UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පින සහ කුසලය ගැන ථෙරවාදයෙන් විග්‍රහයක්

උදාහරණයක් ලෙස විමානවත්ථුපාලියෙහි ඡත්තමාණවක ගාථාහි සංගෘහිත ගාථා ඛණ්ඩයක් වන “ධම්මමසඞ්ඛත මප්පටිකූලං” හි “ධම්ම” යන පදයට නව ලෝකෝත්තර ධර්මය හා පරියාප්තිය වශයෙන් දස ප්‍රභේදයක් වූ සියලු ධර්මය නො යෙදෙන බවත්, එතැන්හි දී නව ලෝකෝත්තර ධර්මයන්ගෙන් පරමාර්ථ ධර්ම වූ අසංඛත නිවන පමණක් යෙදෙන බවත්, එම අටුවාවෙහි සඳහන් වෙයි.

අතිශය ගෞරවාර්හ උපසේනාචාර්ය හිමිපාණන් විසින් ලිඛිත මහානිද්දේසපාළි අටුවා පාඨය ඇතැමකුට වැරැදි අදහස් ගෙන දුන්න ද, ථෙරවාදයට - අනුකූලව ථෙරවාදය දීපනය කරමින් - ලෝකයට හිත පිණිස තම අටුවා නිම කරමින් චූලනිද්දේසපාළි අටුවා අග තබන ලද ප්‍රාර්ථනාවෙහි පින සඳහා ‘කුසල’ සහ ‘පුඤ්ඤ’ යන දෙපදය භාවිත කිරීමෙන්ම අටුවාචාරීන් වහන්සේට ද මෙම ගැටලුව නොතිබූ බව, ධර්ම ගෞරව සහිතව පිළිගත යුතු ය.

අංගුත්තර තික නිපාතයෙහි චූළ වග්ගයෙහි සීලවන්ත සූත්‍ර අටුවාවෙහි “පුඤ්ඤං පනෙත්ථ ලොකිය ලොකුත් තර මිස්සකං” (පුණ්‍යය යනු, ලෞකික ලෝකෝත්තර මිශ්‍ර ) යනුවෙන් සඳහන් වන පාඨය පිළිබඳ එහි ටීකාවෙහි තවදුරටත් දැක්වෙන විස්තරයෙහි “භාවනාමයස්සපි පුඤ්ඤස්ස සඞ්ගණ්හනතො ලොකුත්තරස්සපි සම්භවො දට්ඨබ්බො” (භාවනාමය වශයෙන් පුණ්‍ය ය සංග්‍රහ වන විට, ලෝකෝත්තර සම්භවය දැකිය යුතු ය.) යනුවෙන් විස්තර වෙයි. අංගුත්තර තික නිපාතයෙහි ම බා වග්ගයෙහි ඛත සූත්‍ර අටුවාවෙහි ‘බහුඤ්ච පුඤ්ඤං පසවතීති ඵත්ථ ලොකිය ලොකුත්තරමිස්සක පුඤ්ඤං කථිතං’ (බොහෝ පින් ප්‍රසව කෙරේ යනුවෙන් එහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රක පුණ්‍යය පිළිබඳ කතා කරන ලදී )යනුවෙන් සඳහන් වේ. මෙය ද පුණ්‍ය ය ලෞකික වශයෙන් ද ලෝකෝත්තර වශයෙන් ද අවස්ථානුකූල ව යෙදෙන බව වටහා ගැනීමට උපකාරක ය.

“සබ්බං පනෙතං ලොකුත්තර භාවනා පුඤ්ඤචසප්පවත්තං මග්ගානුරූප ඵලප්පවත්තියා චත්තාරො අරිය පුග්ගලෙ අභිනිප්ඵාදෙති. එවං ලොකුත්තර කුසලං, වෙදිතබ්බං.” (එහි සියල්ල, ලෝකෝත්තර භාවනාවේ පුණ්‍ය වශයෙන් පැවැති මාර්ගානුරූප ව පැවැති ඵල වශයෙන් සතර ආර්ය පුද්ගලයෝ උපදිත්. එලෙස ලෝකෝත්තර කුසලය දැන ගත යුතු ය.) යනුවෙන් අභිධම්මාවතාරයෙහි චිත්ත නිද්දෙසයෙහි සඳහන් වීමෙන්, “පුණ්‍ය” පදය ද “කුසල” පදය ද අවස්ථානුකූලව ලෞකික සහ ලොකෝත්තර වශයෙන් භාවිතා කරන ලද බව සනාථ වෙයි.

