UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුදු උපතින් ලොවට සැලසෙන සෙත

ඒක පුග්ගලස්ස භික්ඛවෙ පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති. මහතෝ ආලෝකස්ස පාතුභාවො හොති. ඡන්නං අනුත්තරියානං පාතුභාවො හොති. චතුන්නං පටිසම්භිධානං සච්ඡිකිරියා හොති. අනේකධාතු පටිවෙධොහොතිත නා නා ධාතු පටිවෙධොහොති. විජ්ජා විමුත්ති ඵල සච්ඡිකිරියා හොති. සෝතාපත්ති ඵල සච්ඡිකිරියා හොති. සකදාගාමි ඵල සච්ඡි කිරියා හොති. අනාගාමි ඵල සච්ඡිකිරියා හොති. අරහත්ත ඵල සච්ඡිකිරියා හොති. කතමස්ස එක පුග්ගලස්ස ? තථාගස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස

සකල ජන මන පුබුදන ඉර සඳ දහසක් පෑ යූ සේ දස දහසක් සක්වල එකළු කරමින් මොහොතක ආලෝකයක් පැතිර යමින් පෙර නොවු විරූ අසිරිමත් සිද්ධීන්ගෙන් මෙම මනුලොව එකම ශාන්ති නිකේතනයක් කරමින්, ඒ අසිරිමත් බුදු උපත මූර්තිමත් වන්නේය.

මෙයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර අප ගෞතම බෝසතාණන් වහන්සේ සුමේධ නම් තාපසව නියත විවරණ ලැබීම, වෙසතුරු අත්බැව් හිදී පංච මහා පරිත්‍යාග කිරීම , තුසිත දෙව්ලොව සන්තුසිත නම් දෙව්රජව දෙව් සැපත් විඳ දේවරාධනයෙන් පස් මහ බැලුම් බලා දෙව්ලොවින් චුතව සදා බුද්ධ භූමී වූ දඹදිව ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුර මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, කුසින් මෙලොව බිහිවීම , අභිනිෂ්ක්‍රමණය, සයවසරක් දුෂ්කර තවුස්දම් සපුරා, වෙසඟ මස පුර පසළොස්වක් පෝදින බෝමැඩදී ලොව්තුරා බුදුබව ලැබීම, ප්‍රථම ධර්ම දේශනය පිරිනිවන් පෑම යන ප්‍රධාන අවස්ථාවල අද්භූත ධර්ම සිදු වූයේ, අසමසම බුදු ගුණ මහිමය ප්‍රකට කරමින් ජන හදවත් ආනන්ද සාගරයේ ගිල්වමිනි. සොබාදහමේ ආශිර්වාදය අපමණ සත්වයන්ගේ දෙලොව අභිවෘද්ධිය හේතුවක් කරමිනි.

සිව් සස් දම් නැණින් අවිදු අඳුර දුරු කළ සංසාර විමුක්ති මාර්ගය දේශනා කළ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසාම උතුම් අනුත්තරීය ධර්ම සයක් ලොවට හිමි වීමද, ඉමහත් ආශ්චර්යකි. බුද්ධාදී රත්නත්‍රය දැකීම , දැකීම් අතර ඇති ශ්‍රේෂ්ඨ දර්ශනය බැවින් දස්සනානුත්තරීය නම් වෙයි. අසන ශබ්ද කොතරම් ඇතත් බුද්ධ ධර්මය ඇසීමම උතුම් වන බැවින් සාවනානුත්තරිය නම් වන්නේය. ධන ධාන්‍ය, මුතු මැණික් ආදී කොතරම් ලබන දේ තිබුණද සක්විති රජකම දක්වා භෞතික ලාභ ප්‍රයෝජන තණ්හාදී ක්ලේශ ධර්ම වර්ධනය කරන බැවින් උත්තරීතර ලාභ නම් සප්තාර්ය ධනය බැවින් එය ලාභානුත්තරිය නම් වන්නේය. සතුන් පුද්ගලයන් කොතරම් හික්මීමට දැන සිටි යද සංසාර විමුක්තියට එය හේතු නොවන බැවින්, අධිසීල , අධි චිත්ත අධි පඤ්ඤා යන ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මීම ‘සික්ඛානුත්තරිය ‘ නම් වෙයි. එමෙන්ම රත්නත්‍රයට ආවතේව කිරීම් වශයෙන් තම ජීවිතය කැප කිරීම , ‘පාරිචරියානුත්තරිය’ නම් වන්නේය. තෙරුවන් ගුණ සිහි කිරීම සියලු සිහි කිරිම් අතර උත්තම තම වන නිසා ‘අනුස්සතානුත්තරිය ‘ නම් වෙයි. වෙනත් කිසි ධර්මයක නැති නිසා මෙම අන්තරීය ධර්ම හය, බුදු කෙනකුගේ පහළ වීමෙන්ම සත්ව ලෝකයට හිමිවෙයි.

