UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පංච සීලය ආරක්ෂා කිරීමෙන් සුරැකෙන මානව හිමිකම්

ශාස්ත්‍රපති ලෙනදොර සෝරත හිමි

සීලය යනු කය වචන දෙකෙහි සංවරයයි. පුද්ගලයකුගේ මෙලොව පරලොව ජීවිතය යහපත් විම සඳහා සිල්වත් භාවය අනිවාර්යයෙන් ම තිබිය යුතුªබව බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීමෙකි. එයට සිතේ සංවර භාවය ද අවශ්‍ය වන අතර එය ලබාගත හැක්කේ භාවනාව තුළිනි.

ගිහි පැවිදි දෙපක්ෂය සඳහා ම පුද්ගල ප්‍රභේද අනුව සීලය කොටස් කර ඇති අතර උපසම්පදා භික්ෂූ භික්ෂූණින් වහන්සේලා සඳහා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් සාමනේර සාමනේරියන් සඳහා දස සීලයත් ගිහි සමාජය වෙනුවෙන් පංච සීලයත් අෂ්ටාංග සීලයත්, ආජීව අෂ්ඨමක සීලයත් වශයෙන් එය වෙන් වී තිබේ. මේ හැමදෙනා සඳහා ම වෙන් වන සීලයනට මූලික වශයෙන් පංච සීල පිළිවෙත් අතුළත්ව තිබීම විශේෂ කාරණයකි.

බොහෝ දෙනා අද මානව හිමිකම් පිළිබඳව තම අවධානය දැඩි ලෙස යොමු කර තිබේ. මානවයාගේ අයිතීන් කැඩී යන අවස්ථාවල විවිධ ක්‍රියා මාර්ග යොදා ගනිමින් එම අයිතිවාසිකම් ලබා ගැනීමට ඔවුහු කටයුතු කරති. එවැනි සංවිධාන උත්සාහ කරන්නේ මිනිසාගේ අයිතීන් පමණක් සුරැකීමට වුවත් බුදුරජාණන් වහන්සේ ගිහි සමාජය වෙනුවෙන් දේශනා කළ පංච සීලය මගින් මුළු සත්ව සංහතියව පමණක් නොව පරිසරය පවා ආරක්ෂා කිරීමට උත්සාහ කර තිබේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් සම්මා කම්මන්තයට පංච සීලය අයත් වන බව ‘සච්ච විභංග‘ සූත්‍රයේ දී සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දේශනා කර තිබේ. එසේම සම්මා වාචා හා සම්මා ආජීව කොටස් දෙක ද සීලයට ඇතුළත්වේ.

උදාර මිනිස් ජීවිතයකට පංච සීලය ශක්තිමත් අත්තිවාරමක් වේ. විශාල ගොඩනැගිල්ලක පැවැත්ම යහපත් වන්නේ ශක්තිමත් අඩි තාලමක් තිබීමෙන් පමණි. එය ජීවිතයටත් ඒ ආකාරයෙන්ම බලපාන කාරණයක්ය යන්න පැහැදිලි වන්නේ පවුල් පරිසරය අයහපත් වීමෙන් ඇතැම් පුද්ගලයන් දුරාචාරයන්ට හුරු වී ඇති බව පෙනී යන නිසයි.

