UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැකිය යුතු දිවි මඟ

දැකිය යුතු දිවි මඟ

මෙහි පළමු කොටස දෙසැම්බර් 27 වැනිදා පත්‍රයේ පළවිය

“යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනි සෙය්‍යථිදං කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා”
යායං තණ්හා - යම් මේ තෘෂ්ණාව වේද?

නන්දි - සතුටු වීම
රාග - ඇල්ම
තත්‍ර තත්‍රාභිනන්දිනි – ඒ ඒ භවයන්හි අලවන,
කාමතණ්හා - පංචකාම වස්තූන් කෙරෙහි ඇලිම.

භවතණ්හා - සසර භවයන් ප්‍රාර්ථනා කරමින් ශාස්තව දෘෂ්ටින් ලෙස නැතහොත් සදාකාලික ආත්මයක් අපේක්‍ෂා කරමින් ඇතිවන තෘෂ්ණාව

විභවතණ්හා - උච්ඡේද දෘෂ්ටිකයන් ලෙස ඇතිවන තෘෂ්ණාව.

යම් තැනක ඇතිවන තෘෂ්ණාව ඇල්ම හා බැඳී, පංචකාම වස්තූන්, භවය ආදී කරුණු නිසා දුක හට ගනී. මේ ත්‍රිවිධ තණ්හාවන් මුළු මහත් ලොව බැඳී ඇත.

“තණ්හාය ජාලිනියා විසත්ථිකා” – තෘෂ්ණාව දැලක් මෙනි.
යෙ රාග රත්තානු පතන්ති සොතං
සයං කතං මක්කටකොව ජාලං

කෙසේද යත් තෘෂ්ණාවෙන් බැඳුණු පුද්ගලයන් සසරේ ගමන් කරනුයේ මෙසේ ය. මේ පිළිබඳ සම්බුදුරජාණන් වහන්සේ කදිම උපමාවක් ඉදිරිපත් කර ඇත.

සයං කතං මක්කටකොව ජාලං - තමන් හදාගත් දැලේ පැටලී සිටින මකුළුවා මෙනි. දැල වියනුයේ මකුළුවා විසින් ම ය. මකුළුවා දැලේ එහා මෙහා නටමින් ගමන් කරමින් දැලට හසුවන සතුන් බුදිමින් දැල මත ආධිපත්‍යයක් පතුරුවයි. එහෙත් වියපත් මකුළුවාට තමන් විසින් වියාගත් දැලේ ඇවිදීම පවා අපහසුවන අතර දැල විශාල වන තරමට එය මකුළුවාට දැලක් බවට ම පත් වේ. සමාජ ස්වභාවයත් එසේ ය. අපි විශාල වශයෙන් වියාගන්නා සමාජ දැල තුළ ම අපි දිනෙක හිරවෙමු.

“යෙ රාගරත්තානුපතන්ති සොතං”

රාගයෙන් ලෝභයෙන් යුත් අපි දිගින් දිගට සංසාරේ ගමන් කර දුකට පත් වෙමු. තෘෂ්ණාව ක්‍ෂය කළ යුත්තක් බව බුදු හාමුදුරුවෝ පෙන්වා දී ඇත.

තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් ලබන තත්ත්වය කුමක්ද? මේ කාරණාව ධර්මයේ මෙසේ පැහැදිලි කෙරේ.

“යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො” සහ “තණ්හක්‍ඛයො විරාගො නිරොධො” යො තස්සායෙව තණ්හාය – යම් ඒ තෘෂ්ණාවේ

අසෙස - ඉතිරි නොකොට
විරාග - නොඇල්ලීම
නිරොධො - නිරෝධය
චාගො - අත්හැරීම
පටිනිස්සග්ගො - මුදාහැරීම
මුත්ති – මිදීයාම
අනාලයො - නොඇල්ම

තෘෂ්ණාව ඉතිරි නොකොට ඇල්ම ඇති කිරීම, අත්හැරීම, මුදාහැරීම, ඉන් මිදීයාම එහි නොඇලීම නිර්වාණය ලෙස හැඳින්වේ. රතන සූත්‍රයේ නිවන මෙසේ අර්ථකථනය කෙරේ.

