UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිසි ගරුත්වය දිය යුතු දානමය පින්කම

නිසි ගරුත්වය දිය යුතු දානමය පින්කම

එමෙන්ම ධාතු කරඬුවට ඉදිරියෙන්ම බුද්ධ පූජාව තැබිය යුතුවනවා. ඒ සඳහා ධාතු කරඬුවට ඉදිරියෙන් කොටසක් බුද්ධ පූජාව තැබීමට සකස් කර තිබිය යුතුයි. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? ධාතු කරඬුව ඉහළ කොටසින් තබා ඊට යටින් ඇති කොටසේ බුද්ධ පූජාව තබනවා. මදක් සිතන්න

භික්ෂූන් වහන්සේ දානමය පින්කමක් සඳහා නිවසට වඩමවාගෙන ඒමට කෙසේ කටයුතු කළ යුතු දැ’යි අපි පසුගිය සතියේ කතා කළෙමු.

උන්වහන්සේට සුදුසු උස් අසුන් පැනවීම ගැනත් එහිදී කතා කළා.

උතුම් වූ මේ දානය ප්‍රණීත ලෙසින් වගේම නිවැරැදි ලෙසින් පිළිගැන්වීමට අප කටයුතු කළ යුතුවෙනවා.

බොහෝ අවස්ථාවල පිළියෙළ කරගත් දානය බිම තබා තිබෙනවා. පැදුරක් එලා ඒ මත දන් පිඟන් තබා වහන්තරාවෙන් නැත්නම් පත්තර පිටුවලින් වසා දමනවා. කුඩා දරුවන් වසා තිබෙන්නේ මොනවාදැ’යි නොදැන ඒ මතින් දුවනවා. අහාර බිම තබා භික්ෂූන් වහන්සේට පිළිගැන්විය යුතු’යැයි කොතැනකවත් සඳහන් වී නැහැ.

ඔබ බුද්ධ පූජාව පිළියෙළ කරන අයුරින්ම භික්ෂූන් වහන්සේට පිළිගැන්වීමට බලාපොරොත්තුවන ආහාරපාන ස්වල්පයක් මේසයක් මත හෝ උස් ස්ථානයක තබන්න. එය සාංඝික කිරීම හොඳටම ප්‍රමාණවත්.

එසේ නොමැතිව උදෑසන 10 ට පමණ සිට ආහාරපාන බිම තබා වසා දමා තිබෙන විට ඒ ආහාරපාන ප්‍රණීත බව අඩුවනවා. භික්ෂූන් වහන්සේ වැඩම කිරීමට පැයකට එකහමාරකට කලින් ආහාර පාන බෙදීමෙන් එම ආහාරපාන උණුසුම් බැවින් මිදී සිසිල් වෙනවා.

ඉඩකඩ ඇසිරීමෙන් කරදර ගොඩක් ඇතිවෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී භික්ෂූන් වහන්සේට ආසන කරා යාමට අපහසුවෙනවා.

මෙහිදී කළ යුතු එකම දේ භික්ෂූන් වහන්සේගේ දැන ගැනීම උදෙසා පිරිනමන සියලු ආහාරපානවලින් සුළු කොටසක් සාංඝික කිරීම සඳහා සුදු ඇතිරිල්ලකින් වසා තැබීමයි. ඒ සදහා පැරැණි පුවත්පත් පිටු යොදා නොගතයුතුයි.

සුදු ඇතිරිල්ල මඟින් සංකේතවත් කරන්නේ ‘ස්වාමීන් වහන්ස මේ පිළියෙළ කරගත් දානය ධාර්මිකයි’ යන්නයි.

එසේම බොහෝ විට ඔබ අතින් සිදුවන තවත් වරදක් වන්නේ දානය බෙදා තැබීමයි.

පිඟානකට කෝම්පිට්ටු හදල වගේ රතුබත් කෝම්පිට්ටුවයි සුදු බත් කෝම්පිට්ටුවයි බෙදනවා. ඒක වටේට එක පිඟානකට පොළොස් තවත් පිඟානකට අච්චාරු මේ අයුරින් බෙදනවා.

