UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ‘එංගලන්තයේ බුද්ධාගමට සියවසයි’


ආනන්ද මෙත්තෙය්‍ය හිමි

චාල්ස් හෙන්රි ඇලන් බෙනයට් නමැති ඉංගී‍්‍රසි ජාතික මහත්මයකු බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් බවට පත්ව ධර්ම ප්‍රචාරය සඳහා එක්සත් රාජධානියට පැමිණීම සිදුවූයේ 1908 අප්‍රේල් මස 23 දිනදීය. එය සිදුවී 2008 වර්ෂයට ශත වර්ෂයක් සම්පූර්ණ වේ. මේ ඓතිහාසික සිද්ධියේ වැදගත්කම පැහැදිලි වන්නේ අපරදිග රටවල ඇති වූ බෞද්ධ ප්‍රබෝධය සළකා බැලීමේදී ය.

පෙරදිග රටවල් අතර ශ්‍රී ලංකාව, බුරුමය හෙවත් මියන්මාරය, කාම්බෝජය, සියම, ටිබෙටය, තායිලන්තය, ජපානය, චීනය, වියට්නාමය යන රටවල ජන සංක්‍රමණයට අදාළව බෞද්ධ විහාරස්ථාන හා සංවිධාන ඇතිවීම සිදුවුණා පමණක් නොව පෙරදිග රටවල නොමැති තරමට බුද්ධ ධර්මය සම්බන්ධ පර්යේෂණ කිරීම හා බෞද්ධ ග්‍රන්ථ අපරදිග භාෂාවනට පරිවර්තනය කිරීමද සිදු වී තිබේ. සියලු ආගම් දේව කේන්ද්‍රියව පවත්නා නමුත් බුද්ධාගම පවතින්නේ මානව කේන්ද්‍රියව බව නොරහසකි. එහෙත් පාලි භාෂාව හැදෑරීම බුද්ධ ධර්මය ඉගෙනීම යන අංශවලින් ලොකු උද්‍යෝගයක් බටහිර රටවල ඇති වී තිබේ’.

අපරදිග රටවල පාලි භාෂාව හා බෞද්ධ පොත පත පිළිබඳ උනන්දුව 1817 පමණ කාලයේ සිට ඇති වී තිබිණි. ප්‍රංශ ජාතික මයිකල් ජින් ප්‍රැන්සිස් ඔස්රේ The World as will and Representation
ග්‍රන්ථයද රිස් ඩේවිඩ්ස් 1880 පමණ සිට පළකළ පාලි ත්‍රිපිටකයේ ඉංගී‍්‍රසි පරිවර්තනද, රුසියන්, ජර්මන්, ප්‍රංශ, ඩෙන්මාර්ක් හා බ්‍රිතාන්‍ය උගතුන්ගේ කුතුහලය පිරි අවධානයට ලක්විය.

ඩෙන්මාර්ක් ජාතික උගතකු වූ ආර්.කේ. රාස්ක් 1821 දී ලංකාවට පැමිණ පාලි මෙන්ම සිංහල ද ඉගෙන ගත්තේ ය. ආපසු ඩෙන්මාර්කයට ගොස් කෝපන්හේගන් හි රාස්ක්
Rask Foundation
නම් පදනම බිහි කළේ ය. ඔහු ලංකාවෙන් ගෙන ගිය විශාල ප්‍රමාණයක් බෞද්ධ පුස්කොළ පොත් දැනට රෝයල් ඩැනිෂ් ඇකඩමි Royal Danish Academy හි දක්නට තිබේ. රාසක් විසින් පාලි ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ බාලාවතාරය ඉංගී‍්‍රසියට පරිවර්තනය කරන ලදී.

මේ පසුබිම යටතේ ඇති වූ පිබිදීම 1879 සර් එඩ්වින් ආර්නෝල්ඩ් විසින් Light of Asia ආසියාවේ ආලෝකය නමින් බුද්ධ චරිත කාව්‍යය නිර්මාණය කිරීමට හේතු විය.

