UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට

බෙ‍ාහෝ විට අප ගේ කතුවැකි මඟින් විවේචනාත්මක ව කරුණු ඉදිරිපත් කැරේ. එම ප්‍රතිපත්තිය නිසා ම අන් අය ද විවේචනාත්මක ව අප දෙස බැලීම ස්වභාවික ය. අප වෙත එල්ල වන විවේචන නිසා අප කුපිත වන්නේ නම් අන් අය විවේචනය කිරීමට අයිතියක් ඇතැයි නො සිතමු. එ සේ වූව ද අපට එල්ල වන සියලු විවේචන නිහඬ ව විඳ දරා ගත යුතු යැයි එයින් අදහස් නො වේ. විශේෂයෙන් ම සාවද්‍ය බව හැඟෙන යම් විවේචනයකට ප්‍රතිචාර නො දැක්වීම අප ගේ පාඨකයන්ට මෙන් ම විවේචකයාට ද කැරෙන අසාධාරණයකි.

මේ පැහැදිලි කිරීම සඳහා හේතු වූ ‘බෞද්ධ ජනමාධ්‍යවේදීන් හා ලේඛකයන් සඳහා වූ අත්පොත’ නමැති කෘතියේ දැක්වෙන විවේචනය මෙහි පහත උපුටා දක්වමු.

“මුද්‍රිත මාධ්‍ය වලට දහම් ලිපි සමඟ පළ කැරෙන ඇතැම් චිත්‍ර හා ඡායාරූප කිසිසේත් ම එම ලිපියේ වූ දහම් කරුණු වලට අදාළ නො වන අවස්ථා ද බහුල ව දක්නට ලැබේ. චිත්තාකර්ෂණීය කිරීමට අලංකාර කිරීමට පමණක් වර්ණවත් චිත්‍ර හා ඡායාරූප ආදිය යොදා ගනී. එය අර්ථවත් ද යන්න ගැඹුරින් සලකා බැලිය යුතු ව ඇත. ප්‍රසිද්ධ බෞද්ධ පත්‍රයක මුල් පිටුවේ හා ඇතුල් පිටුවල ද පස්වග තවුසන්ට ප්‍රථම දම් දෙසුම පවත්වන චිත්‍රයට ඇඳ තිබුණේ දහවල් කාලයේ දර්ශන තලයක ය. තවුස් වෙසින් නො ව සියල්ලෝ ම වයස්ගත හිස් මුඩු කළ භික්‍ෂූන් ලෙසිනි.

(බන්දුල අත්තනායක නමැති ලේඛකයා ගේ එම විවේචනයෙහි තිබූ එහෙත් අද දින මාතෘකාවට අදාළ නො වන වාක්‍යය පමණක් මෙහි උපුටා දක්වා නැත.)

ප්‍රසිද්ධ බෞද්ධ පත්‍රයක යනුවෙන් මිස බුදුසරණ යැයි කියා නොමැති වුව ද මේ විවේචනය එල්ල කැරෙනුයේ 2006 වසරේ ඇසළ පුන් පොහෝ දා බුදුසරණ සම්බන්ධයෙන් බව අපි දනිමු.

චිත්‍ර ශිල්පී සරත් නන්දකුමාර විසින් අඳින ලද එම චිත්‍රයෙහි පස්වග තවුසන් ගේ හිස් මුඩු කැරැ සිවුරක් වැනි වතකින් සැරැසී සිටින අයුරු දැක් වේ. එහෙත්, එය තවුස් වෙස නො වේ යැයි බන්දුල අත්තනායක පවසන්නේ කෙ සේ ද?

අපට ඔහු ගේ ඊනියා විචක්ෂණශීලී තර්කය පැහැදිලි ය. එය අනෙකක් නො ව, දම්සක් පැවතුම් සූත්‍රය බුදුරදුන් ගේ ප්‍රථම ධර්ම දේශනාව නම්, බණ අසන භික්‍ෂූන් එහි සිටිය නො හැකිය යන්න බුදුසරණ කතුවරයා හෝ එම චිත්‍ර ශිල්පියා නො දැන සිටි බව ඔහු ගේ තර්කය යි.