පංච සීලයට ඇතුළත් පළමු ශික්ෂා පදය මගින් ප්‍රාණ ඝාතයෙන් වළකින බවට තීරණයක් තමා විසින් ම ඇතිකර ගනී. ඒ නීතියක් නොවේ. මෙහිදී මුළු මහත් සත්ව ප්‍රජාවගේම ජීවත්වීමේ අයිතිය ආරක්ෂා වීමක් සිදු වේ. ලෝකය ගොඩනැගී ඇත්තේ් අප ජීවත් වන පරිසරය සත්ව වර්ගයා අන්‍යෝන්‍ය වශයෙන් ඒකාබද්ධ වන අයුරිනි. කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාවේ ගොවියාට ගොවිතැන් කටයුතු වලදී උපකාර වු සත්ව කොට්ඨාස රාශියකි. අපේ පැරණි සමාජයේ කුඹුරු ගොවි තැනේ්දී කුරුල්ලන් වෙනුවෙන් කුරුලු පාළුව නමින් හැඳීන් වූ කුඩා ලියැද්දක් වෙන් කර තිබීම විශේෂ අවස්ථාවකි. සත්ව ලෝකය ගැන නොසලකා හැරීමට බටහිර ආභාසය නිසා පුරුදු වූ අපි කෘමිනාශක භාවිතයට පුරුදු වීමු. එයින් ගොවියාට හිතකර ව බොහෝ සතුන්ද විනාශ වී ගිය අතර පරිසරයේ සමතුලිත බවට එය හානිකර විය. ගොවියාට මෙන්ම අප සියලු දෙනා ජීවත් වන පරිසරයට ද මෙහි බලපෑම වර්තමානයේ ඇති වී තිබේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක්තරා ධර්ම පාඨයක් වන්නේ අත්තානං උපමංකත්වා න හන්‍යෙය න ඝාතයේ යන්නයි. මෙයින් අදහස් කළේ තමන් උපමා කොට ගෙන කිසිවෙකු නොමැරිය යුතුය. නොමැරවිය යුතුය යන සත්ව ලෝකය කෙරෙහි දයාව දැක්වීමේ අවස්ථාවකි. ‘සබ්බේසං ජීවිතං පියං’ යන ඉගැන්වීමෙන් කර ඇත්තේ ද මිනිසුන් පමණක් නොව සියලුම සත්වයන් තමන්ගේ ජීවිතයට වඩාත් ඇලුම් කරන බව පැහැදිලි කිරීමකි. ප්‍රාණ ඝාතයෙන් තොරවීමේ ශික්ෂාව රැකීමෙන් කරුණාව මෛත්‍රිය වැනි හැඟීම් මිනිස් චිත්ත සන්තානයෙහි දියුණු වේ.

යහපත් ගති ගුණ වලින් හෙබි සීලාචාර පුද්ගලයෙක් කිසි විටෙක අනුන් සතු වස්තුවක් තමා සතු කර ගැනීමට උත්සාහ නොකරයි. අදින්නාදානා වේරමණී යන ශික්‍ෂා පදයෙන් කියවෙන්නේ මේ කාරණයයි. සොරකම් නොකරණ සමාජයක් ඇත්නම් එය අනුන්ගේ අයිතීන් ආරක්‍ෂා කරන යහපත් ජන සමාජයක් වනු ඇත. සොරකම යන්න විවිධ ආකාරයට සිදුවන්නකි. මිල මුදල් බඩු මුට්ටු සොරකම් කිරීම පමණක් එයින් අවධාරණය නොකෙරේ. අප නොදැනුවත්ව ම සිදු වන තවත් සොරකම් රාශියකි. කිසිවකු තවත් අයෙකුගෙන් තම කාර්යයක් ඉටු කරවා ගෙන එයට අදාළව දෛනික වැටුප නොගෙවන්නේ නම් එය ද සොරකමකි. අනෙක් අතින් නියමිත වූ දෛනික වැටුප ලබා එයට සරිලන සේවාවක් නොකිරීමද සොරකමකි. සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන යුතුකම්, හැකියාව තිබියදී ඉටු නොකරන්නේ නම් එය ද තවත් අතකින් සොරකමක් ලෙස සැලකීම වරදක් නොවේ. අපේ රටේ පැරණි සමාජ තත්ත්වය අනුව කාන්තාවකට සර්වාභරණයෙන් සැරසී රටේ ඕනෑම ස්ථානයකට තනිව ගමන් කළ හැකිව තිබිණි. එසේ හැකි වූයේ සොරකම ජනතාව අතර ප්‍රචලිතව නොතිබීම නිසයි. ආරෝග්‍ය ශාලාවේ දී නොමිලේ ලබා ගන්නා ඖෂධ තමන්ගේ ප්‍රයෝජනයට නොගෙන අපතේ හැරීමද අද බහුලව දැකිය හැකි අවස්ථාවකි. මේ මගින් සිදු වන්නේ ද තමන් නොදැනුවත්ව ම සොරකමකි. ඒ අන්‍යයන්ට ප්‍රයෝජනය සඳහා ඇති දෙයක් තමන් විසින් පැහැර ගැනීමකි. ඇතැම් අවස්ථාවලදී සොරකමට පෙළඹෙන කුඩා ළමයින්ට අනුබල දෙන මව්පියවරුන් පවා දක්නට ලැබේ. එවැනි දරුවන් අනාගතයේ දී භයානක සොරුන් අපරාධ කරුවන් බවට පත්වීම වැළැක්විය නොහැක්කකි.

