ත්වයට පත්ව ඇති බව පවසා ඇත.

අනුන්ගේ දුකට සවන් නොදීමේ විපාක

කන් නොඇසීමේ ආබාධයෙන් හෙවත් බිහිරි බවින් පෙළුණු අයෙකුගේ පූර්ව ජන්මය විමසූ කේසි සොයාගෙන ඇත්තේ ඔහු අතීත ජන්මයේ දී ආධාර උපකාර සහ පිහිට ඉල්ලූ අසරණයන්ගේ දුක් අඳෙනාවලට කන්නොදී නොඇසූ අයෙකු මෙන් පිළිපැද ඇති බව තමාගේ වංශවත් බව හා අහංකාරකම ලොකුවට සිතා සිටි නිසා ඔහු මේ ආත්මයේ බිහිරි අයෙකුව ඉපිද ඇතිබව කේසි විසින් තහවුරු කරගෙන ඇත. මෙවැනි පරියේෂණ බොහොමයක් කේසි විසින් පවත්වනු ලැබූ අතර ඒවායින් ඔහු තහවුරු කරගෙන ඇති බොහෝ කරුණු මජ්ඣිම නිකායේ ඇතුළත් චුල්ලකම්ම විහංග සූත්‍රයේ සඳහන් කර්මය පිළිබඳ ඉගැන්වීමට බොහෝ සෙයින් සමානවන බව පැහැදිලි වෙයි.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]