UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 66 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ජූලි 5 වන දා සිට 15 දක්වා පොල්ගහවෙල දී

උපසම්පදා මහෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්ෂ දෙකකට වරක් බැගින් පවත්වනු ලබන ජාතික උපසම්පදා මහාවිනයකර්මය හා පුණ්‍යමහෝත්සවය 2008 ජූලි මස 05 දා සිට 15 දා දක්වා පොල්ගහවෙල කුලීපිටියේ විජයතුංගාරාමය හා පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) කේන්ද්‍ර කොට ගෙන මා ඔයේ ඉදිකෙරෙන උදකුක්ඛේප සීමාමාලකයේ දී අත්‍යුත්කර්ෂවත් ලෙස සිදුකිරීමට සියලු විධිවිධාන සැලසී ඇත.

විවිධාකාර අහිතකර බලපෑම් හේතුවෙන් පරිහානියට පත් වෙමින් පැවති භික්‍ෂුශාසනය පුනරුත්ථාපනය කිරීමේ සහ යටත්විජිතවාදී බ්‍රිතාන්‍ය පාලනය හේතු කොට ගෙන පරාධීන ව සිටි ලාංකික ජනතාව ආත්මාභිමානයෙන් පුබුදුවාලීමේ අටියෙන් අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභ වරඤාණසාමි නම් වූ ධර්මවීර මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් මෙයින් අවුරුදු එකසිය පණහකට පමණ ඉහත දී බුරුමයේ දී උපසම්පදාව ලබා මෙහි වැඩමවා පිහිටුවා වදාළ භික්‍ෂුවංශය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය නම් වෙයි. සිල්වත්කම, ගුණවත්කම, ධර්ම විනය ගරුත්වය ගරු කොට සළකන හත්දහසක් පමණ වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායික භික්‍ෂූන් වහන්සේ මේ වන විට ලංකාවේ සෑම දිශාවක ම පැතිර ගොස් දෙදහසක් පමණ විහාරස්ථාන සංඛ්‍යාවක් දියුණු කොට ගෙන රටවාසීන් සමෘද්ධිමත් ශීලාචාර ජනතාවක් බවට පත් කිරීමේ අරමුණින් ධර්මප්‍රචාරයෙහිත් අධ්‍යාපන සේවයෙහිත් සමාජ සංවර්ධන ව්‍යාපෘතිවලත් නියැළී සිටිති.

මහා කරුණාව හා මහාප්‍රඥාව පදනම් කොට ගත් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම හුදෙක් උපසම්පදාව මත ම රඳා පවතී. ශාසනයේ පූර්ණ සාමාජිකත්වය ලැබීමට නම් කවරෙකු වූව ද උපසම්පත්තිය ලැබිය යුතුම ය. භික්‍ෂුවක් තුළ සංඝසමාජය කෙරෙහි ගෞරවයක් හා ශ්‍රද්ධාවක් ජනිත වන්නේත් විනයානුකූල පැවැත්ම කෙරෙහි ප්‍රඥාසම්ප්‍රයුක්ත විශ්වාසයක් ගොඩනැගෙන්නේත් උපසම්පත්තිය තහවුරු ව පවත්නා කල්හි ය. උපසම්පන්න භික්‍ෂූන් නැතිව ම ගිය කල ශාසනය සහමුලින්ම අතුරුදහන් වන බවට සාධක පවතී. අවුරුදු දෙදහසකටත් අධික කාලයක් තිස්සේ බුදුසමය විසින් හික්මවන ලද ශ්‍රී ලංකාවේ එවන් අතිශය ඛේදජනක තත්ත්වයක් උදා වුවහොත් ලොව විශිෂ්ටතම සංස්කෘතියත් සිංහල වර්ගයාගේ පැවැත්මත් අවසන් හුස්ම හෙළනු වළකා ගන්නේ කෙසේ ද?