මාධ්‍ය මඟින් මේ ගැන කතා කරන්නේ නැහැ. ඇතැම් විට දානය කෙසේ හෝ දීම සුදුසුයි කියා සිතා වන්නට පුළුවන්.

එසේ වුවත් නිවැරැදි දේ අප හෙළි කළ යුතුවනවා. නැත්නම් මෙවැනි වූ අඩුපාඩු කම් දිගටම සිදුවනවා. එසේ කෝම්පිට්ටු ලෙසින් දානය බෙදීම සුදුසු නැහැ. ඇතැමුන් අහනව, ස්වාමින් වහන්ස එසේ නම් හිස් පිඟන් දීම සුදුසුද’ කියා .පාත්තරේ දන් වළඳන භික්ෂූන් වහන්සේගේ පාත්තරයේ කිසිවක් නොමැතිවයි දානය බෙදන්නේ. උන්වහන්සේ විහාරස්ථානයෙන් කිසිවක් රැගෙන එන්නේ නැහැ.

ඔබ පිඟාන පිළිගන්වලා ස්වාමීන් වහන්සේට අවශ්‍ය පරිදි දානය පිළිගන්වන්න. බිම තබා ටික ටික බෙදා තිබීමෙන් දානය වැළඳීමට ඇති පි‍්‍රයතාවය අඩුවීමට පුළුවන්.

දානය පිළිගැන්වීමට පෙර බුද්ධ පූජාව නිසි පරිදි පූජා කිරීමට කටයුතු කළ යුතුවනවා. බුද්ධ පූජාව තැබීමට ඒ සඳහා වෙන් වූ භාජන තැබිය යුතු වෙනවා. ඒ සඳහා වෙනම ම හැඳී තිබිය යුතුයි. ඒ වගේම බුද්ධ පූජාවට පලතුරු තැබීමේදී ගෙඩි පිටින් තැබිය යුතුවනවා. බොහෝ අය කෙසෙල් ගෙඩියේ දෙකොන කපා පූජා කරනවා.

මේ චාරිත්‍රය කොහෙන්ද ඉගෙන ගත්තෙ. කවුද උගන්වා තියෙන්නෙ ඇයි බුදුරජාණන් වහන්සේට කෙසෙල් ගෙඩි ඇවරියක් තබන්න හොඳ නැද්ද? දෙවියන්ට විතරද කෙසෙල් ඇවරියක් පූජා වට්ටියේ තබන්න සුදුසු. බුදුරජාණන් වහන්සේට අඹ ගෙඩියක් සුදුසු නැද්ද? ඇයි අඹ කෑල්ලක් කපා තබන්නේ.

එමෙන්ම ධාතු කරඬුවට ඉදිරියෙන්ම බුද්ධ පූජාව තැබිය යුතුවනවා. ඒ සඳහා ධාතු කරඬුවට ඉදිරියෙන් කොටසක් බුද්ධ පූජාව තැබීමට සකස් කර තිබිය යුතුයි. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? ධාතු කරඬුව ඉහළ කොටසින් තබා ඊට යටින් ඇති කොටසේ බුද්ධ පූජාව තබනවා. මදක් සිතන්න, ජීවමාන බුදුරජාණන් වහන්සේට බුද්ධ පුජාව පූජා කරානම් අප පූජාව තබන්නේ කොතනදැයි කල්පනා කර බලන්න. ඇත්තෙන්ම මේ නිසා කුසල් අඩුවන බව තේරුම් ගත යුතුවනවා.

දානය පිළිගැන්වීමට පෙර පැන් කෝප්ප, පිළිගැන්වීමත් දන් පිඟන් පිළිගැන්වීමත්, අත සෝදන පඩික්කම් හෝ එවැනි උපකරණ සපයාදීමත් අනුපිළිවෙළින් සිදුකළ යුතුවනවා. පසුව දානය පිළිවෙළින් බෙදාගෙන යා යුතුයි.

