UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ශාසන ඉතිහාසය

ප්‍රශ්නය - අසූ මහා ශ්‍රාවක චරිත අතර අග සව් තනතුරු හෙබ වූයේ සැරියුත් හා මුගලන් මහ තෙරවරුන් ය. මීළඟට බුද්ධ ශාසන වංශ කථාවේ උසස් ම තනතුර හෙබවූ අග්‍ර ශ්‍රාවයාණන් වහන්සේ කවුද?

පිළිතුර - ධූතාංගධාරීන් අතර අග තනතුර ලත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ.

ප්‍රශ්නය - පැරැණි ම වාස්තු විද්‍යාත්මක තොරතුරු අතර ස්ථූප ආකෘතියකට හිමිවන්නේ විශිෂ්ට ස්ථානයකි. මෙම ආකෘති සංඛ්‍යාත්මකව කීයද? නම් වශයෙන් ද සඳහන් කරන්න.

පිළිතුර - සයකි. ඝණ්ඨාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, ආමලකාකාර.

ප්‍රශ්නය - ස්ථූප ආකෘති 06 කි. මේ ආකෘති අතරින් කැලණි ස්ථූපය හා ස්වර්ණමාලී මහාථූපය, කුමන ආකෘතිවලට අයත් වන්නේ ද?

පිළිතුර -කැලණි ස්ථූපය ධාන්‍යාකාර වන අතර ස්වර්ණමාලී මහා ස්ථූපය බුබ්බුලාකාර වේ.

ප්‍රශ්නය - අසූ මහා ශ්‍රාවකයාණන් වහන්සේ අතර මහා කාත්‍යයන රහතන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - දඹදිව උදේනීපුර ධර්ම ප්‍රචාරය කළේ මහා කච්චායන මහ රහතන් වහන්සේ විසිනි. උදේනීපුර චන්ඩපජ්ජෝති රජු ගේ පුරෝහිත කාත්‍යාණ ගේ පුත්‍රයා විය. උපතින් ම රන්වන් පැහැයෙන් යුක්ත වූ නිසා මව්පියෝ් “කාංචන මානව“ යැයි නම් තැබූහ. ගෝත්‍රය නාමය අනුව කච්චායන යැයි ප්‍රසිද්ධ වූහ. ධර්මය අර්ථය අනුව විස්තර කිරීමේ හැකියාව නිසා බුදුරදුන් වෙතින් අගතනතුරු ලද සේක.

ප්‍රශ්නය - “කසළ ගොඩෙන් රජගෙදරට” මෙය බුද්ධ කාලීන අයෙකුගේ ජීවන පුවතක් ඇසුරෙන් සකස් වූවෙකි. පැහැදිලි කරන්න.

පිළිතුර - “ජීවක” බුද්ධ කාලීන දක්‍ෂ වෛද්‍යවරයෙකි. ඔහු රජගහ නුවර අභය රාජ කුමාරයන්ට දාව සාලවතී නම් ගණිකාව කුස ඉපිද සතුන් කා දැමීම සඳහා කසල ගොඩක දමා යනු ලැබිණි. අභය රාජ කුමාරයාට හමු වී රජ මාලිගාවට ගෙන ගොස් හදා වඩා ගත්තේය. කසලගොඩකට දැමූවත් නොමැරී ජීවත්වීමේ වාසනාව නිසා ජීවක වැඩුණු නිසා (කුමාර ලීලාවෙන්) “කොමාර භච්ච” නම් විය.

ප්‍රශ්නය - මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට මුලින් ම ;ද්ශනා කළ සූත්‍ර ධර්මය කුමක්ද?

පිළිතුර - චුල්ලහත්ථි පදෝපම සූත්‍රය

ප්‍රශ්නය - “හත්ථාලහක මෙහෙණවර” මේ ගැනඔබ ලංකා සාසනික ඉතිහාසය හදාරණ විට විශේෂයෙන් උගත යුතු වේ. විමසන්න.

පිළිතුර - සංඝමිත්තා අරහත් මෙහෙණින් වහන්සේ ප්‍රධාන මෙහෙණින් වහන්සේට වාසය සඳහා දෙවන පෑතිස් රජතුමා කරවූ ආරාමය එයයි.

ප්‍රශ්නය - අසෝක රජතුමා ඔටුනු පැළඳීමෙන් 18 වන වර්ෂයෙහිදී පැළලුප් නුවර සිදුවුනු විශේෂ ශාසනික සිද්ධිය කුමක්ද?

පිළිතුර - මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තුන්වැනි ධර්ම සංගයනාව පැවැත්වීමය.