සත්ව සමූහයා ඔවුන්ගේ වර්ගයා වැඩිකර ගැනීම පිණිස උත්සාහ කිරීම ස්වභාව ධර්මානුකූලව ඔවුනොවුන්ට උරුම වී ඇත්තකි. තිරිසන් ලෝකයෙහි පවතින ස්වභාවයක් වන්නේ කාම සේවනය සෑම කාලයකටම උරුම වී නැති බවයි. එහෙත් මිනිස් ලෝකයෙහි එයට කාල භේදයක් නැත. බුදුරජාණන් වහන්සේ කාමේසු මිච්ඡාචාරා වේරමණී ශික්‍ෂා පදයෙන් පැහැදිලි කර ඇත්තේ නිවැරැදිව කම් සුව විඳීම යහපත් ලක්‍ෂණයක් බවයි. නිවැරැදිව යනුවෙන් ගත් විට බොහෝ දේ ඒ තුළ ගැබ්ව තිබේ. තමාට අයත් නොවන කාම වස්තූන් කෙරෙහි නොඇලීම මෙහි වැදගත්ම කාරණයයි. කාම අපරාධ ලෙසින් අද පුවත්පත් වල පළ වන ප්‍රවෘත්ති වලින් සනාථ වන්නේ මේ ශික්‍ෂා පදය කැඩී යන අවස්ථාවන් ය. අවිවාහක තරුණ තරුණියන් කුමර බඹසර හා කුමරි බඹසර ආරක්‍ෂා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු ය. එයද මෙම ශික්‍ෂා පදයට අයත් වේ. මේ මඟින් ආරක්‍ෂා වන්නේ ද මානව අයිතියකි.

මුසාවාදා වේරමණී යනුවෙන් හඳුන්වන්නේ බොරු කීමෙන් වැළකීමයි. එය මිනිස් සමාජය තුළ සමඟිය සමාදානය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන්නකි. හිරි ඔතප් දෙක ලෝක පාලක ධර්ම වශයෙන් පෙන්වා දෙන අතර එයින් අදහස් කරන්නේ පාපයට ඇති බිය හා ලජ්ජාවයි. ගුණවත් ශීලාචාර මිනිසකු බොරු කීමට ලජ්ජාවක් හා බියක් ඇති කර ගනී. බොරු කීම මඟින් තවත් කෙනකුගේ අයිතියට බාධා ඇති වේ. බොරු කියන්නා වෙනත් අය අතර පිළිකුලට ද භාජනය වේ. ඔහු සෙසු පිරිස් අතර විශ්වාසයක් ඇති කර ගත්තකු ද නොවේ. ඒ නිසාම සමාජ සබඳතා ගොඩනගා ගැනීම අපහසු වන්නා සේම දියුණුවට ද බාධා ඇති වේ. බොරු කීම මෙන්ම කේලාම් කීමත් භයානක විපත්තියකි. කේලමක් ලෙස හඳුන්වන්නේ එකිනෙකා අතර මත භේද ඇති කරවන අසමගි කිරීමේ අදහසින් යම් යම් දේ ප්‍රකාශ කිරීමයි. මෙය ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයින්ගේ පටන් සාමාන්‍ය ජනතාව දක්වාම පැතිර පවත්නා අයහපත් සිරිතකි. පවුලක සමඟිය නැති කිරීමට ගමක් හා තවත් ගමක වෙසෙන ජනතාව අසමගි වීමට ඒ ඇසුරෙන් මුළු මහත් රට තුළ සාමය නැති වීමට කේලාම් කීම ප්‍රබල හේතුවක් වේ. පරුෂ වචනය අනුන් පි‍්‍රය කරන්නක් නොවේ. එයින් වැළකීම ද යහපත් සමාජයක් ගොඩනැගීමට අඩිතාලමක් ලෙස සැලකිය හැකි ය. සම්පප්ප්‍රලාප යනු කියන තැනැත්තාටත් අසන තැනැත්තාටත් යන දෙදෙනාටම ප්‍රයෝජනයක් නොවන හිස් වචනයි. ඇතැම් පිරිස් මහ මඟ හා කඩ පිල් ආදියෙහි සහ ළිං, අසල වැනි තැන් වලදී වාඩිලාගෙන ප්‍රකාශ කරන මේ හිස් වචන කියන හා අසන දෙපිරිසටම ප්‍රයෝජන රහිත බැවින් එයින් ඈත් වීම මානවයාගේ අයිතිය සුරැකීමකි. වටිනා කාලය ආරක්‍ෂා කිරීමකි.

