UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලය හා සාංචිය

පොසොන් පසළොස්වක පෝය දිනය අපට ඉතා වැදගත්වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩිය දිනය නිසාය. උන්වහන්සේ මිහින්තලයට වැඩියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයට අයති බෝපාල් ප්‍රදේශයේ පිහිටා ඇති ‘සාංචිය’ නම් ස්ථානයේ සිටය. ඉන්දියාවේ බෝපාල් නගරය ගැන ඔබ අසා ඇතැයි මම සිතමි. 1948 වර්ෂයේ දෙසැම්බර් මස 02 දින මධ්‍යම රාත්‍රියේදී ‘මීතයිල් අයිසොසයිනේට්’ නම් වූ විෂ වායුව පිට වූ නිසා මෙම ප්‍රදේශයේ සිටි අට ලක්ෂයක් පමණ ජනයාගෙන් එදිනම 7000 ක් පමණ මරුමුවට පත්විය. පන් ලක්ෂයකට වැඩි පිරිසක් නොයෙකුත් ආබාධවලට ගොදුරු විය. සමහරෙක් සදාකාලික රෝගීන් විය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උපන් ගමද සාංචිය යි. මෙහි පුරා වෘත්තයද ඉතා රසවත්ය. අශෝක රජතුමාගේ් පිය රජුවන බින්දුසාර රජතුමාට සිටි පිරිමි දරුවන් ගණන 101 ක් දෙනෙකි. ඒ අතරින් අශෝක හිතුවක්කාර කුමාරයෙකි. මේ අවධියේ බෝපාල් ප්‍රදේශයේ උජ්ජෙයිනි නුවර කැරැල්ලක් ඇතිවිය. මේ වනවිට අශෝක කුමරුට වයස අවුරුදු 20ක් පමණ ඇත. මෙම කැරැල්ල මැඩ පැවැත්වීමට සුදුසුම පුද්ගලයා අශෝක නිසා බින්දුසාර රජු විසින් යුද්ධ සේනාවක් සමග අශෝක උජ්ජෙයිනි නුවරට යවන ලදී. කැරැල්ල මැඩ පවත්වා ආපසු එනවිට ඉතා රූමත් තරුණියක් අවන්ති රටේ අගනුවර වූ වේදිසා ප්‍රදේශයේ දී අශෝක දිටී ය. ඇය එම ප්‍රදේශය වූ උදේනි නුවර සිටුතුමාගේ එකම දියණිය යි. ඇය දුටු කුමරු ඇගේ පියතුමාගේ කැමැත්ත අනුව ඇය විවාහ කර ගත්තේය. වේදිසා නුවරදී ඇය හමු වූ නිසා ඇය ‘වේදිසා බිසව‘ යැයි නම්කරන ලදී. අශෝක රජු ආපසු පිය රජු හමුවීමට නොගොස් උදේනි (උජජෙයිනි) නුවරම පදිංචි විය. අශෝක රජු ඇයට ඉතාම ආදරයෙන් සලකන ලදී. ඇයට දරු දෙදෙනෙක් ලැබුණි. ඒ දෙදෙනා නම් මහින්ද සහ සංඝමිත්තාය. වේදිසා බිසව වෙළෙඳ කුලයේ තරුණියක් මිස රාජවංශයකට අයත් නොවන නිසා අශෝකට රජකම සඳහා උරුමකම් කීමට බාධකයක් විය. එහෙත් වේදිසා බිසව අමතක කළ නොහැකි තරමටම අශෝක ඇයට ආදෙර්ය. දරු දෙදෙනාටද එසේම ආදෙර්ය. මේ කාලයේදී පිය රජතතුමා (බින්දුසාර රජු) අභාවප්‍රාප්ත විය. ඉන්පසු ඔහුගේ පුතුන් 100 දෙනා ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය වෙන්කරගෙන ඒවා පාලනය කරන්නට විය. අශෝක කුමාරයා වේදිසාවේ උජ්ජෙයිනි නුවර සිටින නිසා ඔහුට එම ප්‍රාන්තයේ පාලනය පවරා ගන්න යැයි දන්වන ලදී. අශෝක සුළු දෙයකින් තෘප්තිමත් වන කෙනෙක් නොවේ. ඔහු තමාගේම මවු කුසයෙන් බිහිවුණු තිස්ස කුමාරයා හැර ඉතිරි සහෝදරයින් 99 දෙනාම යුද්ධ කර මරා දැමීය.

