UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර පසළොස්වක පොහෝ දා - 2010.06.25

නූතන කළමනාකරණයට අතීත පාඩමක්

ගන්තුක ජන කොටසක් වෙත නව දහමක් ඉදිරිපත් කොට එමඟින් ඔවුන් ගේ ජීවිත සාමකාමී අයුරින් වෙනස් කිරීම ඉතා අසීරු ය. එ බඳු දූත මෙහෙවරක් සාර්ථක කැර ගැනීම සඳහා එම ආගන්තුක ජන කොටසෙහි ‘චින්තන විධිය ‘ හෙවත් සංස්කෘතික චින්තන ඇබ්බැහිකම් හදාරා තිබීම අවශ්‍ය කැරේ. ආගන්තුක යම් ජන කොටසක ගේ චින්තන විධිය හැදෑරීමේ දී වැදගත් ම සාධකය වන භාෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය. එ සේ ආගන්තුක පරිසරයක දී , ආගන්තුක භාෂාමය බාධකය ජයගෙන , ආගන්තුක දහමක්, අගන්තුක චින්තන විධියට ගැළැපෙන අයුරින් දේශනා කොට සාර්ථක ලෙස අවබෝධ කැරවීම දියුණු තාක්‍ෂණික වරප්‍රසාද සහිත වර්තමානයේ පවා පහසු කාර්යයක් නො වේ. එහෙත් ඒ සියලු බාධක ජය ගැනීමට මෙයට වසර 2318 කට පෙර මිහිඳු මහ රහතන් වහන්සේ සමත් වූ බව අපි දනිමු.

එය අති සාර්ථක දූත මෙහෙවරක් වූයේ කෙ සේ දැයි විමසා බැලීම අදටත් වැදගත් ය.

මිහිඳු මහ රහතන් වහන්සේ සිය කාර්ය ආරම්භ කළ ආකාරය විස්ම ජනක ය. පළමු හමුවේ දී නරපතියකුට නම කියා ඇමැතූ උන් වහන්සේ , තමන් වහන්සේ ගේ අනන්‍යතාව හෙළි කළ ආකාරය ද අපූරු ය.

සමණාමයං මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

මහ රජාණනි, අපි ධර්මරාජ ශ්‍රාවක වු ශ්‍රමණයෝ වම්හ. ඔබට අනුකම්පා පිණිස දඹදිවින් මෙහි ආම්හ, යැයි මිහිඳු හිමියන් වදාළ කල්හි දේවානම්පියතිස්ස මහරජතුමා විස්මයට පත්වන්නට ඇත. ඒ සඳහා උපයෝගී කැර ගත්, ධර්මරාජයාණන් යන යෙදුම අතිශයින් ප්‍රබල ය.

අනතුරුව රජතුමා ඇසූ පැනයකට ගොඩින් හෝ මඩින් හෝ දියෙන් නො ආම්හ ‘ යි ව්‍යංගයෙන් පිළිතුරු දීම ද උන්වහනසේ කෙ තරම් විචක්ෂණශීලි දැයි පැහැදිලි කැරේ. අඹ පැනය හා ඥාති පැනය මඟින් මහ රජු ගේ බුද්ධි මට්ටම විමසා බැලූ ආකාරය අති විශිෂ්ට ය. බුදු දහම නමැති ඥාන මාර්ගය බුද්ධිහීන පුද්ගලයකුට පහදා දීමට යෑම නිශ්ඵල බව මිහිඳු හිමියන් ගේ දූත මෙහෙවරෙන් අප ගත යුතු ප්‍රධාන පාඩමකි.