සිරිත් පරිදි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පූර්ණ අනුග්‍රහය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේගේ නායකත්වය යටතේ පවත්වනු ලබන මෙම මහා පුණ්‍ය කර්මයේ සංවිධායකත්වය දරන්නේ කෑගලු, ප්‍රාදේශික සංඝසභාව, රාජ්‍යපරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායාරක්‍ෂක සභාව, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමා සහ වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මැතිතුමාත් ය. එහි කටයුතු සංවිධානයෙහි ලා රජයේ මැති ඇමතිවරුන් ප්‍රමුඛ විවිධ දෙපාර්තමේන්තුවල සහ ආයතනවලත් ඉහත කී පළාත් සභා දෙකේ ආමාත්‍යාංශවල සහ නිලධාරීන්ගේත් බැතිබර ක්‍රියාකාරීත්වය නොමද ව ලැබේ.

ඉහත විස්තර කළ උපසම්පදා උත්සවය කෑගලු හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක දෙකේ සැදැහැබර පින්වත් ජනතාවට ලැබුණු සුවිශේෂ වරප්‍රසාදයකි. දුර්ලභ ගනයේ අනුස්මරණීය පින්කමකට අතහිත දීමට ලැබුණු අනුපමේය වාසනාවන්ත අවස්ථාවකි.

පරම්පරා සිය ගණනක් තිස්සේ නොකඩවා පවත්වා ගෙන ආ සංස්කෘතිය ආරක්‍ෂා කිරීම සඳහා දායක වන්නට ලැබුණු දිව්‍ය වරමකි.

පුරා දින දහයක් තිස්සේ පැවැත්වෙන මෙකී අතිවිශාල පුණ්‍ය කර්මය ශාසනික සම්ප්‍රදායයන් රකිමින් ගෞරවාන්විත ව ඉටු කිරීම වෙනුවෙන් කළ යුතු දෑ බොහෝ ය. එමෙන්ම බරපතලය. විනයකර්මය සඳහා මා ඔයේ දර්ශනීය සීමාමාලකයක් ඉදිකිරීම, සතර දිගින් වඩින අතිපූජ්‍ය, මහානායක මාහිමියන් ප්‍රමුඛ දහස් ගණනක් වන මහාසංඝයා වහන්සේට නේවාසික පහසුකම් හා දාන – මානාදිය සැපයීම, දිවයිනේ දසදෙසින් පැමිණෙන ගිහි පින්වතුන්ට ඉඳුම් – හිටුම් සැපයීම, පාසැල් සිසු සිසුවියන්ට උත්සවය දැක බලා ගැනීමේ පහසුකම් සැළසීම, තොරන් ඉදිකිරීම, සැරසිලි කිරීම, ඒ කටයුතුවල නිරත වන සහ සේවාවන් සපයන පින්වතුන්ට මාසයකට අධික කාලයක් පුරා ආහාරපානාදිය සැපයීම ආදී දැවැන්ත කාර්යභාරයක් මේ පුණ්‍ය කර්මය වෙනුවෙන් ඉටු කළ යුතුව තිබේ.

උත්සවය සිදුකෙරෙන පළාත්වල ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය හා දේශාභිමානය ද ප්‍රදර්ශනය වන සේ අවශ්‍ය වන ද්‍රව්‍යයන් හා භාණ්ඩ සැපයීම, මුදල් පරිත්‍යාග කිරීම හා ශ්‍රමය පූජා කිරීම ආදී මාර්ගවලින් සැදැහැති පින්වතුන්ට මෙම මහා පුණ්‍ය කර්මයට සහභාගී විය හැකි ය. එහෙයින් කරුණාකර මෙම ශ්‍රේෂ්ඨ ශාසනික මෙහෙවර උදෙසා හැකි කවර ආකාරයකින් සහ හැකි උපරිම ලෙසින් ආධාර, උපකාර කොට, සහයෝගය දක්වා දිවි ලත් ඵල ලබා ගන්නා ලෙසත් සහ මොක්සුව පතා ගන්නා ලෙසත් ඔබගෙන් ශාසනස්ථිතිකාමීව ඉල්ලා සිටිමු. - ධර්ම රුචි

-----------------------------------------------------

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මිරීගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති අග්ගමහා සද්ධම්මජොතිකා ධජ සාහිත්‍ය චක්‍රවර්තී වේවැල්දෙණියේ

