UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය සහ කහටපිටියේ සුමතිපාල අනු නා හිමි

මෙයට වර්ෂ 52 කට පෙර එනම් 1956 වසර සියලු බෞද්ධ රටවලට අතිශය වැදගත් වර්ෂයක් විය. එයට හේතුව සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 2500 සපිරීමේ බුද්ධ ජයන්තිය එළඹීමයි. සමස්ත ලෝකවාසී 50 කෝටියකට අධික බෞද්ධ ජනතාව 1956 වෙසක් පොහෝ දිනය කේන්ද්‍ර කර ගනිමින් විවිධ ආගමික උත්සව, ප්‍රතිපත්ති පූජාමය වැඩසටහන් බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට හේතුවන නොයෙකුත් කටයුතු දීර්ඝ කාලීනව සැළසුම් කරන්නට විය. මේ අතරින් බුරුම දේශයේ (නූතන මියන්මාරයේ) ගිහි පැවිදි බෞද්ධ නායකයන් ත්‍රිපිටක සංගායනාවක් සැළසුම් කළ අතර, විශේෂයෙන් ථේරවාදි බෞද්ධ රටවලින් පර්යාප්තිධර බහුශ්‍රැත මහා තෙරුවරුන් වැඩමවාගෙන ඒ අතරින් 2600 ක පමණ මහා තෙරවරුන්ගෙන් සමන්විත භික්‍ෂු මණ්ඩලයක් සංගායනාව සඳහා තෝරා ගත්හ . (මෙය ආරම්භ කළේ බුද්ධ ජයන්තියට වර්ෂයකට පෙරාතුවය.) උන්වහන්සේලා සඳහා ලැගුම්හල්, දානශාලා, පොහෝය සීමා ඇතුළු සියලු පහසුකම් වර්ෂයකට පමණ ප්‍රමාණවත් සේ සැළසුම් කරන ලදහ. තුන් පිටකය පිළිබඳ වෙන් වශයෙන් ඒ සඳහා මනා පරිචයක් ඇති මහා තෙරවරුන් මගින් අශුද්ධස්ථාන විමසමින් මාස ගණනක් ත්‍රිපිටකය ශෝධනය කරන අතර එහි වැදගත් ස්ථාන හෙබවූයේ අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටකධර මහාෂී සයාඩෝ, මහාරට්ඨගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත වැනි මහාතෙරපාණන් වහන්ස්ලාය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක්ව ඇත්තේ මෙම සංගායනවේදී ලාංකික භික්‍ෂූන් වහන්සේලාට සුවිශේෂී ස්ථානයක් හිමිවීමය. එයට ප්‍රධාන හේතුව උන්වහන්සේලාගේ පර්යාප්ති දැනුම සහ පාලි භාෂාව පිළිබඳ දැනුම ඉතා උච්චස්ථානයක පැවතීමයි. මෙම ධර්ම සංගායනාවේදී තෙවැනි වර කියවා ශුද්ධියට පත් කළ ධර්ම ග්‍රන්ථ සංගායනා භූමියේම පිහිටුවන ලද මුද්‍රණාලයෙහි මුද්‍රණය කරවන ලදහ.

අප රටේ වැඩ විසූ ශ්‍රේෂ්ඨ සංඝපීතෘන් වහන්සේ කීප නමක්ම මේ සඳහා සහභාගී වූ අතර ඒ අතරින් අභිධජ මහා රට්ඨගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමි ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමි, අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධ දත්ත මහා නාහිමි, අග්ගමහා පණ්ඩිත තුඩාවේ අරියවංශ නාහිමි වැනි වියත් තෙරවරුන් වේ. මෙම සංගායනා භූමිය පුරා ඇති ගොඩනැගිලි රාශිය නූතනයෙහි භික්‍ෂු විශ්ව විද්‍යාලයක් ලෙසද, සංගායනාව උදෙසා ඉදිකළ අති චමත්කාර මහා ගුහාවක් සෙයින් ඈතට දිස්වන සියලු පහසුකම්වලින් සමන්විත සුවිසල් ශාලාව මහා පාෂාණ ගුහා නමින් ව්‍යවහාර වන අතර, (කබා - යෝ) රැන්ගුන් අගනුවර පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ උත්සව ගෞරවනාම පිරිනැමීම සිදු කරනුයේ මෙහිදීය.