1864 ආචාර්ය රීස් ඩේවිඩ්ස් මහතා සිවිල් සේවකයෙකු වශයෙන් ලංකාවේ සේවයට පැමිණ පාලි භාෂාව හදාරා පසුව එංගලන්තයට පැමිණ ත්‍රිපිටක පරිවර්තන කිරීම අරඹා ඇත. ඔහුට පසු සිවිල් සේවකයෙකු වශයෙන් ලංකාවට ගිය රොබට් වයිල්ඩර්ස් මහතා ද ලංකාවේ දී පාලි භාෂාව හදාරා එංගලන්තයට ආපසු පැමිණ 1872 – 1875 අතර කාලයේ දී පාලි, ඉංගී‍්‍රසි, ශබ්ද කෝෂයක් වෙලුම් දෙකකින් යුතුව පළකෙළේ ය. රිස්ඩේවිඩ්ස්, රොබර්ට් වයිල්ඩර්ස් දෙදෙනා සමග මේ පාලි බෞද්ධ ග්‍රන්ථ සම්බන්ධ කටයුතු කිරීමට ජර්මන් ජාතික උගතකු වූ හර්මන් ඔල්ඩන් බර්ග්, ඩෙන්මාර්ක් ජාතික උගතකු වූ විග්ගො පූස් බෝල් යන මහත්වරු ද එක් වූහ. එතුමා ප්‍රමුඛ වී 1881 ඇරඹූ Pali Text Society හෙවත් පාලි පොත් සමාගම අදටත් බෞද්ධ ත්‍රිපිටක හා අටුවා ඇතුළු බෞද්ධ පොතපත ඉංගී‍්‍රසියට පරිවර්තනය කිරීමත් මුද්‍රණය කරවීමත් සිදුකරයි.

ගිහි කල චාල්ස් හෙන්රි ඇලන් බෙනට් නම් වූ ආනන්ද මෙත්තෙය්‍ය හිමියන් නිසා අපරදිග ලෝකයට බෞද්ධ භික්‍ෂුවගේ රූපය දැක ගත හැකි විය. මුල් කාලයේ අප්‍රමාණ උසුලු විසිලු නින්දා පරිභවයට පවා භාජනය වී තැබූ පුරෝගාමී පියවර නිසා අද ඉංගී‍්‍රසි ජාතිකයන් ම පැවිදිවන අමරාවතී විතහ්ස්ට් වැනි විශාල ථෙරවාදී ආරාම ඇතිවිය. මෙහි ඓතිහාසික වැදගත් කම වටහාගෙන වසරක් පාසා යුනයිටඩ් කිංඩම් බුඩිස්ට් ඩේ UNITED KINGDOM BUDDHIST DAY නමින් විශේෂ සමරු උත්සවයක් පවත්වා විශේෂ ආරාධිත දේශන පවත්වමින් කටයුතු කිරීමට කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන WORLD BUDDHIST FOUNDATION ලෝක බෞද්ධ පදනම) මඟින් කටයුතු කරනු ලැබේ. මේ වසරේ ශතවර්ෂ පූර්ණ උත්සවය උත්කර්ශවත් ලෙස ලන්ඩන් නුවර බ්‍රෙන්ට් නගර ශාලාවේ දී 2008 සැප්තැම්බර් 28 දින පැවැත්වීමට නියමිත ය. එම උත්සවයේ සමරු දේශන පවත්වන්නේ ආචාර්ය ආනන්ද ඩබ්ලිව්.පී. ගුරුගේ මහතා හා මහාචාර්ය ගොම්බ්‍රිජ් මහතා විසිනි. ශාස්ත්‍රීය ලිපි අඩංගු ග්‍රන්ථයක් ද නිකුත් කිරීමට සැළසුම් කොට ඇත. උන්වහන්සේගේ දේහය භූමදානය කළ ස්ථානයේ ස්මාරකයක් පිහිටු වීමට ද බලාපොරොත්තු වේ. ආනන්ද මෙත්තෙය්‍ය හිමි හා බුදුසසුනේ ප්‍රවර්ධනය ඇති වූ අයුරු පිළිබඳ ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිත ය.