මිනිස් වර්ගයාට වින කරන ජීවිත විනාශ කරන අනෙක් උවදුර වන්නේ මත් වතුර, මත් කුඩු වැනි දෑයි. මත් කුඩු මත් ද්‍රව්‍ය තවත් අතකින් පැහැදිලිව ම මානව හිමිකම් වලට බාධා පමුණුවයි. මෙය මිථ්‍යා ආජීවයට අයත් වන අදැහැමි වෙළෙඳාමකි. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ සුරාපානයේ ආදීනව කිහිපයක් මෙසේ දේශනා කර තිබේ. “සංදිට්ඨිකා ධනඤ්ජාන, කලහප්පවඩ්ඩති රෝගානං ආයතනං අකිත්ති සංජනනි කොපිනං නිදංසනි පඤ්ඤාය දුබ්බලිකරණි” මෙයින් කියවෙන්නේ ඇස් ඉදිරිපිට ධනය නැති වීම කෝලාහල වැඩිවීම රෝගයන්ට නිතර ගොදුරු වීම අපකීර්තියට භාජනය වීම භය ලජ්ජා නැතිව යාම හා නුවණ දුර්වල වීම යන කරුණුයි. සුරා පානය කරන්නා තමා විනාශ වනවා පමණක් නොව මානව සමාජය ද දුසිරිතට පොළඹවයි.

වෙහෙස මහන්සි වී රැකියාවක් කරන තැනැත්තා උපයා ගන්නා වැටුප ඔහුට පමණක් හිමි වන්නක් නොවේ. තමන්ගේ මාපියන් තමන් විසින් පෝෂණය කළ යුතුව ඇත්නම් ඔවුන්ට ද ඔහුගේ අඹු දරුවනට ද එහි අයිතිය හිමි වේ. යමෙක් යථෝක්ත අයිතිය පැහැර ගන්නේ නම් ඔහු සමාජ විරෝධී ක්‍රියාවක නිරත වන්නකු වේ.

සමාජ හිතකාමී නොවන ක්‍රියාවන් රාශියක් ඒ මගින් සිදු වන අතර බැලූ බැල්මට කෙනෙකුට දැකිය නොහැකි මානව අයිතීන්ට බාධා පමුණුවන තවත් අවස්ථා රාශියක් මේ ක්‍රියාදාමය තුළ දක්නට ලැබේ.පොදු වාහනයක ගමන් ගන්නා කෙනෙකු මුදල් ගෙවා තමන්ට අවශ්‍ය තැනට ගමන් කිරීමට සූදානම් වේ. සුරාවෙන් මත් වූවෙකු වාහනය තුළ දී අනුනට බාධා වන ලෙස හැසිරේ නම් එය සෙසු මඟීන්ට තම ගමන නිදහසේ යාමට කරන අවහිරයකි. එයම වාහනයේ ගමන් ගන්නා සියලු මඟීන්ගේ අයිතිය නැති කිරීමකි.