“තෙ ඛීණබීජා අවිරුළ්හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථායංපදීපො”

නිවනට පත්වන්නෝ “ඛීණබීජ” ඉදිරියට පැවතීමට ඇති ශක්තිය ක්‍ෂය කළ පසු.

අවිරුළ්හිච්ඡන්දා – නැවත මතු නොවන ඡන්දයක්, කැමැත්තක් ඇති වී (නැවත සසර පැවැත්මට අදාළ ආශාවක්) නොඑන බවයි.

නිබ්බන්ති ධීරා යථොයංපදීපො - එවන් උත්තමයෝ මේ පහන නිවෙන්නා සේ නිවෙති.

සංස්කෘතයේ මෙම කාරණාව මෙසේ අලංකාර ලෙස දක්වා ඇත.

දීපො යථා නිර්වෘතිමභ්‍යුපෙතො
නෛවාවානිං ගච්ඡති නාන්තරික්‍ෂං
දිසන්න කාඤ්චිත් විදිසං න කාඤ්චිත්
ස්නේභක්‍ෂයා කෙවල යාතික්‍ෂාන්තිං

පහනක් නිවුණු පසු පහන් තිරය උඩට ගියේ ද? අන්තරීක්‍ෂයට ගියෙහි ද? කුමන දිශාවට ගියේ දැයි කිව නොහැක. තෙල් ඉවර වූ පසු පහන මුළුමනින් ම නිවේ. මරණින් පසු තවත් තැනක උපතක් හෝ තවත් ආශිර්වාදාත්මක පැවැත්මක් හෝ නොව මුළුමනින් ම සසර දුක අවසන් කිරීම යන අර්ථයෙන් අප නිවන අවබෝධ කොට ගත යුතු වේ. ඒ සඳහා අප අනුගමනය කළ යුතු මඟ කුමක්ද? එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදියයි. එම කාරණා විමුක්තිය සඳහා වන මාර්ගය යි.

සම්මා දිට්ඨි – යහපත් දැක්ම
සම්මා සංකප්ප – යහපත් කල්පනාව
සම්මා වාචා - යහපත් වචන
සම්මා කම්මන්ත – යහපත් ක්‍රියා
සම්මා ආජීව - යහපත් දිවි පැවැත්ම
සම්මා වායාම – යහපත් උත්සාහය
සම්මා සති – යහපත් සිහිය
සම්මා සමාධි – යහපත් ඒකාග්‍රභාවය

චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සඳහා වන්නක් නොව භාවිතයට ගතයුත්තකි. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතු කොටස දුක්‍ඛ සත්‍ය පමණි. තෘෂ්ණාව අවබෝධය සඳහා නොව ‘පහාතබ්බං’ – ප්‍රහාණය කිරීමට ඇති කාරණාවකි. විමුක්තිය හෙවත් නිරෝධ සත්‍යය අවබෝධය පිණිස නොව ‘සච්චිකා තබ්බං’ සාක්‍ෂාත් කිරීමට ය. මාර්ග සත්‍යය අවබෝධ කිරීමට නොව ‘භාවෙතබ්බං’ වැඩීමට ය.

චතුරාර්ය සත්‍යයේ අර්ථ හතරකි. දුක තේරුම් ගත යුත්තකි. සාමාන්‍යයෙන් ඇතිවන දොම්නස් සහගත දේවල් දුක් ලෙස ගිනිය නොහැක. සතෙකුට ගලක් ගැසූ විට ඒ සතා බිය වී කෑ ගසයි. ඌට දුක දැනේ. ඒත් බල්ලා දුක අවබෝධ කරන්නේ නැත. ප්‍රතික්‍රියා කරනු පමණකි. දුක්ඛ සත්‍යය ලෙස අවබෝධ කොට යුත්තේ එවන් කාරණා නොවන වග සිතට ගත යුතු ය.