පස්වග මහණුන් ලෙස චිත්‍රනය කිරීම වැරැදි නම්, බන්දුල අත්තනායක විසින් ප්‍රථමයෙන් ම නිවැරැදි කළ යුත්තේ, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා අංක 17  (ii)  සංයුක්ත නිකායේ පංචම භාගයේ (2) මහා වග්ගයේ ධම්මචක්කප්පවත්තන වග්ගයේ පළමු සූත්‍රය වන (271 පිටුව) දම්සක් පැවතුම් සූත්‍රය යි. එම සූත්‍රයේ දැක්වෙන්නේ පස්වග මහණුන් (පංචවග්ගියෙ භික්‍ඛු) යනුවෙනි. එ පමණක් නො ව බුදුරදුන් එම දේශනාව ආරම්භ කැරැ ඇත්තේ, මහණෙනි, පැවිද්දකු විසින් නො සෙවිය යුතු අන්ත දෙකක් වෙයි. (පස්වග මහණුන් පැවිද්දන් නො වූයේ නම් එ සේ වදාළේ ඇයි? එම පැවිදි බව බෞද්ධ භික්‍ෂූන් ලෙස හෝ ඇසළ පුන් පොහෝ දින දහම් දෙසූ අවස්ථාව ආලෝකවත් ව තිබූ පමණින් එය දහවල් කාලය යැයි උගත් කතුවරයා තීරණය කිරීම අප ගේ වරදක් නො වේ.

මෙයට දෙවසරකට පෙර ඇසළ පුන් පොහොය දා (2006.07.10 ) බුදුසරණ මුල් පිටුවේ චිත්‍රයෙහි පස්වග තවුසන් ගේ හිස මුඩු කැර තිබීම අලංකාරය පිණිස යොදාගත්, දහම් සන්නිවේදනයට උචිත නො වන පියවරක් බව කීමට බන්දුල අත්තනායකට තිබෙන සාධක මොනවා ද? එ කල පැවැති තත්ත්වය ධම්මානන්ද කෝසම්බිතුමා (භගවාන් බුද්ධ කෘතියෙහි) මෙ සේ විස්තර කැර තිබේ.

“කැලෑවල විසූ සෘෂි - මුනිවරු ‘තාපස’ නැතහොත් ‘පරිබ්‍රාජක’ යැයි කියනු ලැබූ හ. ඔවුහු කළ තපස්කම් කෙ බඳු ද යන්න ගැන විස්තර කිසිම තැනක හමු නො වේ. ජනගහනය සහිත ප්‍රදේශ වල ඇවිදිමින් තම ධර්මය ප්‍රකාශ කැරෙන වෙන වෙන ශ්‍රමණ පිරිස් ද ඇති වූ හ. ශ්‍රමණ ශබ්දය ශ්‍රම ධාතුවෙන් සෑදී ඇත. “පරිශ්‍රම කරන්නා” යනු මෙහි අර්ථය යි. ශ්‍රම ශක්තියෙන් කටයුතු කැරෙන වත්මන් කම්කරු ආදීන් ගේ උසස්කම වැඩිවන්නාක් මෙන් බුද්ධ කාලයේ ශ්‍රමණයන් ගේ උසස්කම ද වැඩි වෙමින් පැවැතිණ. කම්කරු, ශ්‍රමණ දෙපක්‍ෂය අතර ඇති වෙනස නම්, කම්කරුවන් සමාජයට අවශ්‍ය දේවල් නිපදවීම සඳහා සිය ශ්‍රමණ යෙදවීම හා ශ්‍රමණයන් සමාජයේ අධ්‍යාත්මික ප්‍රබෝධය ඇති කැරවීම සඳහා හිරිහැර ඉසිලීමයි. තපස්කම් වලින් සිරුරට දුක් (ශ්‍රම) පැමිණ වූ නිසා මොවුන්ට ශ්‍රමණ යන නම යම් කිසි කලෙක ව්‍යවහාර වන්නට ඇත. එහෙත් ඔවුහු ශ්‍රමණ යැයි කියනු නො ලැබූ හ. මේ අනුව පැහැදිලි වන්නේ මුලින් කී තාපසවරුන් ජනතාව ගේ හිත සුව පිණිස තම ශ්‍රමය යෙද වූ නිසා ඔවුනට ශ්‍රමණ යැයි කියන්නට ඇති බවයි” .

බන්දුල අත්තනායක සිය විවේචනය ඉදිරිපත් කිරීම සඳහා මෙ සේ කරුණු අධ්‍යයනය කළ බවක් අපට නො පෙනේ.

එ බැවින් ඊට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට අපට සිදු විය. අප එදා සිටි ස්ථාවරයේ ම පිහිටා මෙ වර කවරය ද නිර්මාණය කැර තිබේ.

බුදුසරණ විවේචනය නො කළ යුතු යැයි මෙයින් අදහස් නො වේ. එහෙත්, බන්දුල අත්තනායක මෙන් කටකතා පතුරන්නා සේ නම ද සඟවා කැරෙන මෙ බඳු විවේචන අත්පොත් ලෙස මුද්‍රණය කිරීම කිසිවකුට තරම් වේ යැයි නො සිතමු.

ඇසළ පුර පසළොස්වක

ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 25 වනදා සිකුරාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]