UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රාගම වල්පොල පොසොන් මහා පෙරහර


කළුගල සෝරත නා හිමියෝ මිහිඳු මාහිමි ප්‍රතිමාවට පුෂ්පෝපහාර දක්වමින්...

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට ශ්‍රී ගණ සුගත තථාගත සම්බුදු සසුන ප්‍රතිෂ්ඨාපිත කොට අදීන සංස්කෘතියක් සභ්‍යත්වයක් ලබා දී කරන ලද උදාරතර මෙහෙය සඳහා කෘත ගුණ සැළකීම වශයෙන් රාගම වල්පොල ශ්‍රී විමලරතනාරාම විද්‍යානිවාස මහ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍රකොටගත් ශ්‍රී බාලාභිවෘද්ධිවර්ධන සමිතිය මගින් අසූවන වරටත් පවත්වනු ලබන ඓතිහාසික පොසොන් මහා පෙරහර මේ මස (පොසොන් මස) 17 වන දින අත්‍යාලංකාර අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මීට වසර අසූවකට පෙර එනම් 1928 මාර්තු මස 11 වන දින රාගම වල්පොල, පොල්පිතිමූකලාන, සහ කොස්පැලෑන යන ග්‍රාමත්‍රයට අයත් ශ්‍රී විමලරතනාරාමයේ වැඩ සිටි හතරලියැද්දේ සීලරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් වල්පොල ශ්‍රී බාලාභිවෘද්ධිවර්ධන සමිතිය ආරම්භ කර එම වර්ෂයේම ජූනි මස 15 වන දිනට යෙදුණු පොසොන් පොහෝ දින ඉතා කුඩා මල් පෙරහරක් සංවිධානය කර වල්පොල සංගම් ශාලාවේ සිට දුම්රිය හරස්පාර දක්වා ගමන් කර ශ්‍රී විමලරතනාරාම විහාරස්ථානයට ගෙවදීමෙන් මෙම පෙරහර ආරම්භ විය. පියවරෙන් පියවර වසරින් වසර නවාංග එකතුවෙමින් දියුණුවට පත්වෙමින් සිරිලක පැවැත්වෙන පෙරහර අතර අතිශය ජනපි‍්‍රය දනමන පිනවන පෙරහරක් බවට පෙරමුණ ගනිමින් අද වන විට රාගම වල්පොල ඓතිහාසික පොසොන් මහා පෙරහර බවට පත්ව ඇත.

මිහිඳු මාහිමි ප්‍රතිමාව පෙරහරේ වැඩම කැරැවූ අවස්ථාවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ අලුත්කුරු කෝරලයේ ජා ඇල ආසනයේ ජනතාවගේ පමණක් නොව දිවයිනේ දස දිශාවේම ජනයා මෙම පෙරහර නැරඹීමට පැමිණෙති. ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන අබෞද්ධ ජනතාවගේ ද ඉමහත් ගෞරවය ලබමින් ලාංකික සංස්කෘතික අංග මොනවට විදහා දක්වමින් වීථි සංචාරය කරන සංස්කෘතික දැක්මක් බවට අද වන විට මෙම පෙරහර පත්ව තිබේ.

බුද්ධාගම සිංහල ජාතියට අමුතුම ප්‍රාණයක්, ජීවයක් ලබා දුන්නේ ය. සිරිලක බෞද්ධ සංස්කෘතියේ ආදී කර්තෘවරයා මිහිඳු මහ රහතන් වහන්සේ ය. උන්වහන්සේ මෙලක ප්‍රතිෂ්ඨාපනය කළ ත්‍රිවිධ රත්නය පිළිබිඹු වන අයුරින් ශ්‍රී සධාතුක කරඬුවත් ශ්‍රී සද්ධර්ම පුස්තකයත් මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාව තැන්පත් දර්ශනීය රථයත් වැඩම කරමින්, තුන් සිංහලයම නියෝජනය වන අයුරින් ඉපැරණි සංස්කෘතික අංග මූර්තිමත් කරමින් උඩරට, පහතරට, සබරගමු, නැටුම්වලින් සහ අලි ඇතුන්, දර්ශනීය වල්පොල ගිනිකෙළි වලින් සමලංකෘත මෙම පෙරහර ඉපැරණි රජ දවස මහ පෙරහර පැවැත්වීමේ දී අනුගමනය කළ සිරිත් විරිත් සියල්ල ඉටු කරමින් අසූවන වරටත් 2008 ජූනි මස 17 වන දින ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