දුක දැනීම නොව විමුක්තියට අරමුණ කර දුක තේරුම් ගැනීම, නිසරු බව තේරුම් ගැනීම දුක්‍ඛාර්ය සත්‍යයයි. දුක්‍ඛාර්ය සත්‍යය අවබෝධාත්මක දහමකි.

සමුදය සත්‍යය – ප්‍රහාණය කළ යුතු දහමකි.
මාර්ගය – වැඩිය යුතු දහමකි
නිරෝධය - සාක්‍ෂාත් කළ යුතු දහමකි.

එදා බෝසතුන් බෝමැඩ වැඩ සිටිමින් නිවන සාක්‍ෂාත් කර ගනිමින් සම්බුද්ධත්වයට පත් වූ සේක. නිවන අංග දෙකකි.

1. සෝපාදිසේස නිබ්බාණ
2. අනුපාදිසේස නිබ්බාණ යනුවෙනි.

එදා දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම, සුගත තථාගත සර්වඥයන් වහන්සේ බෝමැඬ දී ලබා ගත්තේ සෝපාදිසේස නිබ්බානයයි. උන්වහන්සේ සසර කළ කුසලාකුසලයන්ට අනුරූපව ලත් ශරීරයත් තබාගෙන, පැවැත්මත් සමඟ අවුරුදු 35 දී නිවන් අවබෝධ කළහ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වන අවස්ථාවේ එනම් වයස අවුරුදු 80 දී අනුපාදිසේස නිබ්බාණයෙන් පිරිනිවන් පෑ සේක.

ඒ අනුව උන්වහන්සේට පරිනිර්වාණ දෙකක් පැවතිණි.
ක්ලේෂ පරිනිර්වාණය - කෙලෙස් නැතිකිරීම.

ස්කන්ධ පරිනිර්වාණය - ස්කන්ධ අවසන් කිරීම හෙවත් සසර අවසන් කොට නැවත නූපදින තත්ත්වයෙන් පිරිනිවන් පෑමය.

බෞද්ධ අපගේ පරම අපේක්‍ෂාව විය යුත්තේ සසර ගමන කෙලවර කිරීම ය. බුදුන් වහන්සේ පෙන්වන සසර මෙසේ ය.

සංසාරොඝා මහබ්භයා

සසර මහා සැඩ දිය පහරක් මෙනි. සැඩ දිය පහරට හසු වුවහොත් පිළිවෙළකට ගසා නොයයි. යමෙක් අපේක්‍ෂා කරන අයුරු ගසාගෙන නොයයි. සැඩ දිය පහරට අවශ්‍ය ලෙස පුද්ගලයා ගසාගෙන යයි. අපි කුමන සමාජ, ආර්ථික මට්ටමක සිිටියත් මේ සසර ගමනට හසු වී සිටිමු.

පථව්‍යා ඒකරජ්ජෙන
සග්ගස්ස ගමනෙන වා
සබ්බලොකාධිපච්චෙන
සොතාපත්තිඵලං වරං

පථව්‍යා ඒකරජ්ජෙන – මුළු මහත් ලෝකයට ම එක ම රජු වීමටත් වඩා
සග්ගස්ස ගමනෙන වා - දිව්‍ය ලෝකයට යනවාටත් වඩා
සම්බලොකාධිපච්චෙන - සක්විති රජ වෙනවාටත් වඩා
සොතාපත්තිඵලං වරං - සෝවාන් ඵලය උතුම් ලෙස ගැනේ.

සෝවාන් වූ යාචකයා රජෙක්ට වඩා තෘප්තිමත් පුද්ගලයෙක් ලෙස හැඳින්වේ. එසේ වනුයේ ඔහු ‘සත්තක්‍ඛත්තු පරමතා’ වන බැවිනි. එනම් සෝවාන් ඵලයට පත්වූවෙක් උපරිම භව හතකට වඩා නූපදින හෙයින් වාසනාවන්තයෙක් වේ.

