UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> ධර්ම දේශනා හා බැඳුණු ආචාර ධර්ම

ධර්ම දේශනා හා බැඳුණු ආචාර ධර්ම

නූතනයේ දුරකථන, ජංගම දුරකථන ආදිය සුලභව ඇතත් එමඟින් ආරාධනයක් සිදු කළ ද විහාරස්ථානයට පැමිණ වැඳ නමස්කාර කොට දේශකයාණන් වහන්සේට ආරාධනා කිරීම අතිශය යෝග්‍ය බව මෙහිලා සඳහන් කළ යුතු ය. මෙහි දී සිහි තබාගත යුතු කරුණ වන්නේ තමන් ආරාධනා කොට දේශනා කරවා ගන්නේ අන් කිසිවක් නොව සාරාසංඛ කල්ප ලක්‍ෂයක් පෙරුමන් පුරා අවබෝධ කර ගත් උතුම් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය බවයි

ආචාර ධර්ම හෙවත් ආචාර විද්‍යාව මිනිස් ගතිපැවතුම්, චර්යා, පරමාර්ථ, අභිප්‍රාය, ජීවන ක්‍රම ආදිය සම්බන්ධයෙන් කරනු ලබන ඇගැයීම් පිළිබඳ විමර්ශනයකි. යම් ජන සමාජයක ආචාර විද්‍යාත්මක අගැයුම් මොනවාද? ඒවා ව්‍යවහාරයට පත්ව ඇත්තේ කුමක් නිසාද? යනාදී කරුණු පිරික්සනුයේ සමාජයීය විද්‍යා මගිනි. යම් විශේෂ ජන කොටසකට, සංස්කෘතියකට, ආගමික පද්ධතියකට අයත් ආචාරධර්ම හඳුනා ගනු ලබනුයේ ඒ ඒ විෂයායත්ත ක්‍රමවේදයන් අනුවය. එසේ ම ඒ ඒ පද්ධතිවල විවිධ කොටස් හා බැඳි ආචාර ධර්ම විවිධ ය. සදාචාරාත්මක වශයෙන් බෙහෙවින් වැදගත්වන අදහස් බෞද්ධ චින්තනය තුළ ඇතුළත් වේ. මෙම ලිපියෙන් බුදුදහමේ ධර්ම දේශනා හා බැඳි ආචාර ධර්ම සාකච්ඡාවට ගැනේ.

කිසියම් සමාජයක් තුළ සැලකිය යුතු කාලයක් පැවතගෙන එන ක්‍රියාවලියකට අදාළ සම්ප්‍රදායයක් හා ආචාර ධර්ම සමුදායයක් ඇතිවීම ස්වභාවික ය. ධර්ම දේශනා යනු වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් පටන් බුදු දහම ජනතාව වෙත සමීප කළ සන්නිවේදන මාධ්‍යය යි. එහිදී දේශාන්තර වශයෙන් මෙන්ම කලාප වශයෙන් ද විශේෂ ආචාරාත්මක ලක්‍ෂණ රැසක් ඒ හා බැඳී සංවර්ධනයට පත්ව ඇත. එසේ වුව ද මෙම ලිපියෙන් අප අවධානය යොමු වන්නේ ධර්ම දේශනා බද්ධව දේශ දේශාන්තරයන්හි හා පළාත්බදව ඇති වූ සංස්කෘතික සම විෂමතාවන් පිළිබඳව සමීක්‍ෂාවක් කිරීම නොව පොදුවේ ශ්‍රී ලාංකේය සමාජය තුළ පිළිගත් ධර්ම දේශනා බද්ධ සම්මතයන් හා ආචාර ධර්මයන් කෙටියෙන් පරීක්‍ෂා කර බැලීමත් ඒවායෙහි ඇති වැදගත්කම සොයා බැලීමත් ය.

