UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හාපිටිගම ජයසුමනාරාම විහාරස්ථානයේදී නිරාවරණය වන

ජල උද්‍යානය සහිත විසි රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ

හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ජල උද්‍යානය සහිත විසි රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙම ජුනි මස 25 වන පොසොන් පුර පසළොස්වක පොහෝ දින පස්වරු 2.45ට යෙදෙන සුභ මොහොතින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක සරණංකරොපසේන වංශාවතංශ අග්ග මහා සද්ධම්ම ජෝතිකාධජ සාහිත්‍ය චක්‍රවර්ති ධර්ම ශාස්ත්‍ර ශිරෝමණී අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් නිරාවරණය කෙරේ.

මේ ලිපිය විශේෂයෙන් ඒ නිමිත්තෙනි.

හාපිටිගම් කෝරළේ උඩගහපත්තුවේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කල්එළිය හාපිටිගම පිහිටි ජයසුමනාරාම මූල මහා විහාරස්ථානය ශත වර්ෂාධික කාලයකටවත් වඩා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ධර්ම නිකේතනයකි.

ගස් වැල් තුරු ලතා මතින් වටවුණු සදහම් අසපුවකට ඇවැසි ශාන්ත සුන්දර වපසරියකින් හෙබි රමණීය භූමි භාගයක පිිහිටි මෙම විහාරස්ථානය එදා සිප් සතර බෙදාදුන් පිරිවෙනක රැකවරණය ලැබූ සදහම් කේන්ද්‍රීයස්ථානයක්ව පැවතුන බවටද ඉතිහාස ගතව ඇත. කීර්තිමත් යතිවරයාණන් වහන්සේ නමකව වැඩ විසූ මක්කානිගොඩ ඤාණකිත්ති නාහිමිපාණෝ එහි පරිවේනාධිපතිව අනගි ශාසනික මෙහෙවරක යෙදී සිටි බවද ප්‍රකටය.

අටවිසි බුදුවරුනගේ අනූරූ තැම්පත් කළ රමණීය චතුරස්‍රයකින් ආවරණය වුණු බෝ රජුගෙන්ද, දුටු දුටුවනගේ සිත්-සතන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් නිවී පහන් වන සේ සැකසුණු බුදු මැදුරුකින්ද, අතීත ගෘහ නිර්මාණයන්ගෙන් හැඩවුණු මනරම් ආවාස ගෙයකින්ද, ධවල පැහැයෙන් බැබළෙන මදක් උස් බිම් කඩෙක ඉදිවුණු චෛත්‍යයකින්ද, පෞරාණික ආකෘතියකට අනුව නිමැවූ බණ මඩුවකින්ද, දෙමහල් පුස්තකාලයකින් හා සීමා ගෙයකින්ද අලංකෘතව ඇති මෙම විහාරස්ථානයට අලුතින් එක්වන ජල උද්‍යානය සහිත විසි රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් ලැබෙනුවේ තවත් යුග ගණනාවකට නොසිඳෙන සඳහම් ආලෝකයකි.

ගලගම සාගත නාහිමිපාණන්ගේ ආදිකර්තෘත්වයෙන් වර්ෂ 1885 දී ඇරඹී මෙම හාපිටිගම විහාරස්ථානයට එදා-මෙදා තුර නායකත්වය ලබාදුන් යතිවරයාණන් වහන්සේලාගෙන් ලත් අනුපමේය ශාසනික සේවාව එහි වත්මන් ප්‍රගතියට කාලයෙන් ලබාදුන් ශක්තියේ මහිමය අද මේ පින් බිමෙහි හුදෙකලාව සීමාහිත සිතකින් බලා සිටින කාහට වුවද පසෙක් කරගත හැකිය.

කලල්පිටිය, මක්කානිගොඩ, බෝලාන, උඩුගම්පොල, හාපිටිගම, හන්දුරුමුල්ල හා පැණිහෙල වැනි ගම් නියම්ගම් ජන්ම ලාභය ලත් මහා යතිවරයාණන් වහන්සේලාගෙන් මෙම සිද්ධස්ථානයට ලැබුණු මාර්ගදේශකත්වය හා නායකත්වය මෙහිදී සිහිකිරීමද උන්වහන්සේලාගේ කෘතවේදීත්වයට පිදෙන නිමල උපහාරයක් සේ සලකමු.

මෙම මහා පුණ්‍යොත්සවයට සමගාමීව ජුනි මස 26 වන ශනි දින දක්වා පැවැත්වෙන විශේෂ සම්බුද්ධ පූජා සහ දිවයිනේ සුප්‍රකට විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේලා විසින් පවත්වනු ලබන ධර්ම දේශන මාලාවද විශේෂ තැනක් ගනී.

මේ මහා උත්සවයේ නිමාව සනිටුහන් කරමින් පොසොන් පෝ දින රාත්‍රියේ සිට පසුදා අළුයම දක්වා පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයද, පසුදින සිය නමකට ආසන්න මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන අෂ්ඨ පරිෂ්කාර සහිත දහවල් දානමය පිංකමද සිදුකිරීමට සැදැහැවත්හු සැදී පැහැදී සිටිති.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]