UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලා අංක – 16

කර්මය, පුනර්භවය සඳහා බලපාන අයුරු

ගියවර අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ දීඝනිකායේ පායාසි රාජඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන පුනර්භව සංකල්පය පිළිබඳ විමසා බැලීමටය. මෙවර අපගේ අවධානය යොමුවන්නේ කර්මය, පුනර්භවය සඳහා බලපාන අයුරු මජ්ඣිම නිකායේ ඇතුළත් චුල්ලකම්ම විහංග සූත්‍රයේ සඳහන් වන අයුරු විමසා බැලීමටය.

ප්‍රශ්නය – කර්මය, පුනර්භවය සඳහා බලපාන අයුරු බෞද්ධ මූලාශ්‍රයන්ගේ සඳහන් වන්නේ කෙසේද?

කර්මය පුනර්භවය සඳහා සෘජුවම බලපාන ආකාරය සුභ මානවකයා විචාළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දම් දෙසුමක් වන ‘චුල්ලකම්ම විභංග සූත්‍රයෙහි’ ඇතුළත් වෙයි. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් - පහත් භාවයට) කරුණු විමසීය.

“කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා”

එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මය බවයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් - පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බවයි.

“කම්මස්සකා, මාණව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණං කම්මං සත්තෙ විභජති යදිදං - හීනප්පණීතතායාතී”

බුදුරජාණන් වහන්සේ, ඒ සඳහා දීර්ඝ පිළිතුරු වශයෙන් මිනිසුන් අතර දැකිය හැකි විවිධත්වයන් හෙවත් උස්, පහත් භාවයත් දාහතරක් (14) දේශනා කොට ඇත. ඒ වෙනස්කම් අතර පළමු කාරණය වන්නේ යමෙක් අල්ප ආයුෂ ඇතිවීමට හේතුවන කාරණයයි. යමෙක් අල්ප ආයුෂයෙන් මිය යයි නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද ප්‍රාණඝාත අකුසල කර්මයයි. එම කාරණය ඇතුළු සෙසු කාරණා, ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.

1. අල්ප ආයුෂ ඇති වීම සඳහා බලපාන කර්ම

“ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිව්වඨො අදයාපන්නො පාණභූතෙසු සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණං අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති. නො වෙ කායස්ස හෙදා පරංමරණං අපාය දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පවවාජායති අප්පායුකො හොති. අප්පායුකසංචත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං - පාණාතිපාති හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිව්වඨො අදයාපන්නො පාණභූතෙසු.”

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් තොරව නසන සිතැතිව ලේ වැකුණු අතැතිව ප්‍රාණඝාතයේ නියැලුනේ වෙයි ද, මෙසේ ඔහු හෝ ඇය ප්‍රාණඝාත අකුසල කර්මයෙන් සිදුකර ගන්නා වූ විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගති පැවතුම් ඇති විවසව පතිත වන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවි ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් අඩු ආයුෂ ඇත්තෙක් බවට පත් වෙයි. මෙය අල්ප ආයුෂ ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

2. දීර්ඝායුෂ ලැබීම සඳහා බලපාන කර්ම

“ඉධ පන, මාණව, එකව්වො ඉත්ථි වා පුරිසො වා පාණාතිපාතං පහාය පාණතිපාතා පටිච්රතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණං සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, නො චෙ කායස්ස හෙදා පරං මරණං සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති දිඝායුකො හොති. දීඝායුකසංවත්තකා එසා, මාණව, පටිපදා යදිදං - පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්තව බහා තබන ලද දඬු මුඟුරු හා ආයුධ ඇතිව, පවට ලැජ්ජව ප්‍රාණඝාතයෙන් තොරව සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීතව වාසය කරයිද, මෙසේ ඔහු හෝ ඇය සතුන් කෙරෙහි හිතානුකම්පිවීමෙන් සිදු කරගන්නා වූ කුසල විපාකයෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවැතුම් ඇති සැපතින් ආඩ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් දීර්ඝ ආයුෂ ඇත්තෙක් බවට පත් වෙයි. මෙය දීර්ඝ ආයුෂ ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

3. නිතර නිතර ලෙඩවීම සඳහා බලපාන කර්ම.

“ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා සත්තානං විහෙඨකජාතිකො හොති, පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා, සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමදින්නෙන කායස් ස හෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති නො වෙ කායස්ස හෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති බව භාවාධො හොති බව්හාබාධා සංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං - සත්තානං විහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් තොරව දඬු මුගුරු හා ආයුධ වලින් සත්වයන් පීඩාවට පත්කරනසුළු වෙයි ද, මෙසේ ඔහු හෝ ඇය සත්වයන්ට පීඩාකිරීමේ අකුසල කර්මයෙන් සිදුකර ගන්නා වූ විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති වි පතිතවනන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් නිතර නිතර ආබාධවලට ගොදුරුවන තැනැත්තෙක් බවට පත් වෙයි. මෙය නිතර නිතර ආබාධ ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

4. නිරෝගී සම්පත් ලැබීම සඳහා බලපාන කර්ම

“ඉධ පන, මාණව, එකව්වො ඉත්ථි වා පුරිසො වා සත්තානං අවිහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා සො තෙන කම්මෙන එවං සමන්තෙන ඒවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, නො වෙ කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චායාති අප්පාබාධො හොති. අප්පාබාධ සංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං සත්තානං අවිහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්තව බහා තබන ලද දඬු මුඟුරු හා ආයුධ ඇතිව, සත්වයන් පීඩාවට පත්නොකරන සුළු වූයේ වෙයිද, මෙසේ ඔහු හෝ ඇය සත්වයන් කෙරහි දයාවෙන් යුක්තවීමේ කුසල කර්මයෙන් සිදුකර ගන්නා වූ විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඪ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් නිරෝගී සැප ඇත්තෙක් බවට පත් වෙයි. මෙය නිරෝගී සම්පත් ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

5. දුර්වර්ණ වීමට හෙවත් අවලස්සනව ඉපදීම සඳහා බලපාන කර්ම

ඉධ, මාණව, එකච්වො ඉත්ථි වා පුරිසො වා කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති ඛ්‍යාපප්ජති පතිට්ඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤච පාතුකරොති. සො තෙන කම්මෙන ඒවං සමත්තෙන ඒවං සමාදින්තෙන කායස්ස හෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, කො වෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, දුක්ඛණ්ණො හොති, දුක්ඛණ්ණසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති බයාපජ්ජති පතිටඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ සුළු දෙයකට වුව ද, නිතර නිතර කිපෙන සුළු වෙයි ද, ගැටෙයි ද, විරුද්ධ බවට පැමිණෙයි ද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරයිද, මෙසේ ඔහු හෝ ඇය නිතර කිපී අන්‍යයන් සමඟ නිතර ගැටුම් ඇතිකර ගැනීමේ විපාක වශයෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ තම විරූපී ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. මෙය විරූපීවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

6. සුරූපී වීමට හෙවත් ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්ම

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න ඛ්‍යාපජ්ජති න පතිටඨියති න කොපඤ්ච දොසඤ්ච අප්පච චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති. නො වෙ කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති පාසාදිකො හොති. පාසාදිකසංවත් තනිකා එසා, මාණව, පටිපදා යදිදං - අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි චුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න බයාපජ්ජති න පතිට්ඨීයති න කොපඤ්ච දොසඤ්ච අප්පචයඤ්ච පාතුකරොති.

මානවයක, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට නැත්තේ වෙයි ද, බොහෝ දෙයක් කීවේ නමුත් නො කිපෙන සුළු වෙයිද, නොගැටෙයි ද, විරුද්ධ බවට නොපැමිණෙයි ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ නොකරයි ද, මෙසේ ඔහු හෝ ඇය අන්‍යයන් සමඟ සුහදව සිටීමේ විපාක වශයෙන්, ශරීරයේ බිඳීමෙන් හෙටත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඪ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් සුරූපී තැනැත්තෙක් බවට පත් වෙයි. මෙය සුරූපී බව ඇතිවීම සදහා බලපාන ප්‍රතිපදාවයි.

ඉතිරි කොටස අප්‍රේල් 09 වන දා පත්‍රයේ පළ වේ

චුල්ලකම්ම විභංග සූත්‍රය ඇසුරින්


 

මැදින් මස අව අටවක පෝය

මැදින් මස අව අටවක පෝය අපේ‍්‍රල් මස 02 වැනිදා අඟහරුවාදා අපරභාග 11.23 ට ලබයි.
03 වැනිදා බදාදා අපරභාග 09.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම අපේ‍්‍රල් මස 03 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 09 වැනිදා අඟහරුවාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]