සර් එඩ්වින් ආනෝල්ඩ් ගේ LIGHT OF ASIA  (ආසියාවේ ආලෝකය) කෘතිය කියවා බුදුදහම පිළිබඳ රුචියක් ඇතිකරගත් ඇලන් බෙනට් මහතා පසුව 1900 පමණ ලංකාවට පැමිණ ජේ. ඊ. රිචර්ඩ් පෙරේරා මහතා ගේ මඟ පෙන්වීම යටතේ කඹුරුගමුවට ගොස් රේවත නම් හිමි නමකගෙන් මාස හයක් (6ක) තිස්සේ පාලි භාෂාව උගෙන ඉතා චතුර ලෙස පාලි භාෂාව කථා කිරීමේ ප්‍රාගුණ්‍යයක් ඇතිකර ගත් බවත් කොළඹදී පැවිදිවීමෙන් අනතුරුව බුරුමයට යාත්‍රාකොට උපසම්පදා වූ බවත් සඳහන් වේ. යළි ලංකාවට පැමිණ කොළඹ මෛත්‍රී ශාලාවේ ධර්ම දේශනා පැවැත් වූයේ ය. එවක නැවතී සිටියේ කොළඹ වජිරාරාමයේ ය. මෙකී ආශි‍්‍රත ස්ථානයන්ගේ ඡායාරූප හා ආනන්ද මෙත්තෙය්‍ය හිමි සම්බන්ධ යම් තොරතුරු ඇතොත් ඒවා ප්‍රදර්ශනයට තැබීම සඳහා ලබාදීමට කැමති අයට ඒ සඳහා ඉදිරිපත් වන්නැයි මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක අතිගරු ගලයායේ පියදස්සී නාහිමියෝ ඉල්ලා සිටිති. තොරතුරු ලබා දියයුතු ලංකාවේ ලිපිනය Ven. Dr. Akuratiye Nanda Nayake Thero Sub: Editor, Sinhala Dictionary, 46, Sir Marcus Fernando Mawatha, Colombo 07 යන්නයි. කෙළින්ම ලන්ඩනයට එවීමට කැමති නම් Ven. Galaya Piyadassi MBE Nayaka Thero SSIBC 309 –311 Kingsbury Road London NW9 9PE යන ලිපිනයට හෝ 0044 208 2043301 දුර කථනයට අමතන්නේ නම් මැනවි.

මහාචාර්ය එලිසබෙත් හැරිස් ලියූ ආනන්ද මෙත්තෙය්‍ය චරිතාපදානය අනුව ලංකාවේ යම් යම් තොරතුරු හා ලිපි ලේඛණ තිබෙන බව පෙනේ. අදාළ තොරතුරු ලබා දීමට ඉදිරිපත් වීමෙන් මෙම සිද්ධිය සමඟ ලංකාවේ ඇති සම්බන්ධතාව ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වා දීමට හැකිවේ.

අවසන් භාගයේ දී ඇදුම රෝගයෙන් ආතුරව සිටි ආනන්ද මෙත්තෙය්‍ය හිමියන් බැලීමට දොස්තර ඩබ්ලිව්. ආතර් ද සිල්වා කැෂියස් පෙරේරා ආදී ලාංකික හිතවතුන් ගියා පමණක් නොව මිය ගිය පසු මොඩර්න් සුසාන භූමියේ දේහය භූමදාන කිරීමට අවශ්‍ය මුදල් ද දොස්තර සී.ඒ. හේවාවිතාරණ මහතා විසින් සපයන ලදි.

මේ කරුණුවලින් පෙනෙන්නේ එංගලන්තයේ බුද්ධාගම පිහිටුවීමේ ඓතිහාසික කාර්යභාරයට ලංකාවෙන් ලැබුණු දායකත්වයයි. එබැවින් “එංගලන්තයේ බුද්ධාගමට සියවසයි” උත්සවය හා ප්‍රදර්ශනය, ලාංකිකයන්ට ද ගෞරවයකි.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුලි 2 වනදා බදාදා පූර්ව භාග 11.21 ට ලබයි. 3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.49 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම
ජූලි 2 වනදා බදාදාය.

මීළඟ පෝය
10 වනදා
බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]