අශෝක රජු රාජවංශික බිසෝවරුන් 04 දෙනෙක් සරණපාවා ගෙන මුළු ඉන්දියාවම එක්සේසත් කර පාලනය කළේ ය. තම බාප්පාවරු 99 දෙනෙකු තම පියරජු විසින් ඝාතනය කිරීම සම්බන්ධව මහින්ද කුමරු ඉතා දුකට පත්විය. තම පියාගේ රාජ්‍ය ලෝභකම ගැන පසුතැවුනි. එනිසා ඔහුට මහණවීමට ඕනෑකම තිබුණි. තම මවත් බුදුදහමට ඉතාමත් ලැදි නිසා මවගේ කැමැත්ත ඇතිව මහින්ද කුමරු ‘මිහිඳු ‘ වශයෙන් පැවිදි විය. පසුව විදසුන් වඩා එතුමා රහත්භාවයට පත්විය. උන්වහන්සේගේ නැගණිය සංඝමිත්තා විවාහයෙන් පසු පැවිදි විය. ඇයට විවාහයේදී දරුවෙක් ලැබුණි. ඔහු ‘සුමන’ නම් විය. ඔහුත් මහණ විය. ඒ සාංචියේ දී ය. මිහිඳු මහරහතන් වහන්සේත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේත්, සුමන සාමනේරයන් වහන්සේත් සිටියේ සාංචියේ ය. වේදිසා නගරයේ සිට සාංචියට දුර කිලෝමීටර 6.5 ක් පමණ වේ. අශෝක රජතුමාට උදේනි නුවර ‘වේසාලි’ නම් බිසවක් සිටින බව සැල වූ අශෝක රජුගේ මනා දුෂ්ට බිරිඳක් වූ ‘තීර්ථ රක්ඛිතා’ (අන්‍යාගම් බිරිඳ) වේසාලි බිසව මැරීමට කුමන්ත්‍රණය කරන ලදී. ඇය පැට්නා (උදේනි නුවර) සිට සාංචියේ මහණකම් පුරන දරු දෙදෙනා වන මිහිඳු මහ රහතන් වහන්සේටත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේටත් දවල් දානය රැගෙන දිනපතා කිලෝමීටර් 6.5 ක් පමණ මහා වන මැදින් යනවිට කැලෑවේදී රහසිගතව දුනුවායන් යොදා ඇය මරා දැමීමට තීර්ථ රක්ඛිතා බිසව කුමන්ත්‍රණය කළාය. මෙම කුමන්ත්‍රණය කෙසේ හෝ අශෝක රජතුමාට සැලවිය. ඔහු වහාම ක්‍රියාත්මක වී කඩිනමින් පැට්නා සිට සාංචියේ විහාරස්ථනය දක්වා උමගක් කපා වේසාලි බිසවට එයින් යෑමට කටයුතු සලස්වන ලදී. සිදුවන්නට ගිය අනතුරින් වේසාලි බිසව ගැලවුණි. එම උමගේ අවසාන කොටස දැනටත් සාංචියේදී දැකගත හැකිය. වේසාලි බිසවද පසුව ශාසනයට ඇතුළු විය.

