UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොවට පින්කෙතක්

ලොවට පින්කෙතක්

අප සරණ ගිය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ තම ශ්‍රාවකයා තථාගතයන් වහන්සේත්, ඒ ශ්‍රී සද්ධර්මයත්, ශ්‍රාවක සංඝයාත් සරණ යා යුතුයි බවයි. ශ්‍රාවක සංඝ රත්නය මිනිසුන්ට පින් රැස් කර ගැනීමට පින් කෙතක් ලෙසයි උන්වහන්සේ හඳුන්වා දුන්නේ. ඒ සංඝරත්නය පිළිබඳව අද අප කරුණු දැනගනිමු.

අප සංඝ කියන වචනය ටිකක් තේරුම් අරගෙන අවබෝධ කර ගත යුතු වෙනවා. එසේ අවබෝධ කර ගත් අයෙකුට පමණයි වැඩි ආනිසංස ගෙනදෙන සඟසතු දානයක් සිදු කරන්න ලැබෙන්නේ. සැබැවින්ම මහත් ආනිශංස වන සඟ සතු දානයක මහ විපාක ලබන්නට නම් ඒකාන්තයෙන් “සංඝ” කියන වචනයෙන් අර්ථවත් කරන සමූහයා පිළිබඳව පැහැදිලි නිගමනයකට එන්න ඕන. අද දවසේ ඒ පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ නිවැරැදි අදහසක් නොවේ.

“සංඝ” කියන නාමය තථාගතයන් වහන්සේ පරමාර්ථ කොට හඳුන්වා දෙන්නේ හිස මුඩුකරගත් කසාවතක් පොරවා ගත් පිරිසක් නොවේ. ඒ පිරිස සම්මුති සංඝ. එය සම්මතයක් පමණයි. බාහිර ස්වභාවයන් දිහා බලා ඇතිකරගත් උපකල්පනයක් පමණයි. සඟසතු දානයක දී බාහිර ස්වභාවයන් බලා ඇතිකර ගන්න උපකල්පය දානයේ ආනිසංස බවට පත්කර ගන්න හේතු වන්නෙ නැහැ. ඒ සඳහා පරමාර්ථ වශයෙන් ‘සංඝ’ කියන වචනයෙන් අදහස් කරන ඒ උත්තම පිරිස පිළිබඳව පැහැදිලි නිගමනයකට එන්නට වෙනවා.

තථාගතයන් වහන්සේ දානයක් මහත්ඵල මහානිසංස වන මහෝත්තම පිරිස ලෙස නම් කළේ කවුද? ඒ තමයි පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං ලෝකයට පින්කෙතක්.එසේ සුදුසුකම් ලබන්න පුළුවන් වන්නේ ආහුණෙය්‍යෙ, පාහුණෙය්‍යෙ, දක්ඛිණෙය්‍යෙ අංජලිකරණීය කියන සුදුසුකම් වලින් යමෙක් සම්පූර්ණ නම් පමණයි. ආහුණෙය්‍යෙ, පාහුණෙය්‍යෙ ගුණ සුදුසුකම් යමෙකු සතුනම් ඔහු ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සමූහයට අයිති කෙනෙක් වෙන්න ඕන. උන්වහන්සේගේ ශ්‍රාවක සමූහයාට යමෙකු අයත් නම් ඔහු ඒකාන්තයෙන් අට්ඨපුරිස පුග්ගලා ඒසභගවතෝ සාවක සංඝෝ - අෂ්ඨආර්ය භාවයට පත් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් යන සතරමඟ සතර ඵලයට පත් ඒ අට පිරිසට අයත් වෙන්නට ඕන. අෂ්ඨ ආර්ය පිරිසට අයත් නම් ඒස භගවතෝ සාවක සංඝෝ’ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සමූහය යි. යමෙකු සතුව මේ ගුණ සුදුසුකම් ඇද්ද ඔහු ඒකාන්තයෙන් ලෝකයට පින් කෙතක්.

