UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දානයෙහි අනුසස්

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

තිරොකුඩ්ඩෙ සු තිට්ඨන්ති
සන්ති සංඝාට කෙසු ච
ද්වාර බාහාසු තිට්ඨන්ති
ආගන්ත්වාන සකං ඝරංති

සුපින්වතුනි,

ඉහත ගාථාවට අයත් සූත්‍රය ඛුද්දක නිකායේ ඛුද්දක පාඨ හා ප්‍රේත වස්තු යන ග්‍රන්ථවල 6 – 7 වර්ග දෙකට සම්බන්ධ දහම් කරුණු ඇතුළත් කතාවයි. අපගේ බුදුපියාණන් වහන්සේ මුළු සත්ත්ව සංහතිය කෙරෙහි දැක්වූයේ අපරිමිත මහා කරුණාවකි. මහත් දයාවකි. ඒ නිසාම ලෝකනාථ වූ සේක. තිලොවග තිලක වූ සේක. ලෝකවිදූ නම් වූ සේක. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනා ලෞකික ලෝකෝත්තර දෙඅංශයටම අදාළය. දෙලොවෙහි ප්‍රජාවටම මා හැගි ප්‍රයෝජනයක් ඉන් ලබා ගැනීමට ශක්තිය හා වාසනාවක් ලැබිණ. පරලොව ගිය අපේ ඤාතීන් කෙරෙහි දයාවෙන් යුතුව ඒ සත්ත්ව වර්ගයා විඳින දුක ගැන මනා අවබෝධයකින් යුතුව එයින් නිදහස් කරලීමට අවශ්‍ය ධර්ම කරුණු පෙන්වා වදාළහ.

වර්තමානයේ ලක්වැසි බොදු ජනතාවගෙන් ඇතමෙක් දහම් ශ්‍රවණයට මහත් රුචියක් දක්වන බව පෙනෙයි. පෙරට වඩා බෞද්ධයාගේ පිබිඳීමක් ඇතැයි ජන සමාජයේ මතයයි. සමාජයේ සාරධර්ම පිරිහී ඇතැයි පවසතත් එහි පිරිහීමක් ඇත්නම් එය දැකිය හැක්කේ මිනිසුන් තුළ විනා සාරධර්ම තුළ නොවේ. වෙසක්, පොසොන් පොහෝ දින හා වකවානුව තුළ මහත් උනන්දුවෙන්, දන්දීම, සිල් රැකීම, භාවනාදී, පින්කම්වල නිරතවීම, වඩාත් ප්‍රකටයහ.

තවත් සමහරු කරන්නන් වාලේ පින්කම් කිරීමේ සිරිතක් ද පවතී. වැඩි පිරිසක් ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව දානාදි කුසල කර්මවල නිරත වීමද දැකිය හැකි ය. එය කර්ම ඵල විශ්වාස කරගෙන දෙළොවෙහිම වැඩදායී ලෙස කෙරෙන මා හැඟි උතුම් පුණ්‍ය කර්මයක් බව සැලකිය යුතු ය. පරලොව ගිය ඤාතිවරයෙකු ප්‍රේත ආත්මයක් වැනි දුක් විඳින ස්ථානයක උත්පත්තියක් ලබා ඇතැයි සැක පහළ විය හැකිය. එවැනි අය එම දුකින් මුදවාලීමට ශක්තියක් ඇත්තේ දන් දී පින් අනුමෝදන් කිරීමෙනි. ඒ නිසා වෙනත් ක්‍රමයක් නොමැති බව තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් පෙන්වා දෙයි.

මෙම තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කිරීමට හේතුව බුදුපියාණන් වහන්සේට ප්‍රථමයෙන්ම පූජා කළ විහාරය වේළුවනාරාමයයි. එම විහාරය සාදා පූජා කරන ලද්දේ බිම්බිසාර මහරජතුමා විසිනි. එම විහාරස්ථානය පූජා කළ දින රාත්‍රියේ මහ හඬින් වැළපෙන පිරිසකගේ හඬක් සිහිනෙන් රජතුමාට ඇසිණ. රජතුමා බියට පත්ව පසුදා උදෑසනම බුදුරජාණන් වහන්සේ හමුවීමට වේළුවනාරාමයට ගොස් සිහිනය පිළිබඳ සැලකර සිටියහ.

බුදුපියාණන් වහන්සේ එම සිහිනෙහි හඬ ගැන තතු විමසා බුදු නුවණින් බලා වදාරා, ඒ පිරිස රජතුමාගේ පෙර ඤාති පිරිසක් බවත්, පෙර භවයක දන් සොරා කෑ පවින් ප්‍රේත ආත්මයක ඉපිද දුක් විඳින බව වදාළහ. ඒ ප්‍රේත සමූහයා එම පවින් මුදවාලීමට නම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සිවුරු පිරිකර සහිතව සාංඝිකව මහ දානයක් පිරිනමා පින් අනුමෝදන් කළ යුතු බව වදාළහ. එම දේශනාව අනුව රජතුමා දන් දී පින් අනුමෝදන් කළ පසු ඒ ප්‍රේත සමූහයා එම භාවයෙන් නිදහස් වී සැපතට පත් වූ බව ශාසන ඉතිහාසය සඳහන් කරයි.