ධර්ම දේශනාවක් පවත්වා ගැනීම සඳහා කිසියම් විශේෂ හේතුවක් පාදක කර ගැනීම පොදුවේ සිදුවන්නකි. විහාරස්ථානයක හැර නිවසක ධර්ම දේශනාවක් පවත්වාගන්නේ නම් ඒ සඳහා පින්දීම හෝ ආශිර්වාදය සලසා ගැනීම වැනි අරමුණක් ඉදිරිපත් කර ගැනීම සිරිත ය. සිය ඥාතියෙකු මියගොස් හත් දිනක්, තෙමසක්, වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවීම, උපන්දිනය, විවාහ සංවත්සරය, විවාහ වන යුවළකට ධර්මෝපදේශ ලබාදීම, ආසන්න බණ ආදී වශයෙන් විවිධ අරමුණු පදනම් කොට ගෙන ධර්ම දේශනා පවත්වනු ලැබේ. එසේ ඇති කල්හි එම අභිමත කරුණට අනුරූප වන අයුරින් ධර්ම දේශනා කිරීමට ද දේශකයන් වහන්සේ අවධානය යොමු කරති. නිදසුනක් ලෙස මිය යෑමකට සම්බන්ධ ධර්ම දේශනාවක දී ත්‍රිලක්‍ෂණය වැනි දේශනාවක් ද මංගල සම්මත අවස්ථාවක දී මංගල සූත්‍ර ආදී දේශනාවක් ද දේශනා කිරීමය. මෙය බුදුරජාණන් වහන්සේ විසින් ද අනුමත ක්‍රමය බව ඒ පර්යායයේ දී බුදුරජාණන් වහන්සේ අට්ඨුප්පත්තිකව ධර්ම දේශනා කර ඇති ආකාරයෙන් පැහැදිලි වේ. පූතිගත්තතිස්ස හිමියන් අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් වන අතර චුන්දසූකරික අමතා දේශනා කරනුයේ කර්මය හා සම්බන්ධ දේශනාවකි.

සැදැහැතියකුගේ ආරාධනාවකින් ම මිස අනාරාධිතව දහම් දෙසීමේ සම්ප්‍රදායයක් නැත. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පවා ආරාධනයක් ඇතිව ම දේශනා කරන ලද්දකි. බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ අල්පශ්‍රැත බවත්, එවන් පිරිසකට දහම් දෙසීමේ දී තමන් වහන්සේ පමණක් වෙහෙසට පත්වන බවත් සිතා දහම් දෙසීමට අනුත්සුකව සිටි අවස්ථාවෙහි සහම්පති මහාබ්‍රහ්මයා උන්වහන්සේට දහම් දෙසීමට ආරාධනා කළ පුවත ශාසන ඉතිහාසයේ ඉතා ප්‍රකට ය. එසේ ම බොහෝ අවස්ථාවල බුදුරදුන් වහන්සේ වෙත පැමිණෙන දිව්‍ය බ්‍රහ්මාදීන් මෙන් ම බ්‍රාහ්මණ ගෘහපතියන් ද තථාගතයන් වහන්සේගෙන් ධර්මය දේශනා කරන ලෙස ඉල්ලා සිටින අයුරු මංගල පරාභව ආදී සූත්‍රයන්හි මැනවින් ප්‍රකට වේ. එබැවින් ශ්‍රාවක ආරාධනයක් ම ධර්ම දේශනාවකට මූලික වූ අයුරු ශාසන ඉතිහාසය තුළින් ද පැහැදිලි වේ. එය ධර්මයට කරන ගෞරවයක් මෙන්ම ශ්‍රාවකයන්ගේ ම අපේක්‍ෂාව වන නිසා සන්නිවේදන කාර්යය ද මැනවින් සාර්ථක වෙයි.