සසරේ අප නොයෙක් භවයන්හි ඉපැදෙන්නට ඇත. බෝසත් චරිතයේ ඇතුළත් තේමිය කුමරුගේ කථාව විමසා බලමු. තේමිය කුමරුගේ පියා රජෙක් වූ අතර, තම පියා විවිධ අයට විවිධ දඬුවම් පමුණුවන ආකාරය කුමරු දැක්කේ ය. කුමරුට ජාතිස්මරණ ඥානය පහළ වී තිබුණි. අතීත භව මතක් කරමින් එක් භවයක දී තමා ද රජෙකු වී වැරැදිකරුවන්ට දඬුවම් පැමිණ වූ ආකාරයත් ඒ තුළින් එදා සිදු වූ අකුසල හේතුවෙන් අපාගතව සිටි ආකාරයත් කුමරුට සිහිපත් විය. එහිදී තේමිය කුමරු කොරෙක්, අන්ධයෙක්, කුදෙක් මෙන් සයනයේ වැතිර සිටියේ ය. එවිට පියරජු කුමරු දැක මොහු රජමැඳුරට නොගැළපේ යැයි කැලයට දැමීමට කටයුතු කළේ ය. කුමරු වනයේ ගස් ගෙඩි, මල් ඵල බුදිමින් සිසිල් දිය ස්නානය කරමින් පානය කරමින් වැඩුණු අතර ශරීරය රන්වන් පැහැ ගත්තේ ය. දිනක් කැලෑවේ ඇවිද යන රජතුමාට කුමරු හමුවුවද හැඳින ගැනීමට නොහැකි විය. ඔබ කවුදැයි කරන ලද විමසීමට තේමිය කුමරු තමා රජතුමාගේ පුත් බව හඳුන්වා දුන්නේ ය. මාළිගයේ සියලු සැප සම්පත් මැද ද කුදෙක් මෙන් සිටි ඔබ කැලෑවේ දී මේ තරම් අලංකාර ශරීරයක් සහිතව ඉන්නේ කෙසේ දැයි රජතුමා කුමරුගෙන් විමසීය. තේමිය කුමරු මෙසේ පිළිවදන් දුනි.

අතීතං නානුසොවන්ති
නප්පජප්පන්ති නාගතං
පච්චුපන්නෙන යාපෙන්ති
තෙන වණ්ණො පසීදතී”

අතීතං නානුසොවන්ති – මම අතීතය පිළිබඳව සෝක නොකරමි.
නප්ප ජප්පන්ති නාගතං - මට අනාගතය ගැන සිතමින් බියවීමට කාරණයක් නොමැත.
පච්චුපන්නෙන යාපෙන්ති – මම වර්තමානය තුළ සතුටින් ජීවත් වෙමි.
තෙන වණ්ණො පසීදතී – ඒ හෙයින් මගේ ශරීරය ප්‍රසන්නය.

යනුවෙන් තේමිය කුමරු පියරජුට පිළිතුරු දුන්නේ ය. එදා කුමරු ගුණධර්ම පිරීම උදෙසා රජකම අත්හැරියේ ය. ගුණධර්ම පිරීමට රජකම බාධාවක් වන බව ඉන් අදහස් නොකෙරේ. තේමිය කුමරුගේ අතීතස්මරණ ඥානය හේතුවෙන් සසර මේ තාක් කල් දුක් විඳීමට සිදු වූ ආකාරය කුමරු දැන සිටි හෙයින් රජකමින් ඉවත් විය. මෙය වඩාත් පැහැදිලි වන්නේ තමන් තමන්ගේ ආධ්‍යාත්මික සුවය සංවර්ධනය කිරීමෙන් ලබන සුව භෞතික සම්පත් වලින් ලබන සුවයට වඩා උතුම් බව අප තේරුම් ගත් කල්හිය. එය ධර්මානුකූල කාරණාවකි. ධර්මයේ සසර මෙසේ දැක්වේ.

මතු සම්බන්ධයි

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි මස 04 වැනි දා සිකුරාදා අපරභාග 09.54 ට ලබයි. 05 වැනි දා සෙනසුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි මස 11 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]