ප්‍රශ්නය - අනුරාධපුර “ලෝහ මහා ප්‍රාසාදය” වාස්තු විද්‍යාත්මක අතින් බැලුවත් විශ්මිත නිර්මාණයක්. ශාසනික වශයෙන් කුමක් සඳහා ප්‍රයෝජනවත් වූයේ ද? අභයගිරි විහාරයේ දී මෙබඳුම නිර්මාණයක් දක්නට ඇත. එය කුමන නමකින් හඳුන්වා තිබේද?

පිළිතුර - භික්‍ෂූන් වහන්සේගේ උපොෂථ කර්මය (පොහොය කිරීම) සඳහා මෙම සත් මහල් ප්‍රාසාද ප්‍රයෝජනයට ගත්හ. අනුරාධපුර අභයගිරි විහාරයේ ගොඩනැඟිලි අතරත් රත්න ප්‍රාසාද නමින් හැඳින් වූයේ ද උපෝෂථාගාරයයි.

ප්‍රශ්නය - අනුරාධපුර ශාසනික ඉතිහාසයෙහි ආරම්භක අවස්ථාවෙහි දී නිතර කියවුණු නම් දෙකකි. සුමන හා භණ්ඩුක. මේ පිළිබඳ ව ඔබ දන්නා කරුණු මොනවාද?

පිළිතුර - මිහිඳු මාහිමි ධර්ම දූත කණ්ඩායමේ එකම සාමණේර නම, සුමන හිමි වේ. ගිහි උපාසක, භණ්ඩුක ය. සංඝමිත්තා අරහත් මෙහෙණින් වහන්සේ ගිහිකල විවාහයෙන් උපන් පුතු සුමන වේදිස දේවිය ගේ නැගණිය ගේ පුත්‍ර භණ්ඩුක.

ප්‍රශ්නය - ආනන්ද හිමියන් විසින් බුදුරජාණන් වහන්සේ ගේ පාත්‍රයට පිරිත් පැන් ගෙන රතන සූත්‍රය දෙසමින් මුළු නුවරට පිරිත් පැන් ඉසින ලදී. සියලු අමනුෂ්‍යයෝ පලා ගියහ. නගරය ආරක්‍ෂා සහිත විය. මනුෂ්‍යයෝ සුඛිත මුදිත වූහ. මේ අති විශේෂ ශාසනික පුවතකි. පැහැදිලි කරන්න.

පිළිතුර - බිම්සර මහරජ මනාපය ඇතිව ලිච්ඡවි රජවරු දෙපළක් බුදුන් වහන්සේ කරා එළඹ ස්වාමීනී! භාග්‍යවතුන් වහන්ස! ත්‍රිවිධ භීතියකින් වෙළාගත් අපරට වැසියාගේ නිදුක් නිරෝගී බව උදෙසා අප විශාලා මහනුවර වැඩම වන මෙන් කළ ආරාධනය පිළිගෙන රුවන් සුතුරෙහි අණ තෙදින් නුවර වැසි ජනතාව සුඛිත මුදිත කළ අවස්ථාවයි.

ප්‍රශ්නය - පුද්ගල ජීවිතයේ උන්නතිය සඳහා අත්‍යවශ්‍ය කරුණු අතර ආශ්‍රය, නිශ්‍රය, උපනිශ්‍රය විශේෂයෙන් සපුරා ගත යුතු ය. මෙබඳු අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ පුද්ගලයෝ සිව්දෙනෙකි මේ. උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායී, අනුකම්පක, පැහැදිලි කරන්න.

පිළිතුර - සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් වන ඇසුරු කිරීමට සුදුසු කල්‍යාණ මිත්‍රයෝ කොටස් 04 කට බෙදා ඇත.

සෑම අවස්ථාවකදී ම පරහිතකාමී අදහස්වලින් පෝෂිත වූ මිත්‍රයා උපකාරක මිත්‍රයා.

සැප හා දුක අවස්ථා දෙක්හිදීම තමා අතහැර නොයන මිත්‍රයා .

සෑම විටම යහපතකට මඟ කියාදෙන මිත්‍රයා.

දුකහි දී දුක්වන සැපෙහි දී සතුටුවන සැම විටම උපකාරයක් ම කරන මිත්‍රයා.

ප්‍රශ්නය - පරිත්‍යාගය කුමක් වූවත් එය පරෝපකාරී යහපත් සත්පුරුෂ ක්‍රියාවකි. මෙම පරිත්‍යාගය මහත්ඵල මහානිසංස ලබන්නට නම් කරුණු 03 ක් මූලික වූ දන්දීමක් විය යුතු ය. ඒ විශේෂිත කරුණු මොනවාද?

පිළිතුර - පසන්න චෙතසා, පිරිසුදු සිත, වත්ථු, ධාර්මික වස්තුව, පටිග්ග, පින්, කෙතක් වූ සිල්වත් ප්‍රතිගාහකයි.

