UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමුදුර සදිසි සම්බුදු සසුන

බුද්ධත්වයට පත් වූ පසු බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට දහම් දෙසීමට බරණැස ඉසිපතනයට වැඩම කරති. එහිදී පස්වග තවුසන් පැවිදි කොට රහත් භාවයට පත් කරති. මෙතැන් සිට සම්බුද්ධ ශාසනය ආරම්භ වෙයි. මේ සම්බුදුසසුන ඉතා ආශ්චර්යවත්, අසමසම වූවකි. පහාරාද සූත්‍රයේ දී බුදුරදුන් විසින්ම මේ ශාසනය මහ සයුරට උපමා කරමින් වර්ණනා කොට ඇත.

අද ඔබේ අවධානය යොමු කිරීමට අපේක්‍ෂා කරන්නේ අන්න ඒ සයුර සදිසි සම්බුදු සසුන පිළිබඳමයි.

මෙහි දී සම්බුදු සසුන ලෙස අප අපේක්‍ෂා කරන්නේ බුදුරදුන් දෙසූ ධර්ම විනයෙන් යුතු ආර්ය මහා සංඝරත්නය පිළිබඳ ය.

මේ ආර්ය මහා සංඝරත්නය තුළ ධර්ම, විනය දෙක අන්තර්ගතව ඇත. එම ආර්ය මහා සංඝරත්නයම සම්බුද්ධ ශාසනය ලෙස හැඳින්විය හැකි ය. එම ධර්ම විනයෙන් යුතු ආර්ය මහා සංඝ ශාසනය අදටත් පවතියි. භික්‍ෂූන් වහන්සේ සිටින තෙක් මේ සම්බුදු සසුන ජීවමානව පවතියි.

එදා පහාරාද අසුරේන්ද්‍රයා බුදුරදුන් වෙත පැමිණ මහ මුහුදෙහි ඇති අසිරිමත් ලක්‍ෂණ අටක් ගැන සඳහන් කරයි. එම ලක්‍ෂණ අටට උපමා කරමින් සම්බුදු සසුනෙහි ඇති සුවිශේෂ ලක්‍ෂණ අටක් බුදුරදුන් විසින් ගෙන හැර දක්වා ඇත.

1. මෙහි පළවූ ලක්‍ෂණය වන්නේ මහ මුහුද වෙරළේ සිට ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු වීමයි. වෙරළ ළඟම ගැඹුර නැත. නො ගැඹුරු මුහුද තරමක් දුරට පවතියි. ඉන්පසු තරමක් ගැඹුරු මුහුද පිහිටා ඇත. ඉන්පසු ගැඹුරු මුහුද පවතියි. මෙසේ අනුපිළිවෙළකට මුහුද ගැඹුර කරා ගමන් කරයි. මෙය මුහුදෙහි ඇති අසිරිමත් ලක්‍ෂණයකි.

මෙසේ සම්බුදු සසුන අනුපූර්ව ශික්‍ෂාවෙන් අනුපූර්ව ක්‍රියාවෙන්, අනුපූර්ව ප්‍රතිපදාවෙන් යුක්තයි. අනුපූර්ව පිළිවෙළින් භික්‍ෂුව හික්මිය යුතු ය. සරල ශික්‍ෂා පදවලින් ආරම්භ වන මේ සම්බුදු සසුන, ක්‍රමයෙන් ගැඹුරු දහම් කරුණු හා ප්‍රතිපදාවලට යොමුකරවයි. එසේ මුල සිට ගමන් කළ විට ගැඹුරුම ධර්ම කරුණු අවබෝධ කරගෙන, ක්‍රමයෙන් සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙළින් රහත්භාවයට පත්විය හැකි ය. එය ධර්ම විනයෙහි ඇති ගැඹුරුම ස්ථානය වෙයි. මෙය භික්‍ෂුනෙහි ඇති ආශ්චර්යාව ලක්‍ෂණයකි.

