UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තියේ අසිරිය ලොවට ගෙන යන
ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය

මිහිඳු මහ රහතන් වහන්සේගේ පුනරාගමනයෙන් ලාංකීය ජන සංස්කෘතිය ආලෝකමත් වන අද දිනයේ සිට තවත් එකොළොස් මසකින් එළඹෙන වෙසක් සඳ ලොව එළිය කරනුයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමිනි. එනම් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමිනි. ලෝවැසි හිත සුව පිණිස පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වී 2011 වෙසක් දිනයට වසර 2600 ක් සපිරේ. එකී 2600 වැනි සම්බුද්ධ ජයන්තිය සැමරීමට මෙරට බෞද්ධයෝ මෙන්ම ලෝවාසී බෞද්ධ ජනතාව මේ වන විට විවිධ අයුරින් පෙළ ගැසෙමින් සිටිති.

ඒ අතරින් සුවිශේෂී තිළිණයක් බෞද්ධ ලෝකයට දායාද කිරීමට නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සූදානම්ව ඇත. ඒ ලොව විශාලතම බෞද්ධ ප්‍රකාශන හා තොරතුරු මධ්‍යස්ථානයයි. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමියන්ගේ සංකල්පයකට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුග්‍රහයෙන් ලැබුණු කොළඹ තුන්මුල්ල හන්දියේ භූමි භාගයක ඉදිවන මෙම සුවිශේෂී නිර්මාණයේ කටයුතු මේ වනවිටත් ආරම්භ වී සිදුවෙමින් පවතී. මෙම සම්බුද්ධ ජයන්ති මන්දිරය ථේරවාදී බුදු දහමේ පිරිසුදු පණිවුඩය ලොව ගෙන යන කේන්ද්‍රස්ථානයයි. වසර 2500 කට අධික කාලයක් අවිච්චින්නව ථේරවාදී බුදු දහම ලොව සුරකින එකම ජාතිය සිංහල අපය. එය තවදුරටත් සුරක්ෂිත කිරීමට පෝෂණය කිරීමට ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය ඉවහල්වනවා නොඅනුමානය. මෙම මන්දිරය මහල් 12 කින් යුක්ත වේ. මෙවැනි සුවිසල් මන්දිරයකින් බෞද්ධයන්ට ලැබෙන සුවිශේෂී පහසුකම් රාශියකි. බුදු දහම පිළිබඳව විවිධ භාෂාවලින් ලියැවුණු දේශීය හා විදේශීය කෘති ලබාගැනීමේ පහසුකම (මෙය ලොව විශාලතම බෞද්ධ ප්‍රකාශන මධ්‍යස්ථානයයි), 600 කට අසුන් ගත හැකි අති නවීන පහසුකම් වලින් යුත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්, පෙර අපර දෙදිග විවිධ භාෂාවන් ප්‍රගුණ කිරීමේ පහසුකම්, ධර්ම පර්යේෂණ කටයුතු සහිත විවිධ ධර්ම දූත සේවාවන්ගෙන් සමන්විත ශාලාවක්, අති නවීන තාක්ෂණික පහසුකම් වලින් යුත් ශබ්දාගාර සහ පරිගණක නිර්මාණ පහසුකම් සහිත ශාලාවක් ආදී මෙතෙක් මෙරට බෞද්ධයන්ට අත්විඳීමට නොලැබුණු සුවිශේෂී පහසුකම් රාශියකින් සමන්විත වේ. ථේරවාදී බුදු දහම සුරැකි රට වුවත්, බෞද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීමට මෙරට තවමත් ඒ සඳහා සුදුසු පහසුකම් වලින් යුත් ස්ථානයක් නොමැත. එම අඩුව මෙම මන්දිරයේ ඇති සම්මන්ත්‍රණ ශාලාවෙන් සපිරෙනු ඇත. එමෙන්ම භික්ෂූන් වහන්සේලාට මෙන්ම බුදු දහම පිළිබඳව විවිධ පර්යේෂණයන්, ධර්ම දූත සේවාවන් සිදුකරන වියත් පඬිවරුන්ට විවිධ භාෂාවන් ප්‍රගුණ කිරීමට, ධර්ම පර්යේෂණ කටයුතු සිදු කිරීමට සුදුසු ස්ථානයක් නොමැතිවීමේ අඩුවද මෙම මන්දිරයෙන් සපිරේ.

එමෙන්ම කොළඹ අවට පාසල් වල සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ උසස් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසුන්ට තම ජීවිතය සාර්ථක කර ගැනීමට, යහපත් ශික්ෂණයක් ඇති කර ගැනීමට අවශ්‍ය විවිධ වැඩමුළු සම්මන්ත්‍රණද මෙම සම්බුද්ධ ජයන්ති මන්දිරය තුළ සිදුකිරීමට බලාපොරොත්තු වේ. අගනගරයේ අහස උසට ඉදිවන සුවිසල් මන්දිර අතර ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය සුවිශේෂී වනුයේ එය මෙරට පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සුබසෙත වෙනුවෙන්ම ඉදිවන නිසාය. හුදු ලාභ ලැබීමේ පරමාර්ථයකින් තොරව ඉදිවන මෙම දැවැන්ත කර්තව්‍යය සඳහා වැය වන මුදල රුපියල් කෝටි 30 ක් පමණ වන බව ගණන් බලා ඇත. මෙම මුදල් පියවා ගැනීම සඳහා බෞද්ධ ඔබගේ ආධාර උපකාර අවශ්‍ය වී ඇත.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]