තථාගතයන් වහන්සේ දානයක් මහත්ඵල මහානිශංස කර ගන්නට බුදුරජාණන් වහන්සේට කරන පූජාවන්ට වඩා වැඩි ආනිශංස ගෙන දෙන පින්කමක් කරන්නට නම් සංඝ කියන සමූහයා හඳුනාගෙන ඒ උතුමන් වහන්සේලාට කරන පූජාව මහත්ඵල බව වදාළා. ආහුණෙය්‍යෙ, පාහුණෙය්‍යෙ, දක්ඛිණෙය්‍යෙ, අංජලිකරණීය ගුණ සුදුසුකම් සියල්ල පිළිවෙලින් ලබන්නේ සෘජු වූ ප්‍රතිපදාව අනුවයි. සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න සාමිචිපටිපන්න ආදී මේ සෘජු ප්‍රතිපදාව අනුවයි. සුපටිපන්න භාවය සඳහා රූපාදි ස්කන්ධයන්ගේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් කලකිරීම, නො ඇලීම මිදීම පිණිස බලන්නට ඊට පෙර සුදුසුකම් ලබා තිබෙන්නට ඕන. තථාගතයන් වහන්සේ බුදු බවට පත්වන මොහොතේ රූපය පිළිබඳව, රූප සමුදය, රූප නිරෝධය, රූප නිරෝධ කරන පිළිවෙත පිළිබඳව යම් හා සෙසු ස්කන්ධයන් කෙරෙහි යම් සේ අවබෝධයක් කළේද ඒ ආකාරයෙන් මේ රූපයයි මේ රූප සමුදයයි, මේ රූප නිරෝධයයි, මේ රූප නිරෝධ කරන පිළිවෙලයි කියා දැන ගත්ත පුද්ගලයා ධර්මය විනය කෙරෙහි පිහිටා සුපටිපන්න වෙනවා. ඔහු අෂ්ඨ ආර්ය භාවයට අයත් වෙනවා. මේ සෘජු ප්‍රතිපත්ති සමුදායට අයත් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා සිව්වනක් පිරිසම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සමූහයා යි. ඒ හැම කෙනෙක්ම සියලු දෙනාගේ පුද පූජා ලබන්නට සුදුසු වුවත් භික්ෂු භික්ෂුණි පිරිස උත්තරීතර බවට පත්වෙනවා. ශාසනය වෙනුවෙන් ජීවිතය කැපකළ ඇති බැවින් මෙන්න මේ සමූහයා හඳුනාගෙන මේ පිරිස උදෙසා සඟ සතු දානය පූජා කිරීම වැදගත්.

ඒ නිසා මහා නුවණින් සඟ සතු දානයක් දීමට වර්තමානයේ දී අවශ්‍ය වෙනවා. උදාහරණ ලෙස සිතුවොත් අපට බොහෝ ආනිශංස ගෙන දෙන මෙලොව වශයෙන්ම ප්‍රතිඵල අත්විඳින සම්බුදු පූජාව පිළිබඳව අපට සැකයක් නැහැ. අප බොහෝ කොට සම්බුද්ධ පූජාව පවත්වන්නේ බුද්ධ ප්‍රතිමාවක් අභියසයි. බුද්ධ ප්‍රතිමාව රනින්, රිදියෙන්, මැණික් වලින් මෙන්ම ලෝහයෙන් බදාමයෙන්, මැටියෙන් සිමෙන්තියෙන් කරල තිබෙන්න පුළුවන්. මේ කුමක් කර තිබුණත් අප ප්‍රතිමාව ඉදිරියේ යමක් පූජා කරන කොට අපට පූජාවට ආනිශංස ලැබෙන්නේ ඒ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙන ද්‍රව්‍ය කාරණා මත නොවේ. රනින් රිදියෙන් මැණිකෙන් කළ ප්‍රතිමාවට වැඩි ආනිශංසයකුත් මැටියෙන් කළ ප්‍රතිමාවට අඩු ආනිශංයකුත් ලැබෙන්නේ නැහැ. ප්‍රතිමාව කුමකින් නිර්මාණය කළත් එහි ද්‍රව්‍යාත්මක වටිනාකමේ අඩුවැඩිකම් තිබෙන්නට පුළුවනි. ඒ සම්බුදු පූජාවේ හා පින්කමේ අත්පත් වන්නේ ප්‍රතිමාව නිර්මාණය වූ ද්‍රව්‍ය කරණා අනුව නොවේ. සැබැවින්ම සම්බුදු පූජාවේ මහ පින්කම අත්පත් වන්නේ් පූජාව පවත්වන කෙනා පූජාවට ප්‍රථමවත්, පූජාව පවත්වන මොහොතේ මේ පූජාව සිදු කරන්නේ් කවුරුන් උදෙසාද කියන අදහස ඒ ජීවමාන සම්බුදු ගුණ ජීවමාන බුදුරුව සිහියට නගාගෙන පූජා කිරීමෙන් පමණයි.