මේධාලංකාර මහා නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වර්ෂ දෙකකට වරක් බැගින් පවත්වනු ලබන උපසම්පදා විනය කර්මය සහ පුණ්‍ය මහෝත්සවය 2008 ජුලි මස 05 දා සිට 15 දක්වා පොල්ගහවෙල කුලිපිටියේ විජයතුංගාරාමය හා පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කොට ගෙන මා ඔයේ ඉදිකෙරෙන උදකුක්ඛේප සීමාමාලකයේදී උත්කර්ෂවත් ලෙස සිදුකිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 12 මහානායක පදවිය හොබවන මිරීගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති අග්ගමහා සද්ධම්මජෝතිකා ධජ සාහිත්‍ය චක්‍රවර්තී අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම මහා විනය කර්මය පවත්වනු ලැබේ. වර්ෂ දෙකකට වරක් උපසම්පදා විනය කර්මය සිදුකිරීම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය විසින් කරනු ලබන පිළිවෙළයි. උපසම්පදාව පැවැත්වීමට මාස හයකට පමණ කලින් ඒ පිළිබඳව කාරක සංඝ සභාව විසින් තීරණයකට එළඹෙයි.

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් උපසම්පදා විනය කර්මය සිදුකිරීමට අදාළ ප්‍රාදේශීය සංඝ සභාවේ මාර්ගයෙන් කාරක සංඝ සභාවෙන් ඉල්ලීම් කරයි. ඉල්ලීම් කීපයක් ඇති කල්හි කාරක සංඝ සභාව වඩාත් ම සුදුසු ස්ථානය නම් කරයි. එයින් පසුව අදාල සංඝ සභාව මාර්ගයෙන් නිකායාරක්ෂක දායක සභාවේ සහ රාජ්‍ය අනුග්‍රහයෙන් එය සිදුකිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරනු ලැබේ. එහිදී අප නිකායේ උපසම්පදාපේක්ෂකයින් ප්‍රමාණය කොතෙක් දැයි සංඝ සභා මාර්ගයෙන් කරුණු විමසති.

ලංකාවේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි සංඝ සභා 43 ක් යටතේ අප නිකාය පාලනය කෙරෙති. උපසම්පදාපේක්ෂකයින් සඳහා ලිඛිත පරීක්ෂණයක් මධ්‍යස්ථාන 43 කදී පවත්වනු ලබයි. මෙවර ද එම විභාගය අප නිකායේ පටිපත්ති සංවර්ධන සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අංකුඹුරේ පේමවංශ නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් පවත්වනු ලැබීය.

උපසම්පදා විනය කර්මයේ වැදගත්ම කොටස ඉටුකරනු ලබන්නේ සඤ්ඤාලේඛකාධිකාරි නායක ස්වාමින්වහන්සේ විසිනි. දැනට එම තනතුර හොබවනු ලබන්නේ මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති මකුලෑවේ විමල නායක මාහිමිපාණන් වහන්සේ විසිනි. උපසම්පදාපේක්ෂකයින්ගේ් වැඩි මහළු පටිපාටිය සකස් කොට උපසම්පදාවට පෙනී සිටීමේ අවසර පත් උවන්වහන්සේ විසින් නිකුත් කරනු ලැබේ.

සීමාමාලකයේදී උපසම්පදා විනය කර්මය පිළිබඳ සියලු කාර්යයන් උන්වහන්සේ විසින් සංවිධානය කරනු ලැබේ.

එම නිසා විනය කර්මයේ වගකිවයුතුම කොටස ඉටුවන්නේ උන්වහන්සේ අතිනි.

උපාධ්‍යාය, කර්මාචාර්ය, ගණපූරක වශයෙන් උපසම්පදා කර්මයට භික්ෂූන් වහන්සේ තුන් කොටසක් සහභාගි වෙති.

මේ සියලු දෙනා වහන්සේම තෝරා ගනු ලබන්නේ සඤ්ඤාලේඛකාධිකාරි නාහිමියන් වහන්සේ විසිනි.

උන්වහන්සේගේ් නිර්දේශයන් කාරක සංඝ සභාවට ඉදිරිපත් කළ විට අවශ්‍ය සංශෝධන සහිතව අනුමත කරනු ලැබේ.

