UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පොසොන් පොහොය දා ලක් වැසියන් දුටු ඇත් පා සලකුණු

පොසොන් පොහොයදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන විට මෙරට ජනතාව ආගම් ඇදහිලි හා පුද සිරිත් කීපයක් කෙරෙහි ම විශ්වාසය තබා සිටියහ. මේ සියල්ලෙන්ම පාහේ එම ආගමිකයන්ගේ නිදහස් සිතුවිලි වලට බාධා පමුණුවා තිබුණි. මේ තත්ත්වය මැනවින් තේරුම්ගත් මිහිඳු මහරහතන්වහන්සේ ලංකාවාසීන්ට නිදහසේ සිතා නිදහසේ ක්‍රියාකිරීමට අවස්ථාව සලසා දෙමින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළහ.

වනයේදී ඇතුන්ගේ පා සටහන් වලට නො රැවටී තමා බලාපොරොත්තු වන ඇතා මුණ ගැසෙන තුරුම ඉදිරියට ගමන් කළයුතු බව මෙම සූත්‍රයෙන් කියවේ. ඒ අනුව මහින්ද හිමි ලංකාවේදී පළමුවෙන්ම දේශනා කළේ මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයට අයත් චුල්ලහත්ථි පදෝපම සූත්‍රයයි. මෙම සූත්‍රය බුදුරදුන් විසින් ජාණුස්සෝණි බමුණාට දේශනා කරන ලද්දකි.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින විට පිලෝතික නමැති පරිබ්‍රාජකයා උන්වහන්සේ හමුවීමට ගොස් ආපසු එයි. ජාණුස්සෝණි බමුණා ද සුදු අශ්වයන් යෙදූ රියකින් නගරයේ ගමන් කරයි. දෙදෙනාට දෙදෙනා මුන ගැසුණු විට ඔබ කොහේ ගියේ දැයි බමුණා පරිබ්‍රාජකයාගෙන් අසයි. එවිට පිලෝතික පිරිවැජියා තමා බුදුරදුන් සමග කළ සාකච්ඡාව පිළිබඳව බ්‍රාහ්මණයාට තොරතුරු පවසයි. එම කථාවට මැනවින් සවන් දුන් හෙතෙම බුදුරදුන්ගේ ප්‍රඥාවත් වියත් බවත් පිළිබඳ විමසයි. උන්වහන්සේගේ වියත් භාවයත් ප්‍රඥාවත් ප්‍රකාශ කිරීමට තමා සුදුස්සෙකු නොවන බවත් දක්ෂ ඇත් ගොව්වෙක් ඇතෙක් සොයා වනයේ ඇවිදින විට ඇතුන්ගේ පා සටහන් වලට නො රැවටී තමා බලාපොරොත්තු වන ඇතා හමුවන තුරුම වනයේ ඇවිද ඇතා සොයා ගන්නා සේ මම ද බුදුරදුන්ගේ ඤාණ පද හතරක් දැක උන්වහන්සේ සම්මා සම්බුද්ධ බවත් උන්වහන්සේ දේශනා කළ ධර්මය ඒහිපස්සික බවත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් සුපටිපන්න බවත් උන්වහන්සේ දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෙක් බවටත් දැනගත්තේ යැයි පරිබ්‍රාජකයා බමුණාට පවසයි.