මෙයට සියවසකට පමණ පෙර මණ්ඩලේ රාජධානියෙහි මෙන්ඩූන් මහා රජතුමාගේ දායකත්වයෙන් මෙබඳුම ත්‍රිපිටක ශෝධනයක් කොට ත්‍රිපිටක ධර්මය කිරිගරුඬ පුවරුවල ලේඛණගත කිරීමේ අති උදාර ශාසනික කර්තව්‍යයක් සිදුකළ අතර එය පස්වැනි ධර්ම සංගායනාව වශයෙන් ද හැඳින්වේ. බුද්ධ වර්ෂ 2500 හි ඌනු අගමැතිතුමාගේ අනුග්‍රාහකත්වයෙන් සහ ශාසනුග්ගහා සමිතියෙහි දායකත්වයෙන් සිදුකළ මෙම ත්‍රිපිටක සංගායනාව ඡට්ඨ සංගායනාව නමින්ද හැඳින්වේ. මේ නිසා බුරුම දේශය හා එරටාවාසී බොදු ජනතාව සෙසු බෞද්ධ රටවල් අතර අතිශය ගෞරවයට සම්භාවනාවට පාත්‍රවිය.

බුරුම රටින් මෙරටට ලැබුණු වටිනා දායාදයකි. ප්‍රායෝගික සතර සතිපට්ඨාන භාවන ක්‍රමය

මෙයට සියවස් කීපයකට පෙර මෙරට පැවති ප්‍රායෝගික සතර සතිපට්ඨාන වැඩීමේ ක්‍රමය ක්‍රමයෙන් අභාවයට ගොස් 2500 බුද්ධ ජයන්තිය වන විට සතිපට්ඨාන භාවනා වැඩීම සජ්ඣානාවට, පොත කියවීමට සීමා වී තිබුණි. ඒ වන විට මෙරටින් බුරුම රටට ගෙනගොස් තිබූ සතිපට්ඨාන භාවනා ක්‍රමය එරට වනගත භික්‍ෂූන් වහන්සේ අතර පැවතුණි. ඒ අතරින් ද ලේඩී සයාඩෝ , වේබූ සයාඩෝ මහාෂී සයාඩෝ වැනි උතුමන් වහන්සේ ශ්‍රේෂ්ඨ භාවනා පරපුරක ආය¸යන් වහන්සේලා සේ සැළකේ. 2500 බුද්ධ ජයන්තිය වන විට ප්‍රායෝගික සතිපට්ඨාන භාවනා ක්‍රමය එරට සාමාන්‍ය ජනතාව අතරට ද පත් වී තිබුණි. යැන්ගුන් නුවර සාසනයෙයිතා භාවනා මධ්‍යස්ථානය ගිහි පැවිදි විශාල පිරිසකට භාවනා ප්‍රගුණ කිරීම පිණිස පහසුකම් සළසා තිබුණි. පසු කලෙක කඳුබොඩ භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ කහටපිටියේ සිරි සුමතිපාල මහා තෙරුණුවෝද එහි දීර්ඝ කලක් භාවනා පුහුණුව ලැබූ භික්‍ෂූන් වහන්සේ නමකි.