වර්තමානයේ ද ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කරන විට දැහැත් වට්ටියක් හෝ අවම වශයෙන් දැහැත් අතක් පිළිගන්වා පසඟ පිහිටුවා වැඳ ආරාධනා කිරීම සිරිතකි. පෙරදිග සම්ප්‍රදාය තුළ බුලත් කොළය පාරිශුද්ධත්වයේ සංකේතයක් මෙන්ම දෙවියන්ට, බුදුරදුන්ට කරන පූජාවන්හි දී යොදා ගන්නා පූජනීය වස්තුවකි. එසේ දේශකයාණන් වහන්දේ දැන හැඳින වැඳ සිය අරමුණ ද ප්‍රකාශ කොට ආරාධනය සිදු කිරීමෙන් වඩාත් ඵලදායී ලෙස ධර්ම දේශනාව සිදු කර ගැනීමේ හැකියාව උදා වේ. මීට අමතරව දේශනාව සිදු කරන ස්ථානය, වේලාව, ශ්‍රාවකයන්ගේ ස්වභාවය ආදිය ද දැන ගැනීම දේශකයාණන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා ඉතා වැදගත් වේ. නූතනයේ දුරකථන, ජංගම දුරකථන ආදිය සුලභව ඇතත් එමඟින් ආරාධනයක් සිදු කළ ද විහාරස්ථානයට පැමිණ වැඳ නමස්කාර කොට දේශකයාණන් වහන්සේට ආරාධනා කිරීම අතිශය යෝග්‍ය බව මෙහිලා සඳහන් කළ යුතු ය. මෙහි දී සිහි තබාගත යුතු කරුණ වන්නේ තමන් ආරාධනා කොට දේශනා කරවා ගන්නේ අන් කිසිවක් නොව සාරාසංඛ කල්ප ලක්‍ෂයක් පෙරුමන් පුරා අවබෝධ කර ගත් උතුම් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය බවයි.

ධර්ම දේශනාවක් සඳහා ආරාධිත භික්‍ෂුව හෝ භික්‍ෂූන් වැඩම කරවීමේ දී විශේෂ ගරුබුහුමන් සහිතවම වැඩමවීම සිරිත ය. එහිදී පෙර සිරිත වූයේ පල්ලැක්කියෙන් වැඩම වීමයි. එය රජුට කරන ගරු සැලකිල්ලට සමාන වූවකි. භික්‍ෂූන් වහන්සේ සතුන් පිට ගමන් කිරීම පොදුවේ සිදු නොවන්නක් නමුත්, අසුන් බැඳි කරත්තය ගොන් කරත්තය ආදියේ ධර්ම දේශනා සඳහා පෙර වැඩම වූ බව පැරැන්නෝ පවසති. එසේ ම අත් පුටුව ද අවස්ථාවෝචිතව යොදා ගත් අතර බොහෝ විට පෙරහරකින් වැඩමවීම සිරිත විය. වැඩි වශයෙන් ධර්ම දේශනා පැවැත්වීම රාත්‍රී කාලයේ දී සිදු වූ නිසා පොල් පන්දම් ආදියෙන් පෙරහර සැරසූ අතර එමඟින් මඟ ආලෝකයත් අලංකාරයත් යන කරුණු දෙක ම එකවර ඉටු කර ගැනීමට අවස්ථාව උදාවුණි. අවම වශයෙන් ධර්ම දේශනාවක් සඳහා වැඩමවීමට පෙරහරක් සූදානම් නොවූව ද වැඩිහිටි පිරිමි කිහිපදෙනෙකු හෝ ධර්මදේශක භික්‍ෂුව වැඩමකරවාගෙන ඒම සඳහා විහාරස්ථානයට යන අතර ඔවුහු විහාරස්ථානයට අවශ්‍ය දැහැත්, ගිලන්පස ආදිය රැගෙනයාම සිරිතක් කොට ගත්හ. දේශක භික්‍ෂුව හේවිසි නාද මධ්‍යයේ පාවඩ පිටින් වැඩම කළ අතර ඇතැම් පැරැණි ගම් දනව්වල ස්ත්‍රීන්ගේ කෙස් පියවිල්ල මතින් ද ධර්ම දේශකයාණන් වහන්සේ වැඩම වූ අයුරු මෑත ඉතිහාසයේ පවා අසන්නට ලැබෙන්නකි. පා දෝවනය කොට ධර්ම දේශකයාණන් වහන්සේ පිළිගැනීම චිරාගත සම්ප්‍රදාය වන අතර එමඟින් භික්‍ෂුවගේ පාද පිරිසුදුකිරීම නොව නිවැසියන්ගේ මානය සෝදා හැරීම අරමුණ විය.

(ඉතිරි කොටස 2012 දෙසැම්බර් 06 දා පත්‍රයේ පළවේ)

 
ඉල් පසලොස්වක පෝය

ඉල් පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.


මීළඟ පෝය
දෙසැම්බර් 06 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]