චතුන්නං පටි සම්හිධානං සච්ඡිකිරියාහොති

අර්ථ , ධර්ම , නිරුක්ති, ප්‍රතිභාන යන සතර ප්‍රතිසම්භිධාන ඤාණ ඇතිවන්නේ, එය තමාගේම ඤාණයෙන් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ නමක් මනුලොව පහළ වන නිසාය. වචනයක , ගාථාවක අදහස ශාස්ත්‍රීය වශයෙන් දැන ගැනීමට නම් එවන් උතුමන් ලොව වැඩ සිටිය යුතු වන අතර, ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගැනීමට ධර්මානුධර්ම ප්‍රතිපදාව පිළිපැදිය යුතු වන්නේය. අර්ථාදී ප්‍රතිසම්භිධා බුද්ධෝත්පාද කාලයට පමණක් සීමා වන්නේය. පෙර ජාතිවලදී ධර්මානුධර්ම ප්‍රතිපදා පිරීමේ ප්‍රතිවිපාක වශයෙන් ලොවුතුරා බුදු කෙනකු හමුවේදී හෝ සම්බුද්ධ ශාසනය පවතින කාලයක දී හෝ ධර්මය දැනීම් මාත්‍රයෙන් සිව් පිළිසිඹියාපත් රහත් බව ලබාගත හැකි වන්නේය.

අනේක ධාතු පටිවෙධො හොති. නා නා ධාතු පටිවෙධො හොති.

චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු ආදී නයින් - සෝත, ඝාණ, ජිව්හා, කාය, මනෝ යන ඉන්ද්‍රිය හයක් ඊට ගෝචර වන අරමුණු හයත්, විඤ්ඤාණ හයත් යන අටළොස් ධාතූන් ද එම ධාතූන් සම්බන්ධ සුවිශේෂ කාර්ය වන නා නා ධාතූන් ද අවබෝධ කරගත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එය ලෝකයට ප්‍රථමයෙන් දේශනා කළ සේක.

විජ්ජා විමුත්ති ඵල සච්ඡිකිරියා හොති.

විද්‍යා විමුක්ති ඵලය හෙවත් ඵල ඤාණයේ හා ඵලය හා සම්ප්‍රයුක්ත ධර්ම ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කිරීමේ ආර්ය ඤාණය ප්‍රථමයෙන් දැනගන්නේ බුදුරජාණන් වහන්සේ බැවින් – එය ද බුද්ධෝත්පත්තිය නිසා බිහි වන ආශ්චර්ය කාරණයකි. සෝවාන්, සකදාගාමී, අනාගාමී අර්හත් යන සතර මාර්ග හා සතර ඵල පිළිබඳ ආර්ය ඤාණය සත්වයන්ට ලැබෙන්නේ බුදු කෙනෙකු නිසා මැ යි.

බුදු දහම යනු, හුදෙක් චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ පිළිබඳ මූලික පර්යේෂණවල පසුබිම, බුද්ධ පූර්ව කාලයේ භාරතයේ පැවැති වග - වේද ග්‍රන්ථවලින් මෙන්ම, ජෛන මහාවීරාදී ශාස්තෘන්ගේ ධර්මවලින් මොනවට පැහැදිලි වෙයි. මනු ලොව සත්ව සන්තතියේ පැවැත්මට අදාළ වෙනත් පිටස්තර ලෝක හා එම සත්වයන්ගේ කර්ම පිළිබඳ බුද්ධිමය පර්යේෂණාත්මක දැනීමක් ලබාගෙන එමඟින් මානව ධර්ම පිළිබඳ සත් අසත් භාවය තීරණය කිරීමේ පරිඥානයක් ලබාගෙන තිබුණි.

