UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> තෙමසකට පෙර අපවත් වී වදාළ වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමි

තෙමසකට පෙර අපවත් වී වදාළ වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමි

වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අල්පේච්ඡයහ. අපමණ ශ්‍රද්ධාවෙන් කටයුතු කළ උන්වහන්සේ උදේ හවස තෙරුවන් නැමදීම සිය පැවිදි දිවියේ අඛණ්ඩව සිදු කළ උදාර සිරිතක් වූහ

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති ශාසනශෝභන සිරි සරණංකරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ සාහිත්‍ය චක්‍රවර්ති වේවැල්දෙණියේ ශ්‍රී මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සමරුව මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වේ.

ගම්පහ වේවැල්දෙණිය මිල්ලවල සිංගම්කුට්ටි ආරච්චිගේ ඉසන් අප්පුහාමි සහ රාජපක්ෂ විතාරණලාගේ ලියඟුහාමි දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස 1909 දෙසැම්බර් 07 වැනිදා පින්වත් කුමරුවා උපත ලැබීය.

නිසි වියේදී තෝලංගමුව විදුහලෙන් අකුරු කළ එම කුමරුවා පස් වරුවේදී නාගස්ඇල්ල විවේකාරාමයේදී වාද්දුවේ ධම්මදින්න මාහිමියන් යටතේ ද අකුරු කරවීය.

පෙර පින් බෙලෙන් එම කුමරුවා මීරිගම ශාසනවර්ධන විහාරාධිපතිව වැඩ විසූ කදිරාගම සුමනසාර මාහිමියන්ගේ සහ කතලුවේ සීලවංශ හිමියන්ගේ ආචාර්යත්වයෙන් අනුරාධපුර අභයගිරි ආරාමයේදී 1922 මැයි 26 වැනිදා සසුන් කෙතට ඇතුළත් වූහ.

මීරිගම ශාසනවර්ධන පිරිවෙනට 1926 ජනවාරි 01 වැනිදා වැඩම කළ මේධාලංකාර හාමුදුරුවෝ සිය ගුරු දේවයන් වෙතින් මූලික අධ්‍යාපනය ලබා නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ.

ඒ අතරතුර උන්වහන්සේ මාතලේ ධම්මසිද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහ්නසේ සහ දීපේගොඩ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද ඇසුරට පත් වූහ.

1930 දී අධිසිල් ලැබූ වේවැල්දෙණියේ මේධාලංකාර හාමුදුරුවෝ මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඉතා දිගු කාලයක් මුළුල්ලෙහි අපරිමිත ආගමික, සාමාජික, අධ්‍යාපනික හා ශාසනික මෙහෙවරක නිරත වූ අතර 1950 සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරු සඳහා පත් වූහ.

උන්වහන්සේ ස්වකීය ගුරු දේවයන් වහන්සේ වෙත මහත් දයාවෙන් ඇප උපස්ථාන කිරීම පිළිබඳව නිරන්තරයෙන් සිහිපත් කරමින් ඉමහත් සතුටට පත්වූහ.

නිකායත්‍රයේ ම මහ සඟරුවනෙහි ගෞරවාදරයට පත්ව වැඩ විසූ මේධාලංකාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ පොත්තේවෙල ශ්‍රී පඤ්ඤාසාර මහා නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහනායක ධුරයට 1998 දී පත් වූහ.

වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අල්පේච්ඡයහ. අපමණ ශ්‍රද්ධාවෙන් කටයුතු කළ උන්වහන්සේ උදේ හවස තෙරුවන් නැමදීම සිය පැවිදි දිවියේ අඛණ්ඩව සිදු කළ උදාර සිරිතක් වූහ.

උදාර ආදර්ශවත් පැවිදි දිවියක් ගත කළ උන්වහන්සේ නිහතමානීව කටයුතු කළ මහ තෙර නමක් ද වූහ.

මෑත යුගයේ සසුනඹරේ පහළ වූ ගුණාවෘද්ධ, වයෝවෘද්ධ මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි උභය සමාජයෙන් ම මහත් ගෞරවයට ද පාත්‍රව වැඩ විසූහ. දිවිගමනේ අවුරුදු 103 ක් ඉක්මවා වැඩ සිටි වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙමස් ගුණ සමරුව නිමිත්තෙන් මීරිගම ශාසනවර්ධන පිරිවෙනේදී මෙම 27, 28, 29 යන තෙදින තුළ පින්කම් මාලාවක් පැවැත්වේ.

මීරිගම ශාසනවර්ධන පිරිවෙන් වත්මන් විහාරාධිපති සීතාඑළියේ චන්දානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත් වෙයි.

27 වනදා පස්වරුවේ පොතානේ ධම්මානන්ද හිමියන් විසින් ද 28 වනදා මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමියන් විසින් ද 29 වනදා බොරැල්ලේ අතුල නාහිමියන් විසින් ද දම් දෙසුම් පවත්වනු ලබන අතර 29 වනදා දවල් 150 නමකට අධික මහ සඟරුවන විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.

 
ඉල් පසලොස්වක පෝය

ඉල් පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.


මීළඟ පෝය
දෙසැම්බර් 06 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]