බුදුරදුන් ගුණ ගායනා කරන පිලෝතිල පරිබ්‍රාජකයා ජාණුස්සෝණි බමුණාට වෙනත් කිසිම ශාස්තෘවරයෙක් තුළ දක්නට නො ලැබෙන බුදුරදුන් තුළ පමණක් දක්නට ලැබෙන ඤාණ පද හතරක් පිළිබඳව පෙන්වා දෙයි. තමන්ගේ ප්‍රඥාවෙන් හා වියත් කමෙන් අනුන්ගේ මතවාද බිඳිමින් ඔවුන් පරාද කරන ක්‍ෂත්‍රිය පණ්ඩිතයෝ මෙසේ කථාවෙති. ‘යම්කිසි දවසක ශ්‍රමණ බවත් ගෞතමයන් අපේ ගමට ආවොත් අපි උන්වහන්සේගෙන් ප්‍රශ්න අසා ඒවාට දෙන පිළිතුරු අනුව වාද කර පරාද කරමු’. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ ගම් ප්‍රදේශට වැඩම කළ විට ඔවුන් උන්වහන්සේගෙන් බණ අසා උන්වහන්සේ කෙරෙහි පැහැදී වාද විවාද වලින් තොරව ප්‍රශ්න ඇසීම්වලින් තොරව බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීමට ක්‍ෂත්‍රිය පණ්ඩිතයින්ට සිදුවිය. මෙම ලක්ෂණය උන්වහන්සේගේ පළමුවෙනි ඤාණ පදයයි. මෙම පිරිස කථා වූ ආකාරයටම බමුණු පණ්ඩිතයින්ද කථා වී සිටියත් අවසානයේ ඔවුන් ද බුදුරදුන්ගේ දහම් අසා බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීම දෙවැනි ඤාණ පදය යි. මේ ආකාරයටම ගෘහපති පණ්ඩිතයන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීම තුන්වෙනි ඤාණ පදය බවත් ශ්‍රවණ පණ්ඩිතයන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීම හතරවෙනි ඤාණපදය බවත් පිරිවැජියා බමුණාට පවසයි. මෙයින් සතුටට පත් ජාණුස්සෝණි බමුණා රථයෙන් බිමට බැස උතුරු සළුව ඒකාංස කොට බුදුරදුන් වැඩ සිටින දිසාවට තුන් වරක් වැඳ ජේතවනාරාමය බලා පිටත් විය. එහි ගොස් බුදුරදුන්ට නමස්කාර කළ බමුණා පිලෝතික පිරිවැජියා පැවසූ සියලුම තොරතුරු බුදුරදුන්ට පැවසීය. ඔහුගේ කථාවට මැනවින් සවන් දුන් උන්වහන්සේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මේ ආකාරයට දේශනා කළ සේක. දක්ෂ ඇත් ගොව්වෙක් හෙවත් නාවනිකයෙක් ඇතෙක් සොයා වනයකට ඇතුළු වෙයි. මෙම වනයේ ඇතෙක් සිටින බව අසා ඇති ඔහු ක්‍රමයෙන් මහ වනය ඇතුළට යයි. ඔහුට පළමුවෙන්ම විශාල ඇත් පා සටහන් දක්නට ලැබෙයි. මේවා තමා බලාපොරොත්තු වන ඇතාගේ යැයි සිතා රැවටී ඒ අසලම ගැවසෙමින් නොසිට ඉදිරියට යා යුතුය. එයට හේතුව වන්නේ විශාල පා සටහන් ඇති වාමනිකා නමැති ඇතින්නන් වනයේ සිටින නිසාය. තවත් ඉදිරියට යන විට දිග පළල අඩි ඇති අලියෙක් ගසක පිට අතුල්ලා ඇති ආකාරය ඔහුට දක්නට ලැබේ. ඔහු එයින් ද නො රැවටී ඉදිරියට යා යුතුය. එයට හේතුව වන්නේ දිග පළල අඩි ඇති උච්ඡා කාලාරිකා නමැති ඇත් විශේෂයක් වනයේ සිටීමයි. මෙවැනි අත් පා සලකුණු වලින් නො රැ වටී තවත් ඉදිරියට ගමන් කරන විට ගසක පිට අතුල්ලා දළ වලින් ඇන ගසේ පොතු ගලවා ඇති ආකාරයක් දක්නට ලැබේ. එයින් ද නොරැවටී ඉදිරියට යා යුතුය. එයට හේතුව වන්නේ උච්ඡා කනේරුකා නැමති උස් වූ ඇත් වර්ගයක් වනයේ සිටීමයි. මේ කිසිම දේකින් නො රැවටී විමසිල්ලෙන් බලමින් ඉදිරියට යන විට තමා බලාපොරොත්තුª වන ඇතා දක්නට ලැබේයැයි බුදුරදුන් බුමුණාට පෙන්වා දෙමින් මෙම සූත්‍රය දේශනා කළහ.

දක්ෂ ඇත්ගොව්වෙක් ඇත් පා සටහන් වලට නොරැවටී තමා බලාපොරොත්තුවන ඇතා හමුවන තුරුම ඉදරියට ගමන් කොට තමා බලාපොරොත්තුවන ඇතා සොයා ගන්නාසේම ආර්ය ශ්‍රාවකයා ද කරුණු හරිහැටි තේරුම් ගැනීමෙන් පසුව බුදුරදුන් සම්මා සම්බුද්ධ බවත් උන්වහන්සේ දේශනා කළ ධර්මය ඒහිපස්සක බවත් උන්වහන්සේගේ බුද්ධ ශ්‍රාවක පිරිස සුපටිපන්න බවත් තේරුම් ගන්නා බව බුදුරදුන් බමුණාට පැහැදිලි කළ අතර එයින් පැහැදුනු ඔහු තෙරුවන් සරණ ගිය බවත් මෙම සූත්‍රයේ සඳහන් වේ.

මිහිඳු හිමි ලංකාවාසීන්ට පළමුවෙන්ම මෙම සූත්‍රය දේශනා කිරීමට අදහස් කරන්නට ඇත්තේ කරුණු දෙකක් මුල්කරගෙන විය හැකිය. ආගමික මතවාද පිළිබඳව නිදහසේ සිතීමටත් නිදහසේ ක්‍රියා කිරීමටත් හැකිවන ආකාරයට නිදහස් චින්තනයට මෙම සූත්‍රයෙන් ඉඩ සලසා දී තිබීම එක් කරුණකි. උන්වහන්සේ විසින් ලංකාවාසීන්ට හඳුන්වාදීමට බලාපොරොත්තු වූ භික්ෂූ සමාජය පිළිබඳව තොරතුරු මෙම සූත්‍රයෙන් පෙන්වා දී තිබීම දෙවැනි කාරණය විය හැකිය. මේ අනුව මිහිඳු හිමි ලංකාවේදී පළමු වෙන්ම දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය කාලීන අවශ්‍යතාවයක් වූ බව ද පෙන්වා දිය හැකිය.

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]