අභිධම්මාවතාර පුරාණටීකාවෙහි ජට්ඨ ම පරිච්ඡේදයෙහි ආරම්මණ විභාග වර්ණනාවෙහි “සෙක්ඛානං ඤාණසම්පයුත්ත මහා කුසලස්ස, වොට්ඨබ්බනස්ස, පඤ්චමස්ස රූපකුසලස්ස ච තිවිධං ලොකුත්තරපුඤ්ඤං ආරම්මණං හොති. ඛීණාසවස්ස වොට්ඨබ්බනස්ස, ඤාණසම්පයුත්ත මහාකිරියස්ස, පඤ්චමස්ස රූපකිරියස්ස ච අරහත්තපුඤ්ඤං ආරම්මණං හොති.” (ශෛක්ෂයන්ගේ ඥානසම්ප්‍රයුක්ත මහා කුසලයට ද ව්‍යවස්ථාපනයට ද පස්වැනි රූප කුසලයට ද ත්‍රිවිධ වූ ලෝකෝත්තර පුණ්‍යය අරමුණු වේ. ක්ෂීණාස්‍රවයාගේ ව්‍යවස්ථාපනයට ද ඥානසම්ප්‍රයුක්ත මහා ක්‍රියාවටද පස්වැනි රූප ක්‍රියාවට ද අර්හත් පුණ්‍යය අරමුණු වේ.) යනුවෙන් සඳහන් කර තිබීම ධර්ම ගෞරව ඇති සත්පුරුෂයනට තම දෘෂ්ටිය මනාව සෘජු කරගැනීමට පමණ බව, අපගේ හැගීම ය.

දීඝ නිකායෙහි මහා පරිනිබ්බාන සූත්‍රයෙහි මෙසේ සංගෘහිත ය. “සියා ඛො පනානන්ද, තුම්හාකං එවමස්ස, අතීතසත්ථකං පාවචනං, නත්ථි නො සත්ථා’ති. න ඛෝ පනෙතං, ආනන්ද, එවං දට්ඨබ්බං. යො වො ආනන්ද, මයා ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ සො වො මමච්චයෙන සත්ථා” (ආනන්දය, නුඹට මෙසේ සිතක් ඇති විය හැකි ය. පෙළ දහම දේශනා කරන ලද අපගේ ශාස්තෘහු නැත’ යැයි. ආනන්දය, එය එසේ නොදැක්ක යුතු ය. ආනන්දය, තොපට යම් ධර්මයක්, විනයක් ම විසින් දේශනා කරන ලද ද පනවන ලද ද, එම ධර්මය මගේ ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි.)

මෙම ශ්‍රී මුඛ දේශනාව අනුව ත්‍රිපිටක ධර්මය පිළිගන්නා සැදැහැති බෞද්ධයාට, තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ධර්ම රත්නය තුළ වර්තමානයෙහි ද වැඩ සිටින සේක. ශ්‍රද්ධාවන්ත බෞද්ධයා හට සැම කල්හි බුද්ධ රත්නයේ පිහිට ලැබෙනු ඇත. ධර්ම රත්නයේ පිහිට ලැබෙනු ඇත. සංඝ රත්නයේ පිහිට ලැබෙනු ඇත. ධර්මය නො පිළිගන්නා, සැම කල්හිම අනාථ ය .

ඛුද්දක නිකායෙහි ඛුද්දක පාඨයෙහි නිධිකණ්ඩ සූත්‍රයෙහි මෙසේ සංග්‍රහ වෙයි. “කයිරාථ ධීරා පුඤ්ඤානි, යො නිධි අනුගාමිකෝ” (යම් නිධානයක් තමන් පසු පස එන්නේ ද, නුවණත්තෝ එම පින් කරත්) “පටිසම්භිදා විමෝක්ඛා ච යා ච සාවක පාරමී, පච්චේකබෝධි බුද්ධභූමී, සබ්බමෙතෙන ලබ්භති, ඒවං මහත්ථිකා ඒසා යදිදං පුඤ්ඤසම්පදා, තස්මා ධීරා පසංසන්ති, පණ්ඩිතා කතපුඤ්ඤතා” (සිව් පිළිසිඹියාවන් ද විමෝක්ෂයන් ද, යම්තාක් ශ්‍රාවක පාරමිතාවන් ද, පසේ බුද්ධත්වය ද, සම්මා සම්බුද්ධත්වය ද මේ සියල්ල ම ලබා දෙයි. යම් පුණ්‍ය සම්පදාවක් ඇත් ද එය මේසා මහා අර්ථදායක ය, රැස් කර ගන්නා ලද පින් ඇති පිණ්ඩිතයෝ, නුණැත්තන් විසින් ප්‍රශංසා කරනු ලැබෙත්.) සැදැහැතියෝ අවදි වෙත්වා! අංගුත්තර පඤ්චක නිපාතයෙහි අනුග්ගහිත සූත්‍රයෙහි නිර්දේශිත පරිදි භාවනානුයෝගීහු කලින් කල තම මුල් පිරිසුදු කර ගැනීමෙන්, සම්මා දිට්ඨිය දියුණු කර ගැනීමෙන් උත්තම වූ විදර්ශනා ඥාන සාක්ෂාත් කර ගනිත්වා!

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය
අගෝස්තු 19 වනදා බදාදා
අපරභාග 07.00 ට ලබයි.
20 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 3.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
අගෝස්තු 27 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]