මත් වතුර පානය කිරීමෙන් පුද්ගලයෙකු වෙතින් වහනය වන දුර්ගන්ධය සෙස්සන්ගේ ශාරීරික සෞඛ්‍යයට ද අහිතකර ය. එවැන්නකුගේ හැසිරීම් කතාබහ මඟින් සිදු වන්නේ ද සාමාන්‍ය ජනතාවට අවහිරයකි. එකම පවුලේ මව්පිය දූ දරුවනට පොදු වාහනයක එක්ව ගමන් කළ නොහැකි තත්ත්වයක් උදා වීම ඔවුන්ගේ නිදහස පැහැර ගැනීමකි. ශ්‍රී ලංකා රජය මගින් ජාතික ධනය විශාල ප්‍රමාණයක් වැය කර රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දෙන්නේ ආරෝග්‍යශාලා මඟිනි. ආරෝග්‍ය ශාලාවේදී එසේ නොමිලේ ප්‍රතිකාර ලබා දිය යුත්තේ අසරණ රෝගීන් වෙනුවෙනි. එහෙත් සුරාවෙන් මත් වූ පුද්ගලයන් ඇතිකර ගන්නා කලලෝලාහල නිසා වෛද්‍ය වරුනට සිදු වන්නේ අසරණ රෝගියෙකුට ලැබිය යුතු ඖෂධ මෙන්ම වෙනත් පහසුකම් සුරාවෙන් විපත්තියට පැමිණි තැනැත්තකුට වැය කිරීමටයි. මෙය එවන් අසරණ රෝගීන්ගේ මානව අයිතිය පැහැර ගැනීමක් බව ඒ පිළිබඳව විමසා බලන්නකුට පැහැදිලි වන කාරණයකි.

අධ්‍යාපනය ලබන දරුවකුට තම නිවසේ දී ඉගෙනීමේ කටයුතු නිදහසේ කර ගැනීමේ අවස්ථාව සලසා දීම දෙමාපියන්ගේ වගකීමකි. එසේම මව්පිය සෙනෙහස නිරන්තරව දරුවා අපේක්‍ෂා කරයි. සුරාවට ලොල් වූ පියෙකු බොහෝ විට දරුවන්ගේ අධ්‍යාපනයට හානි පමුණුවයි. මානසික නිදහසකින් පවුලේ පිරිස සමග සතුටින් කාලය ගෙවීමට ඉඩ කඩ අහුරා දැමීම දූ දරුවන්ගේ අයිතියට බාධකයක් වේ.

ආදරය අහිමි වන දරුවන් ආදරය සොයා වෙනත් අය වෙත යාමෙන් දුශ් චරිතයනට ලැබෙන ඉඩකඩ සීමා රහිත වේ. ඇතැම් මව්වරුන් වැඩි දෙනකු විදේශ රැකියා සඳහා යාමට පෙළඹී ඇත්තේ ද පියවරුන්ගේ සුරාසොඬ බවයි. මෙය පවුලක සමඟියට සමාදානයට බාධාවක් මෙන්ම ඔවුන්ගේ දියුණුවට ද වැට කඩුලු බැඳීමකි. එයම තවත් පැත්තකින් දරුවන්ගේ අයිතිය බිරියකගේ අයිතිය විනාශ කිරීමක් වනු ඇත.

නිති පන්සිල් සුරැකීමෙන් ඔබ මානව හිතවාදී සත්ව කරුණාවෙන් යුත් උතුම් මනුෂ්‍යයකු වනු නොඅනුමානය. කිසියම් තැනැත්තකුට යම් මොහොතක තමා අන්‍යයෙකුට හිංසාවක් කර නැතැයි ද තවත් කෙනකුට හිමි වස්තුවක් සොරකම් කර නැතැයි ද පිරිසුදු චරිතයක් ඇති බොරු නොකියන රහ මෙර පානයෙන් තොර තැනැත්තෙකැයි හදවතට එකඟව සිතිය හැකි නම් ඔහු මෙලොව ජයගත් උතුම් මනුෂ්‍යයකු ලෙස හැඳින්වීම වරදක් නොවේ. මේ වෙසක් සමයේ එබඳු කෙනෙකු වීමට අදිටන් කර ගන්නේ නම් එයම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරනු ලබන ශ්‍රේෂ්ඨතම ප්‍රතිපත්ති පූජාව වේ.

වෙසක් අව
අටවක පෝය

   මැයි 27 වනදා අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.

මීළඟ පෝය ජුනි 03 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]