2. මහ මුහුදෙහි ඇති දෙවන අසිරිමත් ලක්‍ෂණය වන්නේ, මහ මුහුද වෙරළ නොඉක්මැවීමයි. කොපමණ ගංගා ජලය වැටුණත් කිසි දිනක් එය වෙරළ ඉක්මවා නොයයි. වෙරළ නො ඉක්මවා මුහුද රළ ගැසීම, ආශ්චර්යාවත් ලක්‍ෂණයකි.

එසේම සම්බුද්ධ ශාසනයෙහි ශ්‍රාවක පිරිස, යම් ශික්‍ෂාපදයක් පනවන ලද නම් ඒවා නොඉක්මවා කඩ නොකොට ක්‍රියා කරති. කිසි විටක එම විනය ශික්‍ෂාව ඉක්මවා ගමන් නොකරති.

මෙය භික්‍ෂු සංඝයා තුළ පවතින මහ සමුදුර හා සමාන අසිරිමත් ලක්‍ෂණයකි.

3.තුස්වන ලක්‍ෂණය මුහුදට කුමන හෝ කැළි කසළ, මළ කුණු ආදිය ගංගා ජලයෙන් ගසාගෙන විත් වැටුණත් එය මුහුද පිළිනොගන්නා බවයි. ඒ සියලු අපද්‍රව්‍ය රළ මගින් වෙරළට ගසාගෙන යයි. කිසිවිටක කැළිකසළම මුහුදෙහි නොපවතියි.

සසුනෙහි ද එම ලක්‍ෂණය පවතියි. යම් භික්‍ෂුවක් දුශ්ශීල වුවහොත් ධර්ම විනය විරෝධීව ක්‍රියා කරයි නම් සංඝයා වහන්සේ ඔහු ප්‍රතික්‍ෂේප කරයි. සිල්වත් භික්‍ෂුහු ඔහු පිළිකුල් කොට, කතා බහ කිරීමෙන් හා ඇසුරු කිරීමෙන් වැළකී සිටිති. එවන් දුසිල් භික්‍ෂූහු බොහෝ විට සසුනෙන් පිට වී යති. උපැවිදි වෙති. ඒ දුසිල් භික්‍ෂූන් සසුන නමැති මහ සයුරෙහි පවතින කුණු රොඩු අපද්‍රව්‍ය ලෙස පිටතට ගසාගෙන යන බව එයින් පැහැදිලි කෙරෙයි.

4. හතර වන ආශ්චර්යාවත් ලක්‍ෂණය වන්නේ මහ මුහුදට, විවිධ ගංගාවල ජලය වැටෙන අතර ඒ හැම ජල කඳක්ම ‘මුහුදු ජලය’ බවට එහිදී පත්වීමයි.

මහවැලි, කැලණි, වළවේ, කළු ආදී ලංකාවේ ගංගා ජලයත් ගංගා, යමුනා, අචිරවතී ආදී ඉන්දීය ගංගා ජලයත් මුහුදට ගලා බසියි. මේ සියලුම ගංගා ජලය මුහුදට වැටුණු පසු එම ගංගාවේ නමින් ඒ ඒ ජලය හඳුන්වන්නේ නැත. ඉන්පසු එහි එකම නම, මුහුදු ජලය යන්නයි.

එලෙසම මේ සම්බුද්ධ ශාසනයට විවිධ කුලවල අය බැස ගනිති. එහි සසුන්ගත වෙති. ඒ කුමන කුලයක හෝ ජාතියක අය පැවිදි වූ වහාම එම කුලගොත්, වංශ නාම නැති වී එකම ශ්‍රමණ පිරිසක් භික්‍ෂු පිරිසක් බවට ඔවුහු පත් වෙති.

ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් බවට පත්වෙති. බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර ආදී එදා දඹදිව පැවැති කුලවල විවිධ පුද්ගලයන් සසුන්ගත වූ වහාම, ඒ සියලු කුල වංශ නාම ඉවත් වී බෞද්ධ ශ්‍රවණ නමින් ඔවුන් හඳුන්වනු ලැබිණි. මෙය සම්බුද්ධ ශාසනයෙහි ඇති සුවිශේෂ ලක්‍ෂණයකි.

