UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

අයිතිවාසිකම් හා යුතුකම්

ආගමික සන්නිවේදනයේ දී වූව ද මිනිසා ගේ සියලු සමාජ ක්‍රියාකාරකම් පිළිබඳ ව අවධානය යොමු කිරීම වැදගත් ය. එ බැවින් අද දින (ජූලි මස 10 වන දින ) පැවැත්වෙන දීප ව්‍යාප්ත වැඩ වර්ජනය වෙත අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතමු.

ඉතා වේගයෙන් ඉහළ යන ජීවන වියදම නිසා පීඩාවට පත් ව සිටින රජයේ සේවකයන්ට වහා ම රු. 5000/= ක වැටුප් වැඩිවීමක් ලබා ගැනීම, වැඩිවන ජීවන අංකයට රු 2/50 බැගින් ලබා ගැනීම හා වහා දුම්රිය ගාස්තු අඩු කිරීම යන ඉල්ලීම් පදනම් කැර ගෙන මෙය පැවැත්වෙන බැව් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කැර තිබේ. එම සංවිධානයට අනුබද්ධිත වෘත්තීය සමිති 366 ක් ඊට සහභාගී වන බව ද ඔහු පවසයි. මෙයට අමතර ව එජාපයට අනුබද්ධිත වෘත්තීය සමිතිය වන ජාසේස පවා මේ වැඩ වර්ජනයට එක්වීමට නියමිත ය.

ලක්‍ෂ 11 ක් පමණ වන රාජ්‍ය සේවකයන් ගේ වැටුප රු. 5000/= න්වැඩි කිරීම නිසා මසකට රුපියල් මිලියන 5500 ක් පමණ වැය කළ යුතු බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මෙය දේශපාලන අරමුණකින් කැරෙන වැඩ වර්ජනයක් යැයි ද ඇමැතිවරයා කියා තිබේ. වැඩිවන ජීවන වියදම සලකා රජයේ සේවකයන්ට රුපියල් දහසක දීමනාවක් ලබන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම දක්වා ගෙවීමට ද ජනාධිපතිවරයා එකඟ වී ඇත.

මෙහි දී ශ්‍රී ලංකාවේ වැඩ වර්ජන සංස්කෘතිය හා මෑත කාලීන අත්දැකීම් ගැන කතා කිරීම අවශ්‍ය කරුණකි. මෙ රට වෘත්තීය සමිති, පක්‍ෂ දේශපාලනයේ කොටසක් බවට පත් වී තිබෙන පසුබිමක සෑම වෘත්තිය අරගලයක් ම දේශපාලන න්‍යාය පත්‍රයක් මත තීරණය කැරේ. වෘත්තීය අවශ්‍යතා හා ආර්ථික ඉල්ලීම් සටන් පාඨ ලෙස යොදා ගත් පමණින් එය වෙනස් නො වේ. මහා ඛේදවාචකයක් බවට පත් වූ 1980 ජූලි වැඩ වර්ජනය මේ පිළිබඳ හොඳ ම උදාහරණය යැයි සිතමු.

සෑම සේවකයකු ගේ ම මාසික වැටුප රු. 300/= න් වැඩි කිරීම, 1977 ජූලි මස සිට වැඩි වූ සෑම ජීවන අංකයකට ම රුපියල් පහ බැගින් දීමනාවක් ගෙවීම හා 1980 ජූනි මස 05 වන දින විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූවන්ට එරෙහි ව ක්‍රියාත්මක කළ දඬුවම් ඉවත් කිරීම එම ඉල්ලීම් විය. වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිති වලට බැඳීමේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන තිබිය දී 1980 ජූලි වර්ජනය දැඩි මර්දනයකට ලක් කළ බව කිව යුතු නැත.

සුපිරි දියුණුවක් හා සුපිරි නිදහසක් ඇතැයි සැලැකෙන ඇමරිකාවේ වැඩ වර්ජනයක අත්දැකීම් ද මෙහි දී සිහිපත් කළ යුතු ය. 2005 දෙසැම්බර් මස 20 වන දා නිව්යෝර්ක් නුවර පැවැති ප්‍රවාහන සේවා වැඩ වර්ජනය එ බඳු අවස්ථාවකි. එම වැඩ වර්ජනය නිසා හැත්තෑ ලක්‍ෂයක් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වූ බව සැලැකිල්ලට ගත් එ රට ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිව යුතු වෘත්තීය සමිතියට දිනකට ඩොල්ර් දශ ලක්‍ෂය බැගින් දඩයක් නියම කළේ ය.

කෙ සේ වූව ද වැඩ වර්ජන පිළිබඳ ව මෙ තරම් කතා කිරීමට හේතුව අද පැවැත්වෙන වැඩ වර්ජනය දේශපාලන වශයෙන් හෝ ආර්ථික වශයෙන් සුවිශේෂී වන නිසා නො වේ. මෙ රට වැඩ වර්ජන සංස්කෘතියට මෙන් ම ඒවාට දක්වන ප්‍රතිචාර වලදී ද අවධානයට ගත යුතු කරුණක් අවධාරණය කැරෙනු පිණිස ය.

බුදු දහමේ දැක්වෙන පරිදි අයිතිවාසිකම් දිනා ගැනීමේ සාර්ථක ම මඟ යුතුකම් ඉටු කිරීම ය. එම පිළිවෙත සේවකයන්ට පමණක් නො ව පාලකයන්ට ද අදාළ වේ. මෙහි දී එක් පාර්ශ්වයක් නො ව දෙපාර්ශ්වය ම දැහැමි සිතින් ක්‍රියා කළ යුතු ය. එ සේ නොමැති ව ලබන ජය තාවකාලික ය.

ඇසළ පුර අටවක

ඇසළ පුර අටවක පෝය
ජූලි 09 වනදා බදාදා අපර භාග 09.20 ට ලබයි. 10 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 10.50 දක්වා
පෝය පවතී. සිල් සමාදන් වීම
ජූලි 10 වන දා බ්‍රහස්පතින්දා ය.
 

මීළඟ පෝය
ජූලි 17 වන දා
බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]