එනිසා යමක් පූජා කරන කොට ප්‍රතිමාව අපට සංකේතයක්. සම්බුදු පූජාවේ ආනිශංස ලැැබෙන්නේ පිනෙන් ඒ බුදුගුණය බුදුරුව නිවන් අරමුණු කරගන්නට පුළුවන් වුණා. එතැන මනානිශංස යි. ප්‍රතිමා අපට සංකේතයක් ලෙස උපකාරයක් වුණා. ඒ වගේ අදත් අපට දන් පිලේ දිහා බලා යම් යම් ගුණ අගුණ බව සිතන්න පුළුවන්. ඒ වගේම අපේ දම්පිලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේගෙන් ගුණධර්ම පිළිබඳව යම් යම් අඩුවැඩිකම් තිබෙන්න පුළුවන්. සඟ සතු දානයක් දෙන වෙලාවේදී අපේ පුද්ගලභාවයන් තුළත් අප යමක් විමසීමට නො යා යුතුයි. අප දන්නේ නැහැ මේ දම්පිලේ වැඩ ඉන්නේ සුපටිපන්න, උජුුපටිපන්න, ඤායපටිපන්න ප්‍රතිපදාවෙන් අෂ්ඨ ආර්යභාවයට පත් මාර්ගඵලලාභි ශ්‍රාවක සමූහයාට අයත් අහුණෙය්‍යෙ, පාහුණෙය්‍යෙ, ගුණ සුදුසුකම් ලද ලෝකයට පින්කෙත් වූ උතුමන් වහන්සේලාද එසේ නොවන්නේද කියා. එය දැනගත යුතුද නැහැ. ප්‍රතිමාව ළඟ බුදුගුණ සිහි කරමින් සම්බුදු පූජාව පවත්වන්නට වූවා වාගේ මේ දනට වැඩි භික්ෂූන් වහන්සේලා දිිහා බලා යම් යම් ප්‍රමාණයට ඇති ගුණ දොස් සොයන්නට නොගොස් සඟ සතු දානය පූජා කරන වෙලාවේදී අෂ්ඨ ආර්ය සංඝයා වහන්සේලා ගැන උන්වහන්සේලා සතුව පැවතුන සීල සමාධි ප්‍රඥා විමුක්කි, විමුක්ති ඥාන දර්ශන, මෛත්‍රි කරුණා ගුණ ඒ මහරහතන් වහන්සේ තුළින් මතු වූ උතුම් මානුෂික ගුණ, ඒ චරිත සිහි කරලා රහතන් වහන්සේ නමක් කියන්නේ ආර්යන් වහන්සේ නමක් කියන්නේ මේ වගේ් ගුණ වලින් යුතු උතුමන් කියන අදහස හිතට නගාගෙන එබඳු ගුණ ඇති උතුමන් වහන්සේලා උදෙසාය මේ පූජාව, වන්දනාව කරන්නේ කියා යමෙකුට යමක් පූජා කරන්නට පුළුවන්නම් ඒකාන්තයෙන් සැරියුත් මුගලන් ආදි මහරහතන් වහන්සේ ට කළ පූජාවකට ලැබෙන ආනිශංස බොහෝ දුරට ලබන්න බැරිකමකුත් නැහැ.

දක්ඛින විභංග සූත්‍රයට අනුව කහ නුලක් අතේ හෝ කරේ ගැට ගහලා පැවිදි වෙස් ගත්් කිහියෙකුට අදාල සියලු කටයුතු කරන පැවිද්දන්ගේ් නාමයෙන් පෙනී සිටින ඒ කාසාව කංටකයා හමුවේ පවා ආර්ය කියන පිරිස පිළිබඳව සිතින් සිහිකොට ගෙන රහතන් වහන්සේලාගේ් ගුණ නාමයෙන් මේ පරිත්‍යාගය පූජාව සිද්ධ කරන්නේ් කියලා සැබෑ ගුණ පිරි අදහසින් කාසා කණ්ටකයා හමුවේ වුවත් යමක් පුදනවානම් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා කළ පූජාවක ආනිශංස ලබන්න පුළුවන් බව තථාගතයන් වහන්සේ වදාළා.

එතැනදී අප තේරුම් ගන්න ඕන සැරියුත් මුගලන් රහතන් වහන්සේලාට පූජාකළ දානයේ ආනිශංස කාසාව කංටකයාට පුජා කරන දානයේ ලැබෙනවා කියන කථාව නොවේ මෙතැන කියන්නේ. කාසාව කංටකයා අපට ප්‍රතිමාවක් කරගත හැකියි. ඒ ප්‍රතිමාව ඉදිරියේ අපි සිහිකොට බලමු එය ආරම්භක ඒ ගුණ පිරි උතුමන් වහන්සේලා සිතින් රහත් ගුණය අරමුණු ඉලක්ක කරගෙන ඒ ආර්යන් වහන්සේලාටයි මේ පූජාව සිදු කරන්නේ් කියන අදහසින් යමක් පුජා කළොත් එය ආනිසංස වෙනවා.

ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා ලෙස භික්ෂුන් අපත් ටිකක් මේ ගැන ආවර්ජණය කළොත් පෞද්ගලික දාන 14 ක් තුළ මම අයත් වන්නේ කොතැනද කියා ශ්‍රාවක සංඝයා තනි තනිවම කල්පනා කර බලන්න ඕන මම ඇත්තටම ආහුණෙය්‍යෙ පාහුණෙය්‍යෙ දක්ඛිණෙය්‍යෙ ගුණයන්ගෙන් යුක්තද? කියා පෞද්ගලිකව තම තමාට සිතා බලන්න පුළුවන්. එය පරික්ෂා කිරීමේදී අහංකාර නොවී නිරහංකාර බවකින් මම මා ගැනම විමසන්න ඕන. මම මා ගැන විමසන කොට මම සෝවාන් මාර්ගයටවත් පිවිසෙනවා කියා හෝ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ගුණ සංයෝජන ධර්ම පුරුදු නො කළත් පුරුදු කරන පිළිවෙතට හෝ පිවිසෙනවා කියා මට මා ගැන ප්‍රත්‍යක්ෂණයක් තිබෙනවා නම් මම ශ්‍රාවක පිරිසට අයත් වෙනවා කියා ආර්ය සංඝයාට සතුටු වෙන්න පුළුවන්.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]