ආධ්‍යාත්මික විශ්ලේෂණය මගින් සත් චර්යා ධර්ම මිනිස් ලෝකයේ තහවුරු කිරීමට, මිනිසා උත්තරීතර භාවයට පත් කර ගැනීමට මරණින් මතු ලෝකය යහපත් එකක් කරගැනීමට ප්‍රයත්න දැරූ සෘෂිවරයන්ට සදාකාලික විමුක්තිය පිළිබඳ චින්තාව මනෝරථයක් පමණක් වූයේ ශාස්වත හා උච්ඡේද දෘෂ්ටි ප්‍රධාන දෘෂ්ටි වාදයෙන් ඔවුන් නැවතී සිටි බැවිනි.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සෑම සූත්‍ර දේශනාවකම අවසානයේ අවධාරණය කැරෙන ප්‍රධාන ඉගැන්වීම පරම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය යි. එහෙත් මෙතෙක් මිනිසා පුරුදු වූයේ, භෞතික ලෝකය පිළිබඳ පරපුරෙන් පරපුරට ආ චින්තන ක්‍රමයකට ය. එමෙන්ම තම තමන්ගේ පුහුදුන් සිතට අවබෝධ වන තීරණ වල පිහිටා ක්‍රියා කිරීමට ය.

බුදුරදුන් විසින් ප්‍රථමයෙන් ලොවට හෙළි කළ ධර්මය වන චතුරාර්ය සත්‍ය, අවිද්‍යා දී හේතූන් නිසා සංවෘත වූ සිත්වල තිබූ වැරැදි දෘෂ්ටි නිසා අවබෝධ කර ගැනීම දුෂ්කර විය. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ප්‍රධාන දුක් වේදනා ඇතුළු සංසාර දුක් පීඩා ඇතිවන හේතුව, අවිද්‍යාව යැයි දක්වන ලද ;නාදැනීම යි. පටිච්ච සමුප්පාද ධර්මතාව පෘථග්ජනයාගේ ද බුද්ධියට ගෝචර නොවන අතර, ඒවා අනාවරණය කොට පහදා දීමේ ඤාණ කුසලතාව ඇති වන්නේ, ලොවුතුරා බුදු කෙනකු තුළ ය.

විශ්වයේ සෑම ලෝකයකම ලොවුතුරා බුදුවරුන්, පසේ බුදුවරුන්, සහ රහතන් වහන්සේ පහළ වන්නේ හෝ ධර්මය හෙළි වන්නේ හෝ නොවේමැ යි. මනුලොව දඹදිව මධ්‍ය දේශයේ කල්ප ගණනකින් ලොවුතුරා බුදු කෙනකුන් පහළ වන සමයක, ලොවුතුරු දහම දැනගැනීමට ප්‍රඥාවාසනාභාගී කුසල බලය ඇති බුදුරජාණන් වහන්සේ විසින්.

කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ
ආදී ලෙස ඉතා දුර්ලභ කාරණා හතරක් දේශනා කරන ලදී.

උපන් සෑම සත්වයාගේම කැමැත්ත වන්නේ නොමැරී ජීවත් වීමයි. එහෙත් උපතින්ම ගෙනෙන තණ්හා, මාන, දිට්ඨි නිසා අවබෝධ කරගත නොහැකිව සිටින ක්‍ෂණයක් පාසා නාම රූප ධර්ම මැරි මැරී යළි උපදින වග. ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගන්නට ලොවුතුරා බුදු කෙනකුගේ පහළ වීම අත්‍යවශ්‍ය වන්නේ ය. එසේ නාම රූප ධර්ම වල අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් සියලු සංඛාර ධර්ම අතහැර නිවන් පසක් කරගැනීමට නම්, ධර්ම ශ්‍රවණය අවශ්‍ය බව පැහැදිලි ය.

මම ය, මාගේ ය යනුවෙන් සිතෙන මමත්වයට යටත්වන්නා, කෙසේවත් චේතෝ විමුක්තියට, පඤ්ඤා විමුක්තියට පැමිණ වාසය නොකරන්නේ ය. පුද්ගලයාට ත්‍රිවිධ ශික්‍ෂාවෙන් කාමාදී ආශ්‍රව නැති කිරීමෙන්, උපධීන් දුරු කිරීමෙන්, තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් උතුම් නිවන පසක් ගැනීමට ලැබීම, බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීමෙන් ලැබෙන ප්‍රධානම ප්‍රයෝජනය යි.

සංඛාය ලෝකස්මිං පරොවරානි

යස්සිංජිතං නථි කුහිංචි ලොකෙ

සන්තෝ විධූමො අනීඝො නිරාසො

අතාරි සො ජාති ජරන්ති බ්‍රෑමී

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

වෙසක් අමාවක පෝය

   වෙසක් අමාවක පෝය ජුනි 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 4.48 ට ලබයි.
4 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි මස 03 වන දා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]