ප්‍රශ්නය - බෞද්ධ ජීවිතයක කරුණු 07 ක් නිසා ධනවතෙක් බවට පත්වෙයි. එයින් පළමු වැන්න ශ්‍රද්ධාවයි. පැහැදිලි කරන්න.

පිළිතුර - බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන කෙරෙහි පවතින අචල විශ්වාසය ශ්‍රද්ධාව වේ.

ප්‍රශ්නය - යහපත් වචනය “සම්මාවාචා” අංග 4 කින් පිරිසුදු විය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ අංග 4 පැහැදිලි කරන්න.

පිළිතුර - මුසාවාදා වෙරමණි (බොරුවක් නොවීම) පිසුණා වාචා වෙරමණි (කේළමක් නොවීම) පරුසා වාචා වෙරමණි (පරුෂ වචනයක් නොවීම) සම්පප්ලාප වෙරමණී (හිස් වචනයක් නොවීම)

ප්‍රශ්නය - දෙව ධර්ම ජාතක කථාව අනුව යහපත් දෙය “දෙව ධර්මය” වශයෙන් බෝසතාණන් වහන්සේ වදාළහ. මෙහිදී දේවධර්මය වශයෙන් සඳහන් කළේ මොනවාද?

පිළිතුර - අයහපත් දේ “පව් වැරැදි දේ කිරීමට පුද්ගලයෙකු තුළ ඇතිවිය යුතු ලැජ්ජාව හා භයයි.

ප්‍රශ්නය - ජීවමාන බුදුරජාණන් වහන්සේ සළකා විහාර ප්‍රතිමා වන්දනය සැදැහැසිත් ඇති ආගමික ජීවිතයෙහි දී කුමන පූජාවක් වශයෙන් සලකනු ලැබේද?

පිළිතුර - උද්දේසිික පූජාව,

ප්‍රශ්නය - උරුවෙලා වත් ගයාවත් අතර හමුවූ මගියෙකු ඇවැත්නි ඔබ ගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ.ශරීර වර්ණය පිරිසුදු ය. කවර ශාස්තෘවරයෙකු උදෙසා පැවිදි වූයෙහි ද? ඒ ශාස්තෘවරයා කිනම් අයෙක්ද? කවරෙකු ගේ ධර්මයකට ඔබ රුචි කෙරේ ද? යනුවෙන් විමසූ. මේ සුවිශේෂ තැනැත්තා කවුද?

පිළිතුර - උපක ආජීවකයි.

ප්‍රශ්නය - අචල විශ්වාසය හා අන්ධ භක්තිය ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවට අවධාරණය කළේ කුමක්ද?

පිළිතුර - තර්කානුකූල විධිමත් අවබෝධය සහ ප්‍රතිපත්ති පූජාවයි.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක්තරා සිටුවරයෙක් තම පුත්‍රයා ගැන විමසා සිටියේ ය. බුදු හිමියෝ මදකට මෙහි අසුන් ගන්න. ඔබට පුතා දැකගන්නට ලැබෙනවා ඇතැයි වදාළහ. ප්‍රථම වතාවට තිසරණ ගොස් බුදු සමය වැළඳගත් ගෘහස්ථයා ඔහු විය. මේ තැනැත්තා කවරෙක් ද?

පිළිතුර - යසකුල පුතු ගේ පිය සිටුවරයා වේ.

ප්‍රශ්නය - තම මිතුරා හිස මුඩුකොට කහවත් හැඳ පැවිදි වූහයි ඇසූ , විමල සුබාහු, පුණ්ණජි හා ගවම්පති යන මිතුරෝ සිව් දෙනෙක් මිතුරා හමුව පැවිදි බව ලබා බුදුරජාණන් වහන්සේ වෙතින් බණ අසා සිවු දෙන ම රහත් වූහ. මේ ශ්‍රේෂ්ඨ මිතුරා කවුද?

පිළිතුර - යසකුල පුත්‍රයා.

ප්‍රශ්නය - බුද්ධ කාලයේ එක්තරා තරුණියක් අඩක් පිරූ කෙස්වැටිය ඇතිව කඳුළු පිරී මුහුණින් යුතු ව ආර්ය පුත්‍රය නොපමාව එන්න යි කීවා ය. මේ වදන් ඔහු ගේ හදවත විනිවිද ගිය නමුත් බුදුරදුන්ට පාත්‍රය ආපසු දී හැරෙන්නට තරම් ශක්තියක් ඔහුට නොවී ය. මේ පුවතින් අනාවරණය වන ඔහු සහ ඇය කවුද?

පිළිතුර, නන්ද කුමාරයා සහ ජනපද කල්‍යාණිය .

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]