ඓතිහාසික පොසොන් මහා පෙරහර විහාරාධිපති අමරපුර අරියවංස සද්ධම්මයුක්තික නිකායේ පුත්තලම් හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මීගමු පළාත් සංඝ සභාවේ සභාපති පණ්ඩිත කළුගල සෝරත නාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් සිදු කෙරේ. ජා ඇල ආසනය බෞද්ධ අබෞද්ධ ජනතාව සම සමව ජීවත් වන, ආගමික සහනශීලීත්වය අගයන ප්‍රදේශයකි. ප්‍රදේශයේ ජනී ජනයා පෙරහර වෙනුවෙන් ආධාර කරති. එසේම ප්‍රදේශයේ ආණ්ඩුපක්‍ෂය නියෝජනය කරන දේශපාලන අධිකාරිය සැමකල්හිම ලබා දෙන්නේ ඉමහත් සහයෝගයකි.


ශ්‍රී විමලරතනාරාමයේ බෝධීන් වහන්සේ

මෙම වසරේ ද ගිය වර්ෂ වල මෙන්ම ජා ඇල ආසනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී තැන්පත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහය මේ සඳහා ලැබේ. ජා ඇල ප්‍රාදේශීය සභාව, නගර සභාව, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව, පාසල්, දහම් පාසල් සහ ස්වේච්ඡා සංවිධාන ලබා දෙන්නේ අනූපමේය සහයෝගයකි.

වල්පොල, පොල්පිතිමූකලාන, බොල්ලත, මැයි ගහ හන්දිය, බටුවත්ත, නාරංගොඩපාලුව ආදී ප්‍රදේශවල ජනතාවගේ අත්‍යන්ත සහයෝගය හා උපකාරය ඓතිහාසික පොසොන් මහා පෙරහර වෙනුවෙන් ලැබේ. ජූනි මස 10 වෙනි දින සිට 16 වෙනි දින දක්වා මල් පෙරහර පවත්වා බෝධිපූජා අටවිසි ගිලන්පස පූජා ධර්ම දේශනා, දානමය පින්කම් පවත්වා ප්‍රදේශය තුළ ජනතාව අතර බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කරගනිමින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඓතිහාසික පෙරහරට ලබා ගැනීම සඳහා කටයුතු කෙරේ.

ගම අවදිවන, දියුණු වන සැම දන සිත් මිහිඳු මහ රහතන් වහන්සේගේ ගුණ සුවඳින් සුවඳවත් වන අසිරිමත් පොසොන් පොහොය සිංහල ජාතිය දීප්තිමත් වූ දිනයයි. පොහොසත් වූ දිනයයි. බුද්ධිමත් වූ දිනයයි.

අපේ රටේ ඇති මහඟුම සම්පත බුද්ධාගමයි. බුද්ධාගමට වඩා වටින සම්පතක් මේ රටේ නැත. එය අපට ලැබී ඇත්තේ අපේම වූ මහත් භාග්‍යයකටය. එම නිසා බුදු දහමත් සංස්කෘතික උරුමයනුත් සුරැකීමට කටයුතු කිරීම සැමගේ පරම යුතුකමකි. එවන් වූ උතුම් අරමුණකින් ආරම්භ කරන ලද රාගම වල්පොල ඓතිහාසික පොසොන් මහා පෙරහර ඉරහඳ තරු පවතින තුරු මෙසිරිලක දනන්ගේ නෙත් සිත් පහන් කරමින් පවතීවා යයි ප්‍රාර්ථනා කරමි.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]