එදා පටන් මේ වන තුරුම පරලොව ගිය ඤාතීන් වෙනුවෙන් දන් දී පින් අනුමෝදන් කිරීමේ සිරිත පැවත එන බව පෙනේ. දන්දීම කොටස් රාශියකට දැක්විය හැකිය. එයින් ආමිෂ දානය, ධර්ම දානය, අභයදානය වශයෙන් කොටස් තුනකට බෙදේ.

ආමිස දානය යනු මිල මුදල්, ආහාර පාන, බෙහෙත් හේත්, පොත් පත්, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, ආදියෙන් සංග්‍රහ කිරීම ද ශ්‍රමදාන පැවැත්වීම ආදියද දැක්විය හැකි ය.

අභය දානය නම් සියලු සත්ත්ව ප්‍රජාවගේ ජීවිත රැක දීම, එම අසරණ වූ අයට, දුකට පිහිට වී, සැනසීමට, සතුටට පත් කිරීම, නිවැරදිව ජීවත්වීමට මඟ සැලස්මද වේ.

ධර්මදානය නම් තම ධනය, නුවණ හා ශ්‍රමිකයන් යොදා පොත් පත් කියවා, ලියා පළකර මහජන සුබ සිද්ධියට යෙදීම ධර්ම දානය වශයෙන් සැළකේ.

එසේම තව දාන ක්‍රම දෙකක් බෞද්ධ ඉගැන්වීම් වල දැක්වේ. එය පූජා බුද්ධිය හා අනුග්‍රහ බුද්ධිය ලෙස දක්වා ඇත. ශීලා දී ගුණ ධර්මයන්ගෙන් යුතු මහ සංඝරත්නය වැනි උතුමන් වෙත පූජා කරන දානය පූජා බුද්ධි වශයෙන් සැළකෙන අතර දුගී මගී යාචකාදීන්ට මෙන්ම නැති බැරි අයට අනුකම්පාවෙන් දෙන දානය අනුග්‍රහ බුද්ධි දානයට අයත් වේ. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්යය මහ සංඝරත්නයට පූජා බුද්ධියෙන් දන් පූජා කොට, එම පුණ්‍යානුමෝදනාවෙන් කොටසක් පරලොව ගිය ඤාතීන් කෙරෙහි මෛත්‍රී සහගත අනුකම්පාවෙන් පින් අනුමෝදන් කිරීම අනුග්‍රහ බුද්ධියට ද ගත හැකි බව පෙනේ.

පීති මුදාරං වින්දති දාතා - ගාරවස්මිං ගච්ඡති ලෝකෙ
කිත්තිං මනන්තං යාති චද්‍රතා - විස්සසන්යො හෝතිච දානා

දන් දෙන තැනැත්තා දන් දී මහත් සතුටක් ලබයි. දන් දී පරලොව ගිය අයට පින් අනුමෝදන් කරවා ඒ අය දුකින් මිඳීමට උදව් වන්නා සේම මාගේ පරලොව ගමනට ද පිහිටක් ලැබේවායි ප්‍රාර්ථනා කළහැකිය. එයින් නුවණැත්තන්ගේ ගෞරවයට පාත්‍ර වීමෙන් කීර්තියට ලක්වෙනවා. අලුත් මිතුරන් ඇති වෙනවා. ලෝකයා විශ්වාස කරනවා. එවැනි අනුසස් රැසක් ලබාගත හැකියි.

තිරො කුඩ්ඩේසු තිට්ඨන්ති - සංධි සිංඝාටකෙසු ච
ද්වාර බාහාසු තිට්ඨන්ති – ආගන්ත්වාන සකං ඝරං.....

ආදී තිරොකුඩ්ඪ සූත්‍රයේ ගාථා දහතුනෙහිම සාරාංශය වශයෙන් මෙසේ සඳහන් කළ යුතු ය. පරලොව ගිය ඤාතීන් පින් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් බිත්තියෙන් පිටත සිටද, දොර උළුවස්සේ, ද හතර මංසන්දියෙහිද, තුන්මන්හන්දියෙහි ආදී තැන්වල සිටින බව සඳහන් වේ. එසේම ගෙදර හදන ආහාර පාන, කැවිලි පෙවිලි, සකස් කරන අවස්ථාවක පවා පරලොව ගිය ඤාතීන් සිහි නොකෙරේ නම් ඔවුන්ගේ අකුසල කර්මය ඉතා විශාල ය.