5. ඊළඟට මහ සයුරෙහි ඇති අසිරිමත් ලක්‍ෂණය කොපමණ වතුර මුහුදට වැටුණත්, එහි පිරී ඉතිරී යෑමක් නොමැති වීමයි. වැහි වතුර, ගංගා ඇළ දොළ දිය දහරා දහස් ගණන් මුහුදට ඇද වැටෙයි. එහෙත් මහ මුහුදට ඇති වීමක්, පිරී ඉතිරී යෑමක් කවදා හෝ සිදු නොවෙයි.

එසේම සම්බුදු සසුනට කොපමණ පිරිස් පැමිණ පැවිදි වුවද එහි පිරී ඉතිරී යෑමක් නැත. මෙය එහි ඇති අසිරිමත් ලක්‍ෂණයකි.

6. මහ සයුරට කොපමණ ජලය වැටුණත් ඒ සියලු ජලය ලවණ රසයට වීම, හය වන ආශ්චර්යවත් ලක්‍ෂණයයි. මුහුදෙහි කොතැනින් ජලය ගත්තත් ඒ සියල්ලම ලුණු රස ගෙන එයි. එසේම සම්බුදු සසුනට පැමිණී සැමට එහි ධර්ම රසය විමුක්ති රසය එක ලෙස නොඅඩුව ලැබෙයි.

7. මහ මුහුද විවිධ රත්න වර්ගවලින් යුක්ත වීම එහි හත් වන අසිරිමත් ලකුණයි. මුතු, මැණික්, රිදී රන් ආදී වටිනා රත්න වර්ග වැඩිපුරම ඇත්තේ මහ මුහුදේ ය. එවැනි වටිනාකමට ඇති වස්තු මිහිපිට වෙන කොතැනවත් එතරම් නැත.

එසේම සම්බුද්ධ ශාසනයෙහි ධර්ම විනයයෙහි රත්රන් වැනි ඉතා අගනා ධර්ම කරුණු අන්තර්ගතව ඇත. සතර සතිපට්ඨාන, සතර සෘද්ධිපාද, පංච බල, සප්ත බෝජ්ඣංග අරිඅටඟි මඟ ආදී ඉතා වටිනා ධර්ම කොටස් වලින් පිරී ඉතිරී තිබීම, සම්බුදු සසුනෙහි සුවිශේෂ ලක්‍ෂණයකි.

8. අට වන ආශ්චර්යවත් ලක්‍ෂණය වන්නේ, මහ මුහුද විවිධ සත්වයන්ට වාසස්ථානයක් වන බවයි. අසුර, නාග, ගන්ධර්ව ආදී සත්වයෝ මෙහි වෙති.

එසේම මේ ධර්ම විනය තුළ සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගඵල වලට පිළිපන් පිරිස් දක්නට ලැබෙයි.මෙය සම්බුදු සසුනෙහි පෙනෙන විශේෂ ලක්‍ෂණයකි.

ෙ මසේ ධර්ම විනය තුළ දක්නට ලැබෙන ඇතැම් සුවිශේෂි ලක්‍ෂණ මහ මුහුදෙහි දක්නට ලැබෙන ලක්‍ෂණවලට උපමා කරමින් පහාරාද සූත්‍රයේ දී දේශනා කොට ඇත. මේ පිළිබඳ බෞද්ධ ඔබ අවධානය යොමු කොට, සම්බුදු සසුන කෙරෙහි අභිරතිය ඇති කර ගන්න.

ඇසළ පුර අටවක

ඇසළ පුර අටවක පෝය
ජූලි 09 වනදා බදාදා අපර භාග 09.20 ට ලබයි. 10 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 10.50 දක්වා
පෝය පවතී. සිල් සමාදන් වීම
ජූලි 10 වන දා බ්‍රහස්පතින්දා ය.
 

මීළඟ පෝය
ජූලි 17 වන දා
බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]