උපසම්පදා විනය කර්මයට සහභාගි වීම පිණිස සීමාමාලකයට වැඩමවන සියලු දෙනා වහන්සේම පරිවාස, මානන, අබ්භාන යන විනය කර්මයන්ට කලින් සහභාගි වීමෙන් ශුද්ධාන්තයෙහි පිහිටිය යුතුය.

අදාළ ප්‍රාදේශීය සංඝ සභාව විසින් ඒ විනය කර්මයන් සිදු කිරීමට අවශ්‍ය සංඝයා වහන්සේ සූදානම් කරවති. ශුද්ධාවන්තයෙහි පිහිටි භික්ෂූන්වහන්සේට සහතිකයක් පිරිනමති. එම සහතිකය සඤ්ඤාලේඛන කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් පසුව සීමාවට වැඩම කිරීමේ අවසර ලැබේ.

උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලා කැප පඬු පොවා සකස් කළ සිවුරු හා පාත්‍ර ද, සහිතව උපසම්පදාව සිද්ධ කරන මධ්‍යස්ථානයට පැමිණිය යුතුය.

එහිදී පරීක්ෂක මණ්ඩලයක් විසින් සිදු කරනු ලබන සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය.

උපසම්පදාවට අවශ්‍ය ශාරීරික හා වෙනත් සුදුසුකම් ද වැඩි දුරටත් මෙහිදී පරීක්ෂාවට භාජනය කෙරේ. ඒ හැර විනයෙන් නොපිළිගන්නා ජාති, කුල , ගෝත්‍ර උස් පහත් භේද කිසිවක් මෙහිදී සැලකිල්ලට ගනු නොලැබේ.

මේ අනුව රාමඤ්ඤ නිකායෙහි වර්ෂ දෙකකට වරක් සිදුකරනු ලබන 200 කට ආසන්න සාමණේරයන් වහන්සේ අධිසීලයෙහි පිහිටුවන උපසම්පදා මහා විනය කර්මය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ සමාජවාදි ජනරජයේ පූර්ණ අනුග්‍රහයෙන් රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ නායකත්වය යටතේ 2008 වර්ෂයේ සිදුකරන මෙම මහා පුණ්‍යමහෝත්සවයේ සංවිධායකත්වය දරන්නේ කෑගල්ල ප්‍රාදේශීය සංඝ සභාව, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු කරූ ජයසූරිය මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායාරක්ෂක සභාව, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ගරු මහීපාල හේරත් මැතිතුමා සහ වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ගරු අතුල විජේසිංහ මැතිතුමාත්ය.

සියලු කටයුතු සංවිධානයෙහිලා රජයේ මැති ඇමැතිවරුන් ප්‍රමුඛ විවිධ දෙපාර්තමේන්තුවල සහ ආයතනවලත්, ඉහත කී පළාත්සභා දෙකේ අමාත්‍යාංශවල සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයත් නොමදව ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහාලේඛකාධිකාරි මහාචාර්ය වරාගොඩ පේමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේත්, කාරක සංඝ සභික විශ්‍රාමලත් පිරිවෙන් අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත ඇකිරියගල සුමති, පිරිවෙන් පරීක්ෂක රාජකීය පණ්ඩිත දීවෙල මහින්ද, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇකිරියගල නන්ද යන නායක ස්වාමීන් වහන්සේලාගේ අධීක්ෂණයෙන් සිදුකරන මෙම කර්තව්‍යයේ සංවිධායක ලේකම් වශයෙන් කෑගල්ල සංඝ සභාවේ ලේකම් විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති මාරුක්අතුරේ සෝරත නාහිමිපාණන් වහන්සේ කටයුතු කරති.

උපසම්පදා මහා පුණ්‍යමහෝත්සවයේ සියලු කටයුතු සාර්ථක වේවා!

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුලි 2 වනදා බදාදා පූර්ව භාග 11.21 ට ලබයි. 3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.49 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම
ජූලි 2 වනදා බදාදාය.

මීළඟ පෝය
10 වනදා
බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]