UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගි දරුවන්ගේ සිත් සනසන පුද බිම

රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගි දරුවන්ගේ සිත් සනසන පුද බිම

අප හෝ අපගේ පවුලේ සාමාජිකයකු හෝ නොඑසේනම් වෙනත් ඥාතියකු, හිතමිත්‍රයකු රෝගි වූ විට අප සැමගේ ප්‍රාර්ථනය වන්නේ ඒ තැනැත්තා හට ඉක්මන් සුවය ලැබේවා යන්නයි. මෛත්‍රි කරුණා පූර්වකව රෝගියාට නිදුක් නිරෝගි සුව අත්වේවායි ප්‍රාර්ථනා කරන අතරම බෝධි පූජා පින්කම් ආදියද සිදුකරන්නෙමු.වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව මෙලෙස අධ්‍යාත්මික වශයෙන් රෝගියාට ලබාදෙන ශක්තිය රෝග සුවය සඳහා බෙහෙවින් වැදගත්වේ.

මෙවැනි සද්කටයුතු සඳහා ඉඩකඩ සලසමින් ඉඳිවූවකි, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ගොඩනඟා ඇති විහාරස්ථානය. රෝගි වූ ළමයින් දහස් ගණනකට ජීවන හුස්ම පිඹින ජීවක අසපුවක් වන මේ රෝහලේ පිහිටි විහාරස්ථානය හේතුවෙන් මානසික සැනසුම ලැබූ සහ ලබන පිරිස අතිමහත්ය.

‘ලේඩි රිජ්වේ’ යනුවෙන්ද සමහරුන් ‘නෝනා වාට්ටුව’ කියාද හඳුන්වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආරම්භය සනිටුහන් වන්නේ 1895 ජනවාරි 28 වැනිදා එක් ළමා රෝගියකු රෝහලට ඇතුළත් කිරීමෙනි. මෙය අප රටේ එකම ළමා රෝහල පමණක් නොව මුළු ආසියාවේ විශාලතම රෝහලද වන්නේය.

රෝහලේ බෝධි වෘක්‍ෂය රෝපණය කරන ලද්දේ 1952 එහි සේවය කරමින් සිටි කීර්තිමත් වෛද්‍යවරයකු වූ දොස්තර ස්ටැන්ලි ද සිල්වා මහතා විසින් බව පැරැණි වාර්තාවල සඳහන් වේ. කුඩාවට බෝධි වෘක්ෂයක් පමණක් තිබුණද පසුව දර්ශනීය බුද්ධ ප්‍රතිමාවක් සහ බුදුගෙයක් සෙනෙහෙලතා අමරසිංහ මහත්මිය විසින් සාදවා රෝගි දරුවන්ට හා කාර්ය මණ්ඩලයට වන්දනා කිරීමට පූජා කරන ලදී. ඒ 1982 අපේ‍්‍රල් 16 වැනිදාය. 2009 ජනවාරි පළමුවැනිදා රෝහල් අධ්‍යක්‍ෂ ධුරයට පත් වෛද්‍ය මහානාම රාජමන්ත්‍රි‍්‍ර මහතාගේ උපදෙස් අනුව, බෝධි වෘක්ෂය වටා දර්ශනීය බෝධි ප්‍රාකාරයක් ඉදි කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගි දරුවන්ගේ මවුපියවරුන්ගේද සියලුම කාර්ය මණ්ඩලයේද දායකත්වය ප්‍රාකාරය ඉදිකිරීම සඳහා ලැබුණු අතර එම ස්ථානයේ බුද්ධප්‍රතිමාවක් නිර්මාණය කිරීමට දායකත්වය ලබා දුන්නේ රෝහලේ සේවය කරන සේවක මහතෙකි. එම බුද්ධප්‍රතිමා වහන්සේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කරන ලද්දේ 2009 අගෝස්තු 31 වැනිදාය.

යූ.ජී. ධනපාල මහතාගේ සහ විනිතා චන්ද්‍රානි ඩයස් මහත්මිය ගේ ධන පරිත්‍යාගයෙන් චෛත්‍යයක් ඉදි කිරීම සිදු විය.රෝහලේ සියලුම අංශවලත් රෝගි දරුවන්ගේ මවුපියවරුන්ගේත් ආධාරවලින් දර්ශනීය අට විසි බුදුකුටි තනවනු ලැබිණි. බෝධි ප්‍රාකාරය වටා රන් වැටක් ඉදිකිරීම රෝහලේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී. ඉතා අබලන් තත්ත්වයක පැවැති බුදුගෙය ප්‍රතිසංස්කරණය කරමින් ඉතා දර්ශනීය තත්ත්වයට ගොඩනඟන ලද්දේ රෝහල් කමිටුවේ සියලුම මහත්ම මහත්මීන් සහ හෙදි නිලධාරිනි තමරා කුමාරි මහත්මියගේ දායකත්වයෙනි. ධාතු මන්දිරයක් තැනවීම මාලනි ලියනගේ මහත්මිය විසින් සිදුකරන ලද අතර රෝගි දරුවන් වෙනුවෙන් භාරහාර වීම සඳහා දේවාලයක්ද ඉදිකර අත.

දිගින් දිගටම පත් වූ අධ්‍යක්‍ෂවරුන් මෙම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළද අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කිරීමේ භාරදූර කාර්යය පැවැරී තිබූණේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වර්තමාන අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි ඒ .හේවගේ මහතාටයි. මෙම පූජා භූ®මියේ කටයුතු සඳහා පොල්ගොල්ලේ ධම්මකුසල හිමියන් ලබාදුන් දායකත්වය ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය.

මෙහි සම්පූර්ණ භාරකාරත්වය දරනු ලබන්නේ රෝහලේ බෞද්ධ සමිතිය විසිනි. සුදත් වීරසිංහ, එම්.ආර්. සිරිවර්ධන සහ මුස්ලිම් භක්තිකයකු වන එම්.ටී.එම්. නසීර් යන මහත්වරුන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කළ යුතුය.මේ අයට පැවැරී තිබෙන රාජකාරි කටයුතුවලට අමතරව, රෝගි දරුවන්ගේ මවුපියවරුන්ගේ ඉල්ලීම පිට, ඔවුන් පවත්වන බෝධි පූජා හා භාරහාර කටයුතු වලදී දිවා රාත්‍රී නොබලා උදවු උපකාර කරති. රෝගි වූ ලක්ෂ ගණන් දරුවන් එදා සිට අද දක්වා මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා සුවපත් වී ඇත. එබඳු රෝගි දරුවන්ට ආශිර්වාදයක් වන්නට, ඔවුන්ගේ මවුපියන්ගේ සිත් සතන්වලට නිබඳ සහනයක් සලසන්නට මෙන්ම රෝහලේ කාර්ය මණ්ඩලයේ ගුණගරුක බව වර්ධනය කරන්නටද මේ විහාරස්ථානයෙන් ඉටුවන සේවය අතිමහත්ය.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]