නෑයන්ගෙන් යමෙක් ඔවුනට අනුකම්පාවෙන් යුතුව පරලොව ගිය අපේ ඤාතීන් මේ පින් ලබාගෙන සුඛි සුවපත් වේවා. ඔවුනට යහපතක්ම වේවා ප්‍රාර්ථනා කරමින් දන් දී පින් අනුමෝදන් කරන විට එම පින් පරලොව ඤාතීන් එකතු වී පින් ලබාගෙන දුකින් මිදී සැප සම්පත් ලබාගනී.

එම ඤාතීන්ට දන් දුන් මිනිස් ලොව නෑයන්ට බොහෝ කලක් නිදුක් නීරෝගීව ජීවත්වේවායි ප්‍රාර්ථනා කරයි. එම ප්‍රාර්ථනාවන් මෙලොව ඤාතීන්ට පිහිට පිණිස වේ. ප්‍රේත ලෝකාදියෙහි ගොවිතැන් වෙළහෙළදාම් ආදී කිසිදු ගනුදෙනුවක් නොමැත. මිනිස් ලොව වෙසෙන නෑයන් දෙනු ලබන පිනෙන් යැපෙත්.

උස් බිමක පිහිටි ජලය පහත් බිමකට ගලා එන්නා සේ මිනිස් ලොව නෑයන් දෙනු ලබන දානයෙහි විපාක ප්‍රේත ආත්ම වල සිටින නෑයන්ට ලැබෙන්නේ ය. ලොකු කුඩා ගංගාදියෙන් ගලන ජලය මහ සාගරයට විත් පිරෙන්නා සේ මිනිස් ලොව වෙසෙන ඤාතීන් දුන් දානානිසංසය පරලොව ඤාතීන්ට පින් අනුමෝදන් කර සැපතකට පත්කිරීම වේ. පරලොව වෙසෙන නෑයෝ මෙලොව සිටිය දී මට නොයෙක් ලෙස උදව් උපකාර කෙළේ ය. ඔවුන් මගේ නෑයෝ යැයි ද මිතුරෝයැයි ද සිතා ඒ උපකාර සිහි කරමින් ඔවුන් සඳහා දන් දී පින් අනුමෝදන් කෙරේ.මියගිය නෑයන් වෙනුවෙන් හැඩීම්, වැළපීම් වලින් කිසිදු ප්‍රයෝජනයක් නොවේ. එය හැමට අනර්ථයකි. ඔවුන්ගේ කුසලාකුසල කර්ම අනුව යම් භවයක උපදී.

මහරජ! ඔබ විසින් පරලොව ගිය ඤාති සමූහයා උදෙසා බුද්ධ ප්‍රමුඛ මහ සංඝරත්නයට සාංඝිකව දුන් දානය මහත් ඵලමනානිසංස වන්නේ ය. එයින් පරලොව ඤාතීන්ට හිතසුව පිනිස විපාක ලැබෙන්නේ ය. ඔවුන් දුක් විඳින ආත්ම වලින් මිදී සැප ලබන්නේ ය.

මේ මහ සංඝගත දක්‍ෂිණාව පිරිනැමූ ඔබ විසින් විශාල ඤාති සංග්‍රහයක් කරන ලදී. ඔබගේ පරලොව ගිය ඤාතීන් දුක් විඳින භවයෙන් මුදවා දිව්‍ය සම්පත්තියට පමුණුවන්නා වූ ඒ අයට මහත් උපකාරයක් කරන ලදී. භික්‍ෂූන් වහන්සේලාට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච සම්පත්තියක් ද පංච බලයක් ද දී ඔබ ඉමහත් කුසල සම්භාරයක් රැස්කරගන්නා ලදහ. මෙම ධර්ම කරුණු පින්වත් ඔබත් සිතට ධාරණය කරගෙන ඒ අනුව ජීවිතය මැනවින් හැඩගස්වා ගෙන ජීවත් විය යුතු ය. දානාදී කුසල ධර්මයන්හි වඩ වඩා නිරත වෙමින් ජාති ජරා විරහිත සදාකාලිකව සැප ගෙන දෙන අමාමහ නිවන් සුව ලබාගැනීමට උත්සුක වෙත්වා.සැමට සම්මා සම්බුදු සරණයි.

 

ඇසළ පුර අටවක

ඇසළ පුර අටවක පෝය
ජූලි 09 වනදා බදාදා අපර භාග 09.20 ට ලබයි. 10 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 10.50 දක්වා
පෝය පවතී. සිල් සමාදන් වීම
ජූලි 10 වන දා බ්‍රහස්පතින්දා ය.
 

මීළඟ පෝය
ජූලි 17 වන දා
බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]