මෙහිදීද අප අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් දෙකක් තිබෙනවා.

ඉන් පළමුවැන්න භික්ෂූන් වහන්සේ අතින් තම දන් පිඟාන ආවරණය කළහොත් එයින් අප තේරුම් ගත යුත්තේ එම ආහාර වර්ගය භික්ෂූන් වහන්සේට නොබෙදිය යුතු බවයි.

දෙවැන්න භික්ෂූන් වහන්සේ අත නොවසා සිටියහොත් අතින් ආවරණය කරන තුරුම දානය බෙදීමයි. එයත් වැදගත් චාරිත්‍රයක්.

සමහර අය තමන්ට කැමැති ප්‍රමාණයක් බෙදා ඊළඟ භික්ෂූන් වහන්සේට දානය පිළිගැන්වීමට යනවා සුදුළූණු බික් එකක් හෝ දෙකක් බෙදා එතැනින් ඉවත්වනවා.

මේ සියල්ල නියමිත චාරිත්‍රයන් බව අප තේරුම් ගත යුතු වනවා.

දානය සඳහා පිළියෙළ කරගත් ආහාරපාන ව්‍යංජන භික්ෂූන් වහන්සේට මනාව පෙනෙන පරිදි පේළියට ගෙන යාම නිවැරැදි ක්‍රමයයි.

එසේම දායකයන් දන් පිළිගන්වන්නේ මනාව තේරුම් ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඔබේ පවුලේ කිසිවකු හෝ පැවිදි වී නැත්නම් ඔබෙන් දානය ඉල්ලා සිටීමට භික්ෂූන් වහන්සේට හැකියාවක් නැහැ.

වසර 2600 ක් ගතවී ඇතත් බොහෝ අය මේ චාරිත්‍ර විධි දන්නේ නැහැ.

දන් වළඳා අවසන් වූ පසුව අප අනුගමනය කළ යුතු වත් පිළිවෙත් ද ඒ අයුරින්ම සිදුකළ යුතුයි.

කිරිපැණි, අයිස්ක්‍රීම් වැනි අතුරුපස පළමුවෙන් පිළිගැන්විය යුතුයි. ඉන්පසුව අවුළුපත් හෙවත් රසකැවිලි පිළිගැන්විය යුතු වෙනවා. ඉන්පසුව පලතුරු පිළිගැන්වීම සිදු කරනවා.

ආහාර වර්ග පිළිගන්වා අවසානයේ වැළඳූ භාජන ඉවත් කර කෝපි පිළිගැන්වීම සිදුකරනවා. අවසානයේ දැහැත් වට්ටියක් පිළිගන්වනවා.

මදක් සිතා බලන්න. මේ සඳහන් කරපු වතාවන් වලින් ඔබ කොපමණ වතාවත් නිවැරැදි නොවන ලෙසින් සිදු කරනවාද කියා. මේ අවස්ථාවේදී බුද්ධ පූජාව ඉවත් කළ යුතුයි. පිරිකර පිළිගැන්වීමෙන් පසු භික්ෂුන් වහන්සේගේ අනුශාසනාවෙන් දානමය පින්කමේ වතාවත් අවසන් වෙනවා.

නිවැරැදිව දානය පිළිගැන්වීමට දානය සකස් කිරීමට ඔබ කටයුතු කළ යුත්තේ එම දැනුම අනාගත පරපුරටද දායාද කරමින්. විශේෂයෙන්ම දානමය පින්කමකට සුදුසු ඇඳුමකින් සැරැසී සිටීම ගැන මෙහිදී අවධානයෙන් කටයුතු කළ යුතුයි.

පින්කමේ ගරුත්වය රැක ගැනීමට ඔබගේ වස්ත්‍රයත් ඉවහල් වන බව මෙහිදී හොඳින් තේරුම් ගත යුතු වෙනවා.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි මස 04 වැනි දා සිකුරාදා අපරභාග 09.54 ට ලබයි. 05 වැනි දා සෙනසුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි මස 11 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]