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව මිහින්තලයට වැඩියේ සාංචියේ සිටය. සාංචිය අඩි 350 ක් උස රමණීය කන්දක පිහිටා ඇත. මිහින්තලයද එසේම අඩි 350ක් උස රමණීය කන්දක පිහිටා ඇත. සෑගිරිය, චේතියගිරිය නමින් හැඳින්වෙන්නේද මෙම සාංචිය නමැති පූජා භූ®මියයි. මිහින්තලය සිහිගන්වන ආකාරයටම පිහිටි මෙම සාංචිය හදවතට මහත් සැනසිල්ලක් ගෙනදෙන පුණ්‍ය භුමියකි. ධර්මාශෝක රජතුමා විසින් සාදවන ලද සාංචි ස්ථුපය සහ තොරණ කීපයද ඉතා දැකුම්කලු ය. ඉන්දියාවේ හින්දි භාෂාවෙන් සාං කියන්නේ හතටය. මෙහි චෛත්‍ය 07ක් තිබෙන නිසා සාං චෛත්‍යය යන්න ‘සාංචිය’ විය. කාලයාගේ ඇවෑමෙන් වල් බිහිවී ගිය මෙම ස්ථානය සොයාගන්නා විට ස්තූප 07 ක් මතුවිය. පළමුවන චෛත්‍යය බුදුහිමියන්ගේ ධාතු නිදන් කොට සාදවන ලද්දකි. මෙම චෛත්‍යයන් වටා ඇති තොරණවල විවිධ ජාතක කථා කැටයම් කර ඇත. අනෙකුත් චෛත්‍යවල සැරියුත් මුගලන් රහතන් වහන්සේලාගේ ධාතුන් නිදන් කර ඇත. සාංචි චෛත්‍යයේ කොත් පැලඳීමක් නැත. චෛත්‍ය මුදුනේ කොඩියක් වැනි ආවරණයක් තිබේ. ඒ කාලයේ චෛත්‍යවල කොත් පැලඳීමක් නොතිබිණි. වේදිසා බිසව විසින් කරවන ලද වේදිසා විහාරයද මේ අසලම ඇත. ධර්මාශෝක රජතුමා විසින් සසුන්ගත වූ වේදිසා මෙහෙණින් වහන්සේට ද ආරාමයක් කරවන ලදී. එය අදත් එසේම පවතී. සාංචියේ වැඳ පුදා ගතයුතු ස්ථාන රාශියක් ඇත. මෙම සාංචි ප්‍රදේශය ශ්‍රී ලංකා රජයේ බෞද්ධයින් උදෙසා ඉන්දියාවේ සිටි අගමැති ජවහර් ලාල් නේරුතුමා විසින් ශ්‍රී‍්‍ර ලංකාවේ මහාබෝධියට ඔප්පුවකින් පවරා ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලයේ වැඩ වාසය කළ පිරිවෙන ‘කාල ප්‍රසාද’ යනුවෙන් නම්කර ඇත. මිහිඳු ලෙනද තවම ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාම දැකුම්කලු මිහින්තලාවට අනුබුදු මිහිඳු මහරහතන් වහනසේ වැඩියේ ශ්‍රී. බු. වර්ෂ 237 දී ය. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ මෙම ගාථාව අදත් මිහින්තලයේ රුව් පිළිරැව් දෙයි.

සමණාමයං මහා රාජ - ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය - ජම්බු දීපා ඉධා ගතා

එකල ලංකාව ධර්මයෙන් හෝ කර්මාන්ත අතින් දියුණුවක් ලබා නොතිබුණි. එනිසා මිහිඳු මහරහතන් වහන්සේ තම පිය රජු ධර්මාශෝක මහරජුට කියා නොයෙකුත් විවිධ කර්මාන්තවලට ඉතා දක්ෂ කුල 18 ක අය 200 ක් පමණ ලංකාවට ගෙන්වන ලදී. ඒ සමගම මුළු ලෝකයේම පැරණිම ඓතිහාසික වෘක්ෂය වන ශ්‍රී‍්‍ර මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද සංඝමිත්තා මෙහෙණින් වහන්සේ අත ලංකාවට එවන ලදී. ලංකාවේ මෙහෙණි සස්න පිහිටෙව්වේද සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසිනි. ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් වූයේද මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුවය.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]