දඩකෙළියේ ගිය මහ රජුට මිහිඳු හිමියන් විසින් ප්‍රථමයෙන් දේශනා කරන ලද්දේ, පා සටහන් පිරික්සා ඇතකු කුමන වර්ගයට අයත්දැයි සැබෑ ලෙස හඳුනා ගැනීම උපමා කොට ගත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය යි. එය පිලෝතික හා ජාණුස්සෝණි යන බමුණන් දෙදෙනා අතර ඇති වූ සංවාදයක් ඇසුරු කොට විස්තර කැරෙන සූත්‍රයකි. එ මෙන් ම මිහිඳු මහ රහතන් වහන්සේ ගේ දූත මෙහෙවරේ දී දේශනා කළ විමාන වත්ථු හා පේතවත්ථු , සච්ච සංයුක්ත දේශනය, සමචිත්ත පරියාය සූත්‍රය, දේවදූත සූත්‍රය, බාලපණ්ඩිත සූත්‍රය, අනමතග්ග සංයුක්තය, අග්ගික්ඛන්ධෝපම සූත්‍රය, ආවිසිසෝපම සූත්‍රය, ඛජ්ජනීය සූත්‍රය, ගෝමය පිණ්ඩූපම සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය, මහ අප්පමාද සූත්‍රය, වස්සූපනායිකක්ඛන්ධකය ආදී සියලු දේශනා විශිෂ්ට සැලැස්මක අංග බව හොඳින් පැහැදිලි ය.

මිහිඳු මහ රහතන් වහනසේ ගේ දූත මෙහෙවරෙහි සාර්ථකත්වය සහතික කරන ලද්දේ අරිට්ඨ කුමරු පැවිදිකොට මෙ රට භික්‍ෂු ශාසනය පිහිටුවීමෙනි. එ මෙන් ම භික්‍ෂුණී ශාසනය පිහිටුවීම සඳහා තම සොහොයුරිය වූ සංඝමිත්තා තෙරණිය සිරිලකට වැඩම කිරීමට ද උන්වහන්සේ කටයුතු කළ සේක.

බුදු දහම මෙහි මුල් බැස ගැනීම සඳහා අවශ්‍ය භික්‍ෂු හා භික්‍ෂුණී ශාසනය ඇරැඹීමෙන් නො නැවතුණු උන්වහනසේ මෙ රට ජනයාට වන්දනා මාන කිරීම පිණිස ශ්‍රී මහාබෝධීන් වහන්සේ ගේ් දක්ෂිණ ශාඛාව ද වැඩම කළ හ. බෝධි වෘක්ෂය යනු යළි යළිත් පැළ බිහිවී රට පුරා ව්‍යාප්ත වන බව මෙහි දී සැලැකිල්ලට ගන්නට ඇත. එ මෙන් ම වෘක්ෂ වන්දනාව පැවැති මේ දිවයිනට වෙනත් අර්ථයකින් වන්දනා කිරීමට බෝ රුක හඳුන්වා දීම ද සැලැසුම් සහගත ක්‍රියාවක ප්‍රතිඵලයක් යැයි කිව හැකි ය.

මිහිඳු මහ රහතන් වහන්සේ හැඳින්වීම සඳහා මෙ රට වංශ කථා කරුවන් ‘ද්වීප ශාස්තෘ ‘ හා ‘ද්වීප ප්‍රසාදක ‘ යන විශේෂණ යෝදාගන්නා ලදදේ උන්වහනසේ ගේ මේ සාර්ථකත්වය නිසාම ය.

මිහිඳු මහ රහතන් වහන්සේ ගේ දූත මෙහෙවර සාර්ථක වීම සඳහා උන්වහන්සේ සතු ව තිබූ විශිෂ්ට බුද්ධිය හා කැපවීම හේතු විය. ඊට අමතර ව හෙළදිව වැසියන් ගේ බුද්ධිය හා හැකියාව ඒ සඳහා ඉවහල් වූ බව කිව යුතු නැත.

කෙ සේ වුව ද නූතන කළමනාකරණ සිද්ධාන්ත පිළිබඳ ව කැරෙන ඉගැන්වීම් වල දී මේ දේශීය අත්දැකීමට විශේෂ ස්ථානයක් හිමි විය යුතු ය. පාරම්පරික ඥානය යළි හැදෑරීම ලෝක ප්‍රවණතාවක් ලෙස පවතින යුගයක මෙය නො සලකා හැරීම වරදකි. එම දූත මෙහෙවර වත්මන් පරපුරට ඉගැන්වීමෙන් නො නැවතී අනාගත ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම අවශ්‍ය ය. එ පමණක් නො ව නූතන රාජතාන්ත්‍රික කටයුතු සඳහා ද මෙයින් උගත හැකි පාඩම් බොහෝ තිබේ.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]