1956 වර්ෂය ආසන්න වෙත්ම නොහොත් 2500 බුද්ධ ජයන්තිය ආසන්න වෙත්ම මෙරටවාසී ගිහි පැවිදි බෞද්ධ නායකයන් තුළ ද බුද්ධ ජයන්තිය සැමරීම් වශයෙන් අප කුමක් කරමුදැයි? විවිධ සාකච්ඡා ඇති විය. එවකට මෙරට අගමැති ධූරය දැරූ සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ පුර්ණ අනුග්‍රහාකත්වයෙන් එච්.සී. නිශ්ශංක මැතිණිය , රෙජිනා පොන්සේකා මැතිණිය , ටී.යූ. ද, සිල්වා මැතිණිය , ඒ.සී. එල්. අභය සුන්දර මැතිතුමා , බුරුම තානාපති ඌ බාල්වින් මැතිතුමා ඇතුළු ගිහි බෞද්ධ ප්‍රභූ පිරිස එක්ව කොළඹ රාජකීය විද්‍යාලයේදි අන්තර් ජාතික මට්ටමින් ප්‍රථම සාකච්ඡාව පවත්වන්නට යෙදී විවිධ කරුණු පිළිබඳ මෙහි දී සාකච්ඡා විය. මෙහිදී නැගී සිටි බුරුම තානාපති ඌ බාල්වින් මැතිතුමා ප්‍රකාශ කර සිටියේ “ බුදුරජාණන් වහන්සේට කරණු ලබන ඉහළම ගෞරවය ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමයි. ප්‍රතිපත්ති පූජාව නම් ශීල සමාධි ප්‍රඥා දියුණු කිරීමයි. ඒ සඳහා සතර සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කර ගත යුතුයි. මා දන්නා තරමින් දැනට ශ්‍රී ලංකාවෙහි එම භාවනා ක්‍රමය නොපවතින බව කිව හැකි වන්නේ. දැනට බුරුමයේ වනගත භික්‍ෂු පරපුරක් අතර තිබූ සතර සතිපට්ඨාන විපස්සනා භාවනා ක්‍රමය රැන්ගුන් අගනුවර දක්වා ව්‍යාප්ත වී තිබේ . මෙරට බෞද්ධයන් බුරුම රජයෙන් ඉල්ලා සිටිනේනේ නම් ඒ සඳහා සුදුසු කර්මස්ථානාචාර්යන් වහන්සේලා ලබා දීමට තමන්ට ඇප කැප විය හැකි බවයි. “ බුරුම තානාපති තුමාගේ මෙම ප්‍රකාශනයට සභාවේ සිටි සියලු දෙනාගේම අවධානය යොමු විය. එම අදහසට සභාවේ පූර්ණ අනුමැතියද ලැබුණු අතර ශ්‍රී ලංකා අගමැතිතුමාටද මේ බව දන්වා සිටියේය. අනතුරුව කලක් බුරුමයේ නැවතී සිට මෙම භාවනා ක්‍රමය ද මනාව ප්‍රගුණ කර සිටි කහටපිටියේ සුමතිපාල මහා තෙරුන් ද සම්බන්ධ කර ගනිමින් බුරුම රජය වෙත දූත පිරිසක් පිටත් කර හරින ලදී.

බුරුම රජයෙන් ලක්රජයේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබිණි. මේ නිසා කොළඹ 07 දැනට විජේරාම මාවතේ ලහි ලහියේ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිවන්නට විය. මෙම භාවනා මධ්‍යස්ථානයේ කටයුතු කරගෙන යාම සඳහා පළමුවෙන්ම ලංකා විපස්සනා භාවනා සමිතිය ආරම්භ විය. නොබෝ දිනකින්ම බුරුම ජාතික ඌ සෝභන (මහා ෂී සයාඩෝ) උ? සුජාත, ඌ ජවන, ඌ උත්තරාභිවංශ යන කර්මස්ථානාචාර්යන් වහන්සේලා මෙරටට වැඩම කරවන ලදී. එහෙත් උන්වහන්සේලා කොළඹ භාවනා මධ්‍යස්ථානයෙහි වැඩ සිටින්නට අකමැති වූ හෙයින් ඒ සඳහා එච්.සී. නිශ්ශංක මැතිතුමාට සහ රෙජිනා පොන්සේකා දානපතිනියට අයත් මත්තේගොඩ වත්තේ පිහිටි බංගලාවන්හි 1955 අගෝස්තු 03 වෙනි දින ප්‍රථම භාවනා මධ්‍යස්ථානය ආරම්භ කෙරිණි. වසරකට ආසන්න කාලයක් මෙම දානපතියන් දෙපළගේ පූර්ණ දායකත්වයෙන් භාවනා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අතර විශේෂයෙන් කොළඹ ගම්පහ ප්‍රදේශවල මෙන්ම තදාසන්න ප්‍රදේශවලින් පැමිණි ගිහි පැවිදි විශාල පිරිසක් මෙම සතිපට්ඨාන භාවනා ක්‍රමය ප්‍රගුණ කළහ. මේ සඳහා ලාංකීක භික්‍ෂුවක් වශයෙන් භාෂා පරිවර්තනාදී කටයුතු වලදී මෙන්ම කර්මස්ථාන දීමේ දී ද කර්මස්ථානාචාර්ය කහටපිටියේ සුමතිපාල හිමිපාණන් වහන්සේගෙන් ඉමහත් දායකත්වයක් ලැබිණි.මෙම භාවනා මධ්‍යස්ථානය දීර්ඝ කාලීනව පවත්වාගෙන යෑම දුෂ්කර වූ හෙයින් බුරුම ජාතික මහාතෙරුන් වහන්සේලා ආපසු සිය රටට වැඩම වන්නට අදහස් කළහ.

ඒ බව ප්‍රවෘත්ති පත්‍රයක් මගින් කියවන්නට ලැබුණු කඳුබොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ බෞද්ධ ව්‍යාපාරිකයන් පිරිසක් කඳුබොඩ සිය වතුයායෙහි භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කැමැත්ත පළ කළෙන් එහි ප්‍රතිඵලයක් වශයෙන් කඳුබොඩ වත්තේ ඔවුන් සතු බංගලාව කර්මස්ථානාචාර්යන් වහන්සේලාටත් තාවකාලිකව කුටි ඉදිකර භාවනා යෝගීන්ට නවාතැන් ලබාදීමටත් ඒ සියල්ලන්ටම ප්‍රත්‍ය පහසුව ලබාදීමටත් මෙම පිරිස ඉදිරිපත් වු අතර ක්‍රමයෙන් පරිත්‍යාගශීලින්ගේ සහයෝගයද ලැබිණි. 1956 ජනවාරි 08 වෙනි දින මහාෂී සයාඩෝ නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වූ කර්මස්ථානාචාර්ය ඌ සුජාත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රථම අධ්‍යක්‍ෂ කර්මස්ථානාචාර්ය සුමතිපාල මාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ආරම්භ විය. අනතුරුව ඉහත කී දානපතියන් සතු වතුයායෙන් අක්කර තුනක භූමි භාගයක් වෙන් කර එහි ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයට හා භික්‍ෂූන් වහන්සේටත් භාවනා කුටි පරිත්‍යාගශීලින්ගේ ආධාරයෙන් ඉදි කෙරුණු අතර මෙම ප්‍රවෘත්තිය දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවාසීන්ට දැන ගන්නට ලැබිණි. විශාල වශයෙන් ගිහි පැවිදි පිරිස් භාවනා වැඩීමට පැමිණෙන්නට විය.

මේ අතර බුරුම ජාතික මහා තෙරුන් වහන්සේ කහටපිටියේ සුමතිපාල මහා තෙරුන්ට භාවනා මධ්‍යස්ථානයේ කටයුතු භාරදී සිය රටට ආපසු වැඩම කළහ. කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘන් වහන්සේ මෙන්ම බුරුම රට අතිශය සම්භාවනාවට පාත්‍ර වූ ශ්වේජින් මහා නිකායේ ආභාෂයෙන් මෙරට බිහිවූ ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායේ අධිකරණ සංඝනායක මෙන්ම අනුනායක ධූරයද හෙබ වූ කහටපිටියේ සිරි සුමතිපාල නාහිමියන්ගෙන් දසක තුනකට අධික කාලයක් මුළුල්ලෙහි විශේෂයෙන් විදර්ශනා භාවනා ක්‍ෂේත්‍රයට සිදු වූ සේවාව මිල කළ නොහේ. මෙම භාවනා මධ්‍යස්ථානය ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමෙහිලා උන්වහන්සේගේ කැපවීම සහ කර්මස්ථාන දායකත්වය අතිශය ප්‍රශංසනීයය. උන්වහන්සේ කුඩා සාමණේරයන් වහන්සේ නමක් වශයෙන් සිය උපාධ්‍යායන් වහන්සේ සමග එදා බුරුම දේශයට ගොස් ත්‍රිපිටක ධර්මය සහ බුරුම භාෂාවද මැනවින් හදාරා නැවත සිය රටට පැමිණ 2500 බුද්ධ ජයන්තියට ආසන්න කාල පරිච්ඡේදයෙහි නැවතත් බුරුම රට ව්‍යාප්ත වෙමින් පැවතුණු සති පට්ඨාන භාවනා ක්‍රමය ඇතුළු භාවනා ක්‍රම මැනවින් හදාරා සල්ගල වැනි අරණ්‍ය සේනාසන ඇසුරු කරමින් තව දුරටත් සිය භාවනා දැනුම දියුණු කරගත් අතර බුද්ධ ජයන්ති සමයෙහි මෙරටට වැඩම වූ බුරුම ජාතික සතිපට්ඨාන භාවනා ක්‍රමය නැවත කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත කළ අතර කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා සමිතිය පිහිටුවා එහි ප්‍රථම අනුශාසකයන් වහන්සේ වශයෙන් සිය වටිනා කාලය, ශ්‍රමය කැප කරමින් එය අංග සම්පූර්ණ භාවනා මධ්‍යස්ථානයක් බවට පත්කොට වදාළහ. දෙස් විදෙස් දස දහස් සංඛ්‍යාත පිරිසකට භාවනා උපදෙස් ලබා දෙමින් ගිහි පැවිදි කා අතරත් අතිශය ගෞරවයට සම්භාවනාවට පත් වූ අතර භාවනා පුහුණුව සඳහා පැමිණි විශේෂයෙන් දැන උගත් තරුණ පිරිස් උන්වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ද ලබා ගත්හ.

එපමණක් නොව කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය හා සමගාමීව තලගල පොල්ගස්ඕවිට වැනි භාවනා මධ්‍යස්ථාන ආරම්භ වූ අතර උන්වහන්සේගේම මූලිකත්වයෙන් අරන්කැලේ අරණ්‍ය සේනාසනය, රත්නපුර ලෙල්ලෝපිටිය රුවන්පුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, පොළොන්නරුව , සිංහපුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය , මාවතගම විපස්සනා භාවනා මධ්‍යස්ථානය , මාතර අපරැක්ක ශ්‍රී රෝහන විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැනි ස්ථාන ආරම්භ කරන්නට යෙදිණි. පනස් නමකට වැඩි උන්වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින්ද උන්වහන්සේ වෙතින් භාවනා කමටහන් ලැබූ ගිහි පැවිදි පින්වතුන් වහන්සේ විසින්ද දිවයිනේ නොයෙකුත් පළාත්වල භාවනා මධ්‍යස්ථාන ඉදිකරමින් සුවිසල් සසුන් මෙහෙවරක් මේ දක්වාම සිදුකරගෙන යනු ලැබේ.

මෙම අතිශය වැදගත් භාවනා මධ්‍යස්ථානය ආරම්භ කොට ඉමහත් ලෝක ශාසනික සේවයක් සිදු කොට අපවත් වී වදාළ ප්‍රධාන කර්මස්ථානාචාර්ය කහටපිටියේ සිරි සුමතිපාල අනුනාහිමිපාණන් වහන්සේගේ විසිහය වෙනි ගුණ සමරු පින්කම යෙදී ඇති 2008 ජුනි 15 වෙනි දින උන්වහන්සේට උපහාර පිණිස ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය පෙරවරු 8.00 සිට ආරම්භ කෙරෙන අතර අර්ධ ශතාධික මහාසඟ රුවන විෂයෙහි මහා දක්‍ෂිණාවක් පිරිනැමීමට ද වර්තමාන මධ්‍යස්ථානාපතීන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාව සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා සියනෑ විපස්සනා භාවනා සමිතිය ඇතුළු සීල භාවනා සමිතිය ද ලහි